Saturday, May 31, 2014

ප්‍රථම පෙම

2014.05.31 දින 

නේවාසිකාගාරයෙදී ,


ප්‍රථම පෙම වෙත, 
                           
                        මතකද දන්නෙත් නෑ. දැන් අවුරුද්දකුත් මාස 03ක් පරණ ආදරයක් ගැන. දවස්, සති, මාස, තත්පර, විනාඩි, පැය වලින් බැලුවොත් නම් කොච්චරක් ද? අපි අන්ධ වෙලා ඉන්න කාලේ කිව්වේ නම් ඔයා නැති එක විනාඩියත් කල්පයක් වගේ කියල. ඒත් ඒ විනාඩියටත් කාලයම කොයි තරම් වෙනස් විදිහේ විසඳුමක් දීලද ? අද අපි මේ තරමටම දුරස් වෙලා ඉන්නේ. කට කහනවට කියපු කතාවක් නෙමෙයිනේ හැම ප්‍රශ්නෙකටම කාලය විසඳුමක් දෙනවා කියන එක. නැත්නම් ඒ කාලේ කිව්ව විදිහට අපි දුරස් වෙන්න තීරණේ කරපු දවසේ අපේ ජීවිත වල කෙලවර ලණු කෑල්ලකට, රේල් පාරකට, වහ බෝතලේකට, මහා මුහුදට, පිහි තුඩකට , ලෝකාන්තයට දැන් දෙන්න තිබුනා. මොන තරම් අපේ අදහස් නොගැලපුනත් ඒ තරම් අපේ ආදරේ බොළඳ උනේ නෑ නේද ? වෙලාවකට මට එහෙමත් හිතෙනවා. අවුරුදු දෙකක් ආදරේ කළා තමයි. ඒ අවුරුදු දෙක නිසා අපි දෙන්නව අවුරුදු 22ක් කවලා පොවලා අපේ කැත කුණු හෝදලා හොඳ තැනකට ගෙනියන්න තවමත් මහන්සි වෙන අපේ අම්මටයි තාත්තටයි ඒ වෙනුවෙන් දුකක් දෙන්නේ ඇයි නේද? දැන් අහන්න දකින්න හම්බවෙන්න දේවල් එක්ක අපේ ආදරේ ඇත්තටම ආදරයක්ම තමයි. අද වෙනකොට වෙන් වෙලා හිටියත් අපේ අදහස් ගැලපෙන්නේ නෑ කියල අපි වෙන් උනත් අපි දෙන්නා ඇත්තටම ආදරේ කළා. ඒ නිසාම වෙන්න ඇති අදටත් මට ඔයා ගැන වෛර කරන්නේ නැතුව මතක් කරන්න පුළුවන්. මේ ලඟදි ඔයාගේ උපන්දිනේ තිබුනා ඇත්තටම මට එදා මතක් උනේ නෑ මෙහෙ වැඩ වැඩියි ඒ එක්කම ජීවත් වෙන්නත් අමතක වෙලා. අද තමයි මතක් උනේ. ළඟ හිටියේ නැත්තත් සුබ පතන්න හිතුනා. 

සුළඟට පවසන්නම් 
හැම පැතුමක් ම 
ඔබ වෙත ගෙනගොස්
පවසන ලෙසසොඳුරු අතීතයේ 
කුළුඳුල් පෙම්වතිය 
සුබ පැතුම් 
එක් කල  බැව් 
ඇගෙත් 
කුළුඳුල් 
පෙම්වතා වෙත ..




Monday, May 26, 2014

ආලයෙන් තොර ආදරය කරන්න ................

කියාස් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද ටිකක් තනියම ? 


මේ ලඟදි දවසක  කොලේජ් එකේ ළමයෙක් ඇවිත් මගෙන් එහෙම ඇහුවාම මන් ටිකක් පුදුම උනේ මොකද ඒ ළමයත් එක්ක එහෙම තනියම කතා කරන්න දෙයක් මට තිබුනේ නැති නිසා. කොහොම උනත් ඉතින් කමක් නෑ කියල හවස අපි හම්බුනා..... 

කියාස්.... මට මේක කාට හරි කියල හිත නිදහස් කරගන්න ඕනේ ඒකයි මන් ඔයාට  කියනවා කියල හිතුවේ ඔයා දන්නවද දන්නේ නෑ අඩුම තරමේ මගේ පවුල් පසුබිම වත්. ඔයා හිතනවා ඇති මෙච්චර කල් ඔයත් එක්ක හරියට කතා බහ කරපු නැති කෙනෙක් මොනවද මේ කියන්න යන්නේ කියල. ඇත්ත ...... ඒත් මෙහෙ ඉන්න අයගෙන් මන් ආසම ළමයා ඔයා. 

( මන් ඒ වෙනකම් ඒ ළමයා කියපු දේවල් කිසි කතාවක් නැතුව අහගෙන හිටියා. මන් ගැන එහෙම කියනකොට ඉතින් මගේ හිතටත් මොකක්ද වෙලා ගියා. මොකද ඒ  ළමයා එක්ක ළඟ යාළුකමක් තිබුනේ නැති නිසා) 

ඉතින් එයා ආයෙමත් කතාව පටන් ගත්තා. 

අපි පෝසත් මිනිස්සු නෙමෙයි කියාස්. මගේ ගෙවල් තියෙන්නේ බදුල්ලේ. අපේ පව්ලේ ඉන්නේ මායි මල්ලියි. අම්මා රස්සාවක් කරන්නේ නෑ. තාත්තා කුලී වැඩක් කරලා තමයි අතට කීයක් හරි හොයා ගන්නේ. අපේ පරම්පරාවෙන් මේවගේ තැනකට එන්න ඉගෙනගත්ත එකම ළමයා මන්. මෙතනට එන්න තාත්තා කුලී වැඩ කරලා හොයන හැම සතේම වියදම් කරලා ඇති. අදටත් එහෙමයි කියාස්. 

ඉස්කෝලේ යන කාලේ මට කොල්ලෝ පෙන්නන්න බෑ. මගෙන් යාලු වෙන්න අහන කොල්ලොන්ට මන් බැනලත් ඇති. ඒත් ඒ ලෙවල් කරලා ආපහු සෙකන්ඩ් ෂයි කරනකොට. මන් අයියා කෙනෙක් එක්ක යාලු උනා. ඒ මිස් කෝල් එකකින්. එහෙම මිස් කෝල් එකකින් හම්බුනා කියල ආදරේ අඩුවක් උනේ නෑ. එයා මට ඉගෙනගන්න හැමදේකටම උදව් කළා. ඒ කාලේ පාඩම් කරන්න උදේ තුනට මාව ඇහැරවන්නෙත් අයියා. 

ඉතින් මන් කොලේජ් එන්න කලින් අපේ ගෙදර අම්මටයි තාත්තටයි අපේ සම්බන්දෙ ගැන කිව්වා. අයියා මාතර ඉදන් බදුල්ලේ අපේ ගෙදර ආවා අම්මයි තාත්තවයි හම්බවෙන්න. තාත්තා නම් ඒ දවස් වල වැඩි කැමැත්තක් තිබුනේ නෑ ඒත් මේ ලඟදි අයියත් එක්කම කොලේජ් එකට ආවා මාව හම්බවෙන්න. 

මන් හරි සතුටෙන් හිටියේ අපේ ගෙදරින් තාත්තගේ කැමැත්තත් ලැබුනා කියල. ඒත් මගේ පැත්තෙන් එහෙම උනාට එයාගේ පැත්තෙන් එහෙම උනේ නෑ. අයියා පෝසත් පවුලක එකම පිරිමි ළමයා. ඉතින් එයාලගේ අම්මලා අපේ සම්බන්දෙ ට කොහෙත්ම කැමැත්තක් තිබුනේ නෑ. ගෙදර ඉන්නකොට අයියා මට මැසේජ් එකක්වත් එව්වේ නෑ. ගෙදරින් එලියට අවම තමයි කතා කලෙත්. දවසක් ඔයාම මට කිව්වා නේද කොල්ලෙක්ට ඔච්චරටම කතා කරන්න නිදහසක් නැද්ද කියල? 

මන් ඒක ඇහුනේ නෑ වගේ හහිටියේ මට ඒකට දෙන්න තරම් උත්තරයක් තිබුනේ නැති නිසා. ඊට පස්සේ මන් ඔයා එක්ක වෙනදට හම්බුනාම හිනාවෙලා කතා කරන එකෙනුත් ඈත් උනා. මොකද මට ඒ වෙනකොට අයියාගෙයි මගෙයි තියෙන ආදරේ අනිත් අයගේ බැදීම් එක්ක බැලුවාම වෙනස් කියල එදා ඔයා කියපු දෙයින්ම තේරුන නිසා ඒත් මන් අසරණ උනා. මගේ පලවෙනි ආදරේ මට හොඳයි මන් කැමති උනේ නෑ කවුරුවත් ඒකෙ වැරද්දක් දකිනවට. ඒකයි මන් ඔයත් එක්ක කතා කරන එකත් නැවැත්තුවේ, ඔයාට ඒ වෙනස තේරුනේ නැද්ද කියන්න නම් මන් දන්නේ නෑ. මොකද මට ඔයාට වගේ හැමෝගෙම හිත දිනාගන්න බැරි නිසා. 

ඒත් මේ ලඟදි දවසක එයාගේ යාලුවෙක් මට කතා කරලා කියපු දේවල් නිසා මගේ ජීවිතේ විනාස වෙලා ගියා කියල දැනුනා. නෑ....... විනාස උනා කියාස්. මන් දැන් ඉන්නේ නන්නත්තාර වෙලා. 

අයියා බැඳපු කෙනෙක් කියාස්.

එහෙම කියාගෙන එයා මාව බදාගෙන ගොඩක් වෙලා ඇඩුවා කොච්චර වෙලා ඇඩුවාද කියන්න මටවත් හිතාගන්න බෑ එයාගේ ඇස් වලින් වැටුණු කඳුළු මගේ උරහිස තෙත් කළා. 

එයා ආයෙත් කතා කරන්න පටන් ගත්තා . එයාගේ ඇස දෙක දිහා බලන්න බෑ ඒ තරමටම ඇස් දෙක රතු වෙලා. 

අයියා බැඳලා තියෙන්නේ අවුරුදු 20 දී. එයා ඒ කිව්ව තරම් පෝසත් පව්ලක කෙනෙක් නෙමෙයි. දැන් එයාට අවුරුදු එකහාමාරක දුවෙක් ඉන්නවා. මාත් එක්ක යාලු වෙලා තියෙන්නේ එයාගේ වයිෆ් ට දුව හම්බවෙන්න ඉන්නකොට. මන් ඇහුවා ඇයි මට මෙහෙම කලේ කියල. ඒත් අයියා පිළිගත්තේ නෑ එයා බැඳපු කෙනෙක් කියලා. එතකොට එයාගේ යාලුවා කියපුවා බොරුද කියල ඇහුවාම එයාට දෙන්න උත්තර තිබුනේ නෑ. අඩුම තරමේ ඒ බොරු කියලවත් අයියා කිව්වේ නෑ. 

දැන් දවස් හතරකට කලින් අයියා මට කෝල් කරලා හැමදේම කිව්වා. එයා වැරැද්ද පිළිගත්තා. එයා බැඳලා තියෙන්නේ එයා වැඩ කරපු ගාමන්ට් එකේම වැඩට ආපු ගෑණු ළමයෙක් ව. එච්චර ඉක්මනට බදින්න උනේ අයියගෙන් ඒ ගෑණු ළමයට වෙච්ච වැරද්දක් නිසා, ඒ වැරැද්ද තමයි අර පොඩි එකා. අයියා මේ ගෑණු ලමයව බැන්දට එයාගෙන් අයියට කිසිම ආදරයක් හම්බවෙලා නෑ. එකයිලු එයා මගෙන් ඒ ආදරේ හොයල තියෙන්නේ. මන් හැමතිස්සෙම අයියාඅ ගැන හොයලා බැලුවා කියාස්.... කෑවද , බිව්වද , දැන් කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ කියල මන් පුළුවන් හැම වෙලාවේම අයියගේ ලඟින් හිටියා. ඒකයි එයා මට බොරු කරලා තියෙන්නේ. 

ඒත් කියාස් මට තවත් ඒ ආදරේ එයාට දෙන්න බෑ. මන් තවත් පව් කාරියක් වෙනවා එහෙම කලොත්. මට මේ දුක දරාගෙන ඉන්න බෑ ඒකයි මන් ඔයාට මේ දේ කිව්වේ. මට මගේ අම්මටයි තාත්තටයි මුණ දෙන්න බෑ කියාස්. 

හ්ම්ම්............... ඔන්න ඔය කතාව තමයි එදා මට එයා කිව්වේ . 

------------------------------------------------------------------------------------------------------------

මේ ලඟදි දවසක් රෑ තව සිද්දියක් උනා... 

කොලේජ් එකේ යාලුවෙක් මාව හම්බවෙන්න ආවා. එයාගෙත් ඇස් වල කඳුළු. එයා අඩලා.........

අනේ කියාස් මගේ යාලුවෙක්ව මරලා දාලා දෙයියනේ.

මම ඇහුවේ කොහෙද කියල විතරයි....

ඇල්පිටියේදී

ඇයි එහෙම වෙලා තියෙන්නේ 

එයා යාලු වෙලා හිටපු කෙනාම තමයි එයාව මරලා තියෙන්නේ කියාස්. පව් මාත් එක්ක එකට ඉගෙනගත්තේ 

---------------------------------------------------------------------------------

තවත් කතාවක් ........... 

දවසක් මට කෝල් එකක් ආවා 

කියාස් ... පොඩ්ඩක් මේ පැත්තේ එනවද? පොඩි උදව්වකට 

ඔන්න ඉතින් මමත් ගියා 

කොලේජ් එකේ අපේ තුන් දෙනෙක්ම එතන. එක්කෙනෙක් අඩලමද  කොහෙද ඇස් දෙකත් එක්ක මුනත් රතු වෙලා ඒත් මළමිනියක් වගේ මට නම් ඒ ලමයව ඒ වෙලාවේ පෙනුනේ. 

" ඇයි කතා කලේ?" මන් ඇහුවා.... 

මෙන්න මේකට විසදුමක් දෙන්න කියාස් ... එක්කෙනෙක් මට කිව්වා විතරයි අර අඩපු ගෑණු ළමයා 

" මට බොන්න ඕනේ " කියල කිව්වා 

මොනවද බොන්න ඕනේ ?

අරක්කු 

ඔයා කලින් බීලා තියෙනවද?

නෑ .... ඒත් අද මට බොන්න ඕනේ 

ඇයි මේ ?

එයා යාළුවෙලා ඉන්න අයියා බොනවා කුඩු ගහනවා ... මෙයාගේ ගෙදරින් මේ සම්බන්දෙට කැමති නෑ. මෙයා කවදාවත් මේක නවත්තන්නෙත් නෑලු. මෙයාට  අයියව අතාරින්න බැහැ ලු. මොකෝ මේකට කරන්නේ? 

අයියට මෙයාව එපා කියල මේ සම්බන්දෙ හැමදාම නවත්තන්න කියනවා. මෙයා නෙමෙයි ඒක අහන්නේ. දැන් මෙන්න මෙයාටත් බොන්න ඕනේ ලු. 


අනේමන්දා දැන් කාලේ ආදරේ නම් 



Friday, May 16, 2014

ආදරෙයි මන්......

මේ ලඟදි කියාස් වෙච්ච මගේ උපන්දිනේ තිබුනා ඒ කියන්නේ ඉතින් කියාස් දැන් ලොකු ළමයෙක් :) කියාස්ට හම්බුනා එකම එක උපන්දින තෑග්ගක් ඒ ඉතින් වෙන කාගෙන්වත් නෙමෙයි කියාස්ගේ පණ වගේ ඉන්න අම්මගෙන්. මට හම්බුනේ පොතක් ඒකෙ වටිනාකම උනේ. දවසක් මායි අම්මයි සරසවියට ගිය දවසක මට ඕනේ උනා ඒ පොත ගන්න ඒත් අම්මගේ අතේ ඒ වෙලාවේ එච්චර ගානක් තිබුනේ නෑ. ඉතින් මට වෙන පොතක් ගන්න හිතුනෙත් නෑ. එදා තමයි සරසවියට ගිහින් පොතක් ගන්නේ නැතුව ආපු එකම දවස. ඉතින් උපන්දින තෑග්ග විදිහට මට ඒ පොත හම්බුනාම පුදුම සතුටක් දැනුනේ. ඒ සතුට වැඩි උනා පොත ඇතුලේ අම්මගේ අත් අකුරෙන් මට ලියලා තිබුන නිසදැස දැක්කාම. 





රෝස මල් පෙති සුවඳ සලලා 

යොවුන් සිත ළඟ රොද බැඳෙයි
 
දෙව්ලොවක් නුඹ සිතේ මැවිලා
 
තුරුණු හැඟුමට හාදු දෙයි

හදවතේ මුදු ගුණය තවරා 

තුරුලතා පෙළ ගී ගයයි 

ඒ මිහිරි ගී ඇසී නැළවෙන 

නුඹේ සිතුවිලි සරැලි ලයි

සිතේ දළුලන පැතුම් මල් 
මිට 

සෙමින් පුබුදනු බුද්ධියෙන්

ජීවිතය නම් මෙයැයි නිවැරදි 

මගක පියවර තබා යං

දුකයි , අපහසුයි සිතන්නට එපා 

නෙලුම් පිපුනේ මඩේමයි 

සරා සඳ ලෙස දිලෙන් මගේ ලොව 

දුවේ නුඹ මගේ ප්‍රාණයයි ෴ 


2014 ..ෛවශාක්‍ය මස පසළොස්වක පොහෝදින ඔබ මෙලොව
 
එළිය දුටු දින වගේම පොහෝ දිනයක්.පසළොස්වක පොහොයක්.
 
පහළොස් වෙනිදා පසළොස්වක පොහොයක්.

සුභ උපන්දිනයක්
 
-අම්මා- 

Thursday, April 17, 2014

මතු භවයක එක්වෙමු .........

මේ දවස් වල කියාස් ට නම් මොනා වෙලාද කියන්න කියාස් වත් දන්නේ නෑ. අවුරුදු නිවාඩුවට ගෙදර ආව උනාට ඒක  ගෙවිලා යනකම් කියාස්ට මතකයක් නෑ. ඇත්තම කිව්වොත් මතක අප්‍රේල් 12 වෙනිදා විතරයි ඒකත් මතක නැන්දලා ගේ ගෙදර ගිය නිසා. අනික ඉතින් කියාස් ගේ බ්ලොග් පැල නම් කුණුගොඩක් වගේ වෙලා කතාවක් ලියන්න පටන් ගත්තා ඒත් වැඩේ කියන්නේ ඒ ඉතුරු ටික ලියන්න බෑ මොකද කියාස් මොන කතාව ලියන්න ගියත් නතර වෙන්නේ එකම චරිතයක් ළඟ ඔන්න ඕක තමයි ඉතින් ඇත්ත.

ඔහේ ගෙදරට වෙලා කාලේ ගෙවන වෙලාවේ තිබුනා තඩි  Anatomy පොතක් ඉතින් ඔහේ ඕක පෙරලනකොට හම්බුනා කියමුකෝ පොඩි කොළ කෑල්ලක්. ඔන්න මම නම් නෙමෙයි ඒක ඇතුලට දැම්මේ. ඉතින් කියාස්ට ඔය කොළ කෑලි වල තියෙන ඒවා කියවන්න පුදුම ආසාවක්නේ තියෙන්නේ. බැලුවා දිගෑරලා මොකක්ද මේ කියල. හප්පේ මෙහෙම පොත් ඇතුලෙත් නිසදැස් ලියන එවුන් ඉන්නවනේ ඉතින්. ඒක ලස්සන නිසදැසක්. මගෙනම් හිතටම දැනුනා. ඇත්තටම ලියපු එකක් නම් ඒ දෙන්නා කොහෙද දන්නේ නෑ ඉතින් අවුරුදු ගානක් පරණ ඇති නේ? 



සුදු වලාකුළු කැටිති ගැහිලා
වැව් ඉවුර ළඟ හාදු දෙයි 
තව්තිසාවක් නුවර මැවිලා 
වන්දනාවට කාලයයි 

කන්ද මුදුනේ නිල්ල තවරා 
තුරුලතා පෙළ ගී ගයයි 
ඒ මිහිරි ගී ඇසී නැළවෙන 
පවන වැව් දිය සරැලි ලයි 

හිතේ දළු ලන පැතුම් මල් මිට 
සමිඳු අභියස තබා යන්
මතුදු භවයක එක්වෙමුයි අප 
රහසේම අපි සිතා යන් 

අතින් අතගෙන යා නොහැකි දුර 
සිව් නෙතින් තුරුලුව ඉතින් 
අනන්තය තෙක් ඉවුරු මග දිග 
බවුන් වඩමින් ඇවිද යන් 


Sunday, March 23, 2014

ඇය..........

අකුණු ගසමින් වැහි දිය බේරෙන අහස දෙස බලමින්  ඇය කවුළුව අසලට වී දැන් කෙතරම් වෙලාවක් ගතවී දැයි  ඇයටම නිනව්වක් නොමැති බැව් ඇගේ නිල්වන් නෙත් දෙස බලන මට නොව ඔබට වුවද තේරුම්ගැනීමට අපහසු නොවේ. අඳුරු අහස ගැබ අකුණු හඬින් දෙදරා යද්දී ඇගේ හිත තුළ පෙරලි කරන සිතුවිලි කන්දරාව එයට නොදෙවෙනි සේ ඇගේ සිත් මඬල දෙදරවයි. 


ආදරය............. 

අතීතය වෙත ක්ෂණයෙන් දිව යන ඈ සිත නැවත වත්මනට ආයාසයෙන් තොරව පැමිණෙයි. කිසිම තේරුමක් නැති හුදු අතීත වර්තමාන මතක අතර දිවෙන සිත සැඩ සුළගට  ලෙලෙන ලා දල්ලක් ලෙස ඒ මේ අත වැනෙයි.

ඔහු.....

නමින් සමීර විය. පාසල් සමයේ දක්ෂ සිසුවෙකු වූ සමීරගේ සිතේ  කුළුදුල්ව හටගත් ආදරය පිදුවේ ඇයටයි. 

ඇය.....

ඇය නමින් හසිතා ය . පාසලේ නිහඬ සිසුවියක් වූ නමුත් සියල්ලන්ගේ සිත් දිනාගත් දක්ෂ සිසුවියක් විය. ඔහුගේ ආදරය හමුවන තෙක් තනිකඩ චරිතයක් විය.

හමුවීම......

හසිතා දිනක් තම මිතුරියන් සමග ගම්පහ දුම්රියට නැගුනේ තම පාසලේ ගුරුවරයෙකුගේ මළගෙදරට සහභාගී වීමටය  එදා ඇයගේ ජීවිතය වෙනස් වන බවක් ඇය නොසිතන්නට ඇත. ගම්පහට දුම්රියෙන් පැමිණ 
ගුවන් පාලමෙන් එහා පැත්තට මාරුවෙත්ම කලබලයෙන් පැමිණි  අළු පැහැති ටී ෂර්ටයකින් සැරසුණු තරුණයෙක් ඇයගේ ඇගේ වැදෙත්ම ඈ අත තිබූ බෑගය බිම වැටුණි. 

සමාවෙන්න නංගි.... 




Saturday, March 22, 2014

කොන් වීම..........

මාව කොන් වෙලා වගේ... සමහරක් අය මෙහෙම කියනකොට ඒ කෙනා ගැන මොකක්ද අපිට හිතෙන්නේ? එක්කෝ මෙයා කොන් වෙන්න මෙයාගේ මොකක් හරි වැරද්දක් ඇති . නැත්නම් මොකටද කොන් වෙන්නේ?

ඔව් එහෙමත් වෙන්න ඇති නැත්නම් තවත් පැත්තක් තියෙනවා අපි හිතපු නැති. සමහරක්විට ඒ පුද්ගලයා තමන්ගේ පළමු ජීවිත අත්දැකීම් තමන්ගේ පවුලෙන් ලැබුනේ නැති කෙනෙක් වෙන්න ඇති. දැන් සමාජයේ ජීවත් වෙන ගොඩක් මිනිස්සුන්ට තමන් කොන් වෙලා තනිවෙලා කියන හැගීම දැනෙනවා වැඩියි කියන්න හේතුවක් තියෙනවා. එතකොටම තවත් කෙනෙක් කියයි ඔව් ඒ තමයි අපි හැමෝම කාර්යබහුල වෙලා කියල. නෑ......... තවත් හිතලා බැලුවොත් ඒකට මුලික වෙලා තියෙන්නේ පවුල.

මොකක්ද මේ පවුල කියන්නේ? ඇයි කෙනෙක්ව කොන් වෙන්න පවුල හේතු වෙන්නේ?

ඔය සමාජ විද්‍යාඥයෝ කියන්නේ පවුලක් කියන්නේ සමාජයේ කුඩාම ඒකකය කියල.ඒ කියන්නේ ඉතින් එක අතකින් බැලුවාම පවුලක් නැත්නම් සමාජයකුත් නෑ...

ඉස්සර පව්ලක් ගත්තාම කොච්චර කට්ටිය හිටියද ඒ පවුලේ? අම්මා තාත්තා ආච්චි සීයා දූ දරුවෝ නන්දා මාමා වගේ අඩුම තරමේ පරම්පරා තුනක කට්ටිය හිටපු ලොකු පවුල් තිබුනේ... කොච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇතිද ඒ පව්ලකින්? 

දැන් එහෙම නෙමෙයි තරගෙකට දුවන තරග කාරයෝ වෙලා හැමෝම.... පවුල් වලින් වෙන් වෙන් වෙලා ගිහින් තනියම ජීවත් වෙනවා... අම්මයි තාත්තයි දරුවොයි විතරක් ඉන්න පවුල් වලට සීමා වෙලා... දෙමවුපියෝ දෙන්නම රස්සාවට ගියාම දරුවන්ට ජීවිතේ කියල දෙන්නේ කව්ද එදා වගේ? ඒ හැමදේම ඉස්කෝලෙට බාර වෙලා? ඒත් ඉස්කොලෙනුත් මේ දේවල් හරියටම ලැබෙන්නේ නෑ කියන්න පුළුවන් මොකෝ දැන් ඔක්කොම දුවන්නේ දැනුම හොයාගෙන යන තරගෙක. 

අන්න එහෙම ගත්තාම දරුවෙක්ට ජීවිතේ අත්දැකීම් කියන දේ ලැබුනේ නැති උනාම මේ දරුවා කොන් වෙන එක ඉබේම වෙනවා... හැම කෙනෙක් තුලම නායකයෙක් ඉන්නවා. හැම කෙනෙක්ටම තමන්ට ආවේනික වෙච්ච හැකියා තියෙනවා. අන්න ඒ දේවල් තමන් තුලින් අදුනගන්න පවුලෙන් සමාජයෙන් ලැබෙන අත්දැකීම් වල සහයෝගය අනිවාර්යයෙන් ම තියෙනවා. අපේ අත්දැකීම් වලින් ලැබෙන පන්නරයෙන් තමයි මට මේ දේ පුළුවන් කියල අදුනගෙන මන් මේ පැත්තෙන් ඉස්සරහට යනවා කියන හැගීම හිතට එන්නේ. 

මේකට හොඳම උදාහරණ තියෙනවා සත්ව ලෝකේ .....

දැකලා තියෙනවද කුරුළු රංචු අහසේ පියාඹන හැටි?
  





V අකුරේ හැඩේට පියාඹන කුරුළු රංචුවේ ඉස්ස්රහෙන්ම යන්නේ රංචුවේ නායකයා.... 
එතකොට තව ප්‍රශ්නයක් එනවා මොකෝ මේ V අකුරේ හැඩේටම පියාඹන්නේ ? ඒ ප්‍රතිරෝධය අඩුකරගන්න තමයි එහෙම පියාඹන්නේ... 
දැන් ආයෙත් නායක කම ගැන කතා කරමු.....

මේ කණ්ඩායමේ ඉස්සරහෙන් යන නායකයා සරින් සැරේ මාරු වෙනවා මහන්සි උනාම. පේනවද  මේ V අකුරේ එක පාදයක් කොටයි එක පාදයක් දිගයි. එකට හේතුව තමයි මේ කණ්ඩායමේ ඉස්සරහෙන් යන නායකයට මහන්සි උනාම එයා ගිහින් එකතු වෙනවා අර දිගම පාදයේ කෙලවරට. ඒ දිග පාදයේ ඉන්නේ කලින් නායකයෝ වෙච්ච කට්ටිය. එතකොට අර කොට පාදයේ ඊළඟට ඉන්න කුරුල්ලා තමයි අලුත් නායකයා. ඒ විදිහට හැමෝම නායකයෙක් විදිහට වගකීමක් ගන්නවා. 

අපේ ජීවිත ගත්තාම කී දෙනෙක් කියනවා ඇහිලා තියෙනවද මටත් අවස්තාවක් ලැබුනා නම් කියල. ඒත් අපිත් දැනගන්න ඕනේ ඉස්සරහට යන්න නම් අවස්තාවක් හොයාගන්න නැත්නම් ලබාගන්න. දෙවියෝ ගෙනත් දෙයි කියල අහස දිහා බලන් හිටියට  වැඩක් නෑ ඇහුම තරමේ අහසෙන් වැටෙන වතුර ටිකක් කටට ගන්න වහින වෙලාවට කට අරගෙන හිටියට වැඩක් නෑ වැහි බිඳු කීයද කටට වැටෙන්නේ? වතුර එකතු කරගන්න ක්‍රමයක් කල්පනා කරන්න ඕනේ. 

ජීවිතෙත් ඒ වගේ, නැත්නම් තමන්ගේ බර වගේ නම ගුනෙක බරක් උස්සන් යන්න පුළුවන් කුඹියා තමන්ගේ ඇඟ දිහා බලලා අනේ මට මේ කෑම කන්දරාව උස්සන් යන්න බෑ කියල පැත්තකට උනා නම් කෑම නැති කාලෙට කන්නේ මොනවද? 



ඉතින් ඔයා කොන් වෙලා නෑ... ජීවිතේ හොයාගන්න. අත්දැකීම් ලබාගන්න. 

Thursday, March 13, 2014

තාමත් ආදරෙන් ..............

ඔයා මට එදා මොනවද කිව්වේ කියල මට තේරුම් ගන්න බැරි උනේ නෑ මොකද ඇහුනේ නෑ වගේ හිටියට හැමදාව වගේ ඔයා කතා කලේ මගේ හිතට 

එදා ඔයා කිව්ව හැම වචනයක්ම මට මතකයි 

ඔයා ගියා.... මන් තනි උනා....ඔයා දුර ඉඳන් හිනා වෙනවා මන් දන්නවා..ඒත් ඔයා මන් අඩනවා දකින්නේ නෑ... මන් හරිද වැරදි ද මන් දන්නේ නෑ ....ඒත් මන් ඔයාට වෛර කරනවා....ඒ ඔයා මාව දාලා ගිය නිසා නෙමෙයි...මන් අදටත් ඒ මතකයන් වල පැටලිලා කාටත් හොරෙන් අඩන නිසා.... 

ඔයා එහෙම කියලා අහක බලනකොටත් මගේ ඇස් වල කඳුළු එලියට එන්න පොරකනවා. ඔයා හිතන්නේ මන් සතුටන් ඉන්නවා කියලද? එදා වෙන් වෙලා ගිය තත්පරේ ඉඳන් ම ඔයා මගේ ජීවිතේට තව තවත් ලං උනා ඒ හැම මතකයක්ම අදටත්

 මගේ හිතට ලංවෙනවා වැඩියි එදාටත් වඩා... 

මගේ අතීතේ දන්නේ නැති සමහරක් යාළුවො මගෙන් අහනකොට මේ ඇස් වලට කඳුළු ඇයි කියල මන් මුකුත් කියන්නේ නෑ. ඔයා හිතයි ඒ මන් ආදරේ කළා කියන්න බයයි කියලද? නෑ ... මට කියාගන්න බැරි වෙයි ඒ තරම් දුකක් මගේ හිතේ හිරකරගෙන ඉන්නේ මන් මට වචන නෑ ඔයාට වගේ කියන්න මේ හිතේ තියෙන දුක ..... 

මන් අතීතෙට ඔයා වගේ වෛර කරන්නේ නෑ මට ආයෙත් අතීතෙට යන්න ඕනෙත් නෑ ඒත් මට වර්තමානේ මෙහෙම දුකෙන් ඉන්නත් බෑ... ඔය ආදරේ මට ආයෙත් ඕනේ කියන්න මට බෑ ඒත් ඔයාගේ ආදරේ අදටත් මට තිබුනා නම් කියල මට හිතෙන් නැතුවමත් නෙමෙයි ....