Showing posts with label ජීවිත නිසදැස .... Show all posts
Showing posts with label ජීවිත නිසදැස .... Show all posts

Thursday, May 27, 2021

මගේ නොවන

 හිමි වුවත් අහිමි 

මගේ වුවත් 

මගේ නොවෙන

ජීවිතයම ජීවත් කරවන 

ආදරණීයම සෙනෙහස....

නුඹ!  





Monday, August 1, 2016

ජීවිතයට අලුතෙන්..



අද දවස මට මහා ලොකු හීනයක් වගේ. වෙනදා වගේ කියවන සම්භාව්‍ය ගණයේ වචන මන් ළඟ අද නෑ. ඒ මොකද කියනවනම් මේ හැගීම් ඒ වචන වලින් විස්තර කරන්න බැරි නිසාම විතරක් නෙමෙයි ඒ තරමට මන් හිතින් මෝරලා නැති නිසා. ආදරේ කියන වචනෙට මගේ ජීවිතේ ළඟටවත් එන්න බැරි විදිහට මන් අගුළු දාල තිබුනේ මගේ වටේ හිටපු හැමෝම ඒ වචනෙන් කියවෙච්ච දේ නිසා විඳවපු නිසා වෙන්නත් ඇති නැත්නම් ආදරේ කියල දෙයක් මගේ පොඩි කාලේ ඉදලාම විඳින්න හම්බවුනේ නැති නිසා වෙන්න ඇති කියල මං නිගමනය කරලා තිබුනේ. කොලේජ් කාලේ ආදරේ කියන්නේ මහා ලොකු රැවටීමක් විදිහට හිතන්න පුළුවන් තරමේ මහා ලොකු සිදුවීම් ගොඩාක් එක්ක ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙච්ච අයට උත්තර හොයල දෙන්න ඒ දුක අහගෙන ඉන්න ගහක් ගලක් වගේ චරිතයක් විදිහට එයාලා දැක්කේ  මාව. ඒ දේවල් එක්ක මන් හිතුවෙත් ආදරේ කියන වචනේ සුන්දර: පොත් වල තියෙන කතා වල විතරක් කියල. මොකද කතාව ලියන කෙනාට ඕනේ වෙලාවට චරිතෙට කඳුළු වගේම ඕනේ වෙලාවට සිනහවත් ගෙනත් දෙන්න පුළුවන් කියල මන් දැනගෙන හිටපු නිසා. හැමෝටම තමන්ගේ කතාව පුහු මිත්‍යා විශ්වාස කුලගොත් වලින් එහාට ගෙනිගින් ඉර හඳ තාරකා වලට තමන්ගේ ජීවන විනිශ්චය දෙනකම් බලන් ඉන්නේ නැතුව තමන්ගේ කතාව තමන්ටම ලියාගන්න පුළුවන් කාලෙක අපි හිටියත් හැගීම් කියන නොපෙනෙන බලවෙගේ එක්ක අපි ලියන කතාවට වෙන කෙනෙක්ට එබිලා බලන්න තියෙන ඉඩ වැඩියි. ඒක කවදාකවත් වෙනස් කරන්න බැරි වෙයි මිනිස්සු කොච්චර යාන්ත්‍රීකරණය උනත් ඇස් වල පෙනීම තියෙන්න කඳුළු තියෙන්න ඕනේ වගේ හැගීම් මානවයා එක්ක හැමදාමත් ඉදිවී.

අද කාලේ සමාජ ජාලා කියන නූතන තාක්ෂණයත් එක්ක ස්ත්‍රී දුෂණ, වංචා, මංකොල්ලකෑම්, මිනී මැරුම්, අනියම් සම්බන්ධතා ඇති වෙලා කියල තියෙන ප්‍රචාරෙත් එක්ක ගොඩක් කතිමතාන්තර තියෙනවා වගේම තරුණ පරම්පරාව වැඩිහිටි පරම්පරාවත් අතර බැම්මක් නැත්නම් සමහරක් වෙලාවටමත ගැටුමක් බවට මේ තාක්ෂණය ඇවිත් තියෙනවා කියල සමහරක් අය කියයි. නැත්නම් ඕනෙම කාලෙක අලුත් දෙයක් හඳුන්වලා දුන්නාම කොහොමත් ඕවගේ දෙවන් අහගන්න වෙනවා, හැමදේම හොඳ වගේ නරකත් තියෙනවා, ඇයි ඉස්සර එතකොට ඔය කියන අපරාධ වෙලා නැද්ද?, දැන් ඕවගේ ප්‍රශ්න වලට තටු ඇවිත් තියෙන්නේ ඉස්සර අවුරුදු 30ක් තිස්සේ තිබුන යුද්දේ ඉවර වෙච්ච නිසා කියල ඔන්න ඕවගේ හේතු මහා කන්දක් එකතු කරගන්න පුළුවන් වෙයි වර්තමානේ වෙන සිදුවීම් ගැන එකිනෙකාගේ අදහස් එකතු කලොත්.

මොනවා උනත් අපි කතා කලේ ආදරේ. මටත් හිතුනා ඒ කාලේ අපේ අම්මලා ආච්චිලාගේ කාලේ ආදරේ සුන්දර ඇති කියල. දැන් වගේ මොබයිල් ෆෝන් තිබුනේ නැති කාලේ. හිතේ හැම දෙයක්ම වගේම හිතේ තියෙන ආදරේ කොච්චරක් ද කියල පැහැදිලි කරන්න ලියපු වචන අමු අමුවේ ලියපු දේවල් නෙමෙයි කියල මට හිතෙනවා. ඇත්තම කිව්වොත් ඒ කාලේ තිබුණ ආදරේ තමන්ගේ කොල්ලව මොනවා උනත් පරිස්සම් කරන්න ඕනේ කෙල්ලගේ ගෞරවය කියන දේ ගැන හිතුවා කියල ඒ කාලේ හිටපු හැමෝම වගේ කිව්වා. ලියුමක් ලියලා කෙල්ලට හරි කොල්ලට හරි දෙන්න කොච්චර ගේමක් දෙන්න වෙනවද සමහරක් වෙලාවට. ඊට පස්සේ ඒ හම්බවෙච්ච ලියුම් ටික පන වගේ තියාගන්න වෙන කෙනෙක්ට අහු නොවෙන්න දාන දහන්  ගැට කොච්චරක් ද? දැන් කාලේ එවුන්ට නම් මේවා මහා වදයක් උනාට ඒ අතීතේ සුන්දරයි කියල මට හිතෙනවා.

දැන් කාලේ ඒ වගේද ලෝකෙම විශ්ව ගම්මානයක් බවට පත් කරපු පුරුවේ පිනට අපිත් ඒ කාලෙම ඉපදිලා දැන් ඉතින් ආදරේ කලත් එකම ගෙදර ඉන්නවා කියල හිතෙන තරමටම ලං වෙලා ඉන්න පුළුවන් වගේම. කතා බහ කරන වචන පවා වෙනස් වෙලා. සුදූ, බබා, චූටි, රත්තරන්, ස්වීටි, බබී, ඩාලින්, මෙයා වගේ එකී නොකී බොහෝ වදන් මේ ආදර වචන ගොඩට එකතු වෙලා. මොබයිල් ෆෝන් එක දුරකථන ඇමතුමට සීමා  නොවී මුහුණු පොත, වට්ස් ඇප්, වයිබර්, ඉමෝ වගේ ඇප්ස් වලින් තවත් එහාට ගිහින්. ඒ ආදරේ උදේ නැගිටපු වෙලාවේ ඉදන් කන්නේ මොනවද, බොන්නේ මොනවද, අපි එකට කමු, අදින්නේ මොනවද, මොනවද කරන්නේ?, රෑට නිදාගන්නේ කීයටද? එකට නිදාගමු වගේ හැම දේම හුවමාරු කරගන්න තරමටම අද ආදරේ කරන අය ලං වෙලා. තම තමන් ගැන නොදන්නා දෙයක් නෑ. අර එදා තමන් සතියෙම කරපු විශේෂ දේවල් හැමදේම ලියලා යැව්වට හැම මගුලම ලියන්න ගියේ නැති නිසා ඒ කාලේ ආදර වන්තයින්ට තමන්ගේ අනාගතේට ඉතුරු කරපු ටිකකුත් හිතේ කොනක පරිස්සමෙන් අයින් කරලා තිබුනා ලස්සනට. ඒ ලස්සන අද කාලේ අයට පරිස්සමෙන් අරන් තියන්න නැහැ හැමදේම දැකලා කතා කරලා ඉවරයි බොහෝ අය.

ඒ වගේම තමයි අද කාලේ දෙන්නෙක් හම්බවෙන පළවෙනි පාරටම කෙල්ල කොල්ලට කොච්චර ආදරෙයිද කියල ඔප්පු කරන්න කොල්ලා එක්කන් යන්නේ රූම් එකකට. ඇත්තටම රූම් එකක යහන්ගත උනාට පස්සේ ඒ කෙල්ලගෙන් ආදරේ කියන දේම බලාපොරොත්තු වෙනවද? ඇයි ඉස්සෙල්ලම ආදරයේ නාමයෙන් යහන්ගත වෙන්නේ? ඒකද ආදරේ? ඕවගේ ප්‍රශ්න අතරේ කෙල්ලටත් තමන්ගේ ආදරේ ඔප්පු කරන්න කොල්ලා රූම්ගත වෙන්න කරන ආරාධනාවත් එක්ක හිතන්න තවත් ප්‍රශ්න ගොඩක් මතු වෙනවා. ඒ මේ මනුස්සයා මගේ මොනවටද ඇලිලා ඉන්නේ? ආදරේ මේකද? ඇත්තටම මට ආදරයක් තියෙනවනම් මෙහෙම යෝජනාවක් කරයි ද? මෙහෙම නොහිතා ආදරයේ නාමයෙන් අමාරුවේ වැටුන කී දෙනෙක් නම් ඉන්නවද? නැත්නම් මෙහෙම එක්කගෙන ගිහින් ආදරයේ නාමයෙන් කෙල්ලට එහෙම කලේ නැත්නම් කෙල්ල පිට යන්න ඉඩ තියෙනවා. මේකෙන් පස්සේ කෙල්ල මගේ පස්සෙන්ම වැටිලා ඉදියි ඔන්න ඕවගේ මත තියෙන පිස්සොත් අද කාලේ පඳුරකට පයින් ගැහුවොත් බුරුතු පිටින් විසික් වෙන තරමට ඉන්නවා මට විශ්වාසයි. නැත්නම් තව ඉන්නවා තමන්ගේ පලවෙනි කෙල්ල දාලා ගියේ ඒ කෙල්ලව මලක් වගේ පරිස්සම් කළා එහෙම කිසිම දෙයක් කලේ නෑ මගේ මෝඩකම ආයේ නම් එහෙම කරන්නේ නෑ. ඔන්න ඕවගේ හිතන උන්මාද කාරයොත් ඉන්නවා.

ඒ වගේම තමයි දැන් කාලේ ෆිල්ම් එකක් බලන්න පොඩි එකෙක්ව ඔඩිසී එක පැත්තටවත් එක්කන් යන්න පුලුවන්ද අන්තිම පෙලියත් එක්ක තියෙන ආදරවන්තයින්ට වෙන් කරපු පොඩි පොඩි කූඩු ලෝකෙන් ඇහෙන සද්ද බද්දත් එක්ක. මොකක්ද ඒකෙ තේරුම? ආදරේ ඕවගේ කූඩුවක් ඇතුලේ විඳින්න තරම් දෙයක් තියෙනවද? සමහරක් වෙලාවට ෆිල්ම් හෝල් එකට ගිය දෙන්නා නෙමෙයි එන්නේ වෙනම චරිත දෙකක්. එකද සුන්දර ආදරය? මන් හිතන්නේ නෑ...

තමාගේ ජීවිතේට කෙනෙක් ඉදිද්දී තව කෙනෙක්ට බොක්කෙන්ම ආදරේ කරන අය අතරේ බැඳලා ලස්සන චූටි දුවෙක් ඉන්න ගමන් තව කෙල්ලෙක්ට තමන්ගේ මුළු ආත්මෙන්ම ආදරේ කරන්න පුළුවන් අයත් මේ සමාජේ ඕනේ තරම්. ඒ හැමදේම ලස්සනට යටපත් කරන්න දැනගත්ත දවසට ලස්සනට සාධාරණීකරණය කරන්න බෑ කියල හිතෙනවනම් එකත් බොරුවක්. තමන්ගේ ජීවිතේ තියෙන ප්‍රශ්න අමතක කරන්න එහෙමත් නැත්නම් තමන්ට ඕනේ කරන වැඩක් කරවා ගන්න ඒ විදිහට වෙස්මුහුණු දාගෙන ලංවෙන අයට අනුකම්පා කරපු, ආදරේ කරපු අය නැත්තේ නෑ ඉන්නවා.  

දැන් කාලේ ඕවගේ විප්‍රකාර එක්ක ආදරේ කියන වචනේ මං පිළිකුල් කළා. දැන් කාලේ ආදරේ කියන එක මාකට් වෙලා ගන්න තරයම් දෙයක් නෑ. නිකම් හප කරලා විසික් කරපු චුවින්ගම් එකකට වඩා අන්තයි කියල හිතෙන තරමට ආදරේ දුෂණය වෙලා. තමන්ගේ හිතේ තියෙන කාමුක ආශාවන් මුදුන් පමුණුවා ගන්න නැත්නම් දාලා ගිය කෙනාගෙන් පළිගන්න කියල හිතාගෙන ආදරේ කරන බහුතරයක් නිසා මේ ආදරේ කියන සුන්දර හැගීම දුෂණය වෙලා. ඉතින් එහෙම මතයක් හිතේ තියාගෙන හිටපු මාව කාටවත් වෙනස් කරන්න බැරි වෙයි කියල අනිත් හැමෝමත් එක්කම මාත් හිතාගෙන හිටියා. මොකද ඉස්සර අතීතයේ සිදුවීම්, ලස්සන ආදර කතාවල හිටපු පෙම්වතුන් රතු දත්ත පොතට ගිහින් වගේ කියල දැනුන නිසා. ජීවිතේ කියන්නේ විදින්න තියෙන දෙයක් විදවන්න තියෙන දෙයක් කියල තරුණ කාලේ හිතාගෙන ගොඩක් අය ඒ ජීවිතේ කාලකන්නි කරගන්න කලින් හිතන්නේ නැහැ ජීවිතේ විඳින්න ගිහින් විදවන්න වෙයිද කියලා. ඒ වගේම තමයි තරුණ කාලේ තියෙන නිදහසෙන් ලස්සනෙන් යුතු ප්‍රයෝජන ගන්න කලින් හිතන්න දෙයක් තියෙනවා. තරුණ කාලෙම ජීවත් වෙන්නේ නෑ අපිත් වයසට යනවා අන්න එහෙම වයසට ගිය කාලෙක මතක් කරලා සතුටු වෙන්න පුළුවන් අතීතයක් තියාගන්න ඕනේ කියන එක.

සමහරක් වෙලාවට ඒ කොහොම හරි ගෙනාපු ආදරේ එක්කෝ ගෙවල් වලට කිව්වට පස්සේ වෙනස් වෙනවා. මහ උජාරුවට අපි පොෂ් කියාගෙන ඉන්න පෝසත් පවුල් වල උදවියත් තමන්ගේ ළමයි බන්දලා දෙනකොට අර අතීතේ කරපු රස්සා අනුව කුල වලට වෙන් කරලා තියපු එකත් හොයනවා. අර ගව් ගණන් දුර තියෙන තරු කොච්චර දුරට බලපෑම් කරයිද කියල හොයනවා. මේ ලෝකෙට එන්න නැකත් බැලුවේ නැති උනාට හැමදේටම ඉර හඳ තරු ග්‍රහ ලෝක වලට මුල් තැන දීලා අර ආදරේ අන්තිමට දාලා බලනවා දෙන්නා ගැලපෙනවද කියල.ඉතින් කරුමෙටවත් ඒ දේවල් ගැලපෙන්නේ නැතිව ගියොත් අර ආදරේට මොකද වෙන්නේ? ඒත් ගෙදර මෙච්චර කල් තමන්ව හදාපු අම්මා තාත්තා විරුද්ධ දෙයක් කරන්නේ කොහොමද?

මේ සිතුවිලි මගේ හිතේ ගොඩාක් කල් තිබුන ඒවා. ගොඩාක් අය කිව්වා මන් බඳින එකක් නෑ කියල. ඇත්ත මට කාලයක් හිතුනා දහමට අනුව ජීවිතේ ගෙනියන්න්න මේ ලෞකික ජීවිතෙන් ඈත් වෙන්න. තවත් අය කිව්වා මට හිතක් පපුවක් නැති කෙනෙක් කියල. ඒ කිසිම සංවේදී වෙලාවක මගේ ඇස් වලින් කඳුළක් වැටුනේ නැති නිසා. එත් පිටට නොපෙනෙන්න කොච්චර අඩලා තියෙනවද කියන්න මට ඕනේ කමක් තිබුනේ නෑ. හුදෙකලා වෙච්ච පරිසරේක අවුරුදු ගානක් හිටපු කෙනෙක් සංවේදී නෑ කියන්න කාටවත් අයිතියක් නෑ කියන්න මන් දැනගෙන හිටියා. මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ හරිම දුර්ලභ දෙයක් එත් පව් පින් අනුව ඒ ජීවිතේ ගෙවෙන විදිහ එකිනෙකාට වෙනස් වෙනවා. ළඟින් ආශ්‍රය කරපු අය ඇරෙන්න දුරින් ඉදන් බලපු අය කිව්ව නිහඬ ජීවිතේට ලඟදි කෙනෙක් ආවා. ඒ කව්ද කියන්න මං හරියට තාම දන්නේ නෑ ඒ කියන්නේ මට තාම හිතාගන්න බෑ ඒක හීනයක් ද කියල.

දැන් කාලේ තියෙන ලාබ දෙකයි පනහේ ආදරයක් මං ඒ චරිතෙන් දැක්කේ  නෑ. ඒ නිසා මන් තීරණයක් ගත්තා එයාට  මගේ ජීවිතේට එන්න දෙන්න. අර සුන්දර ආදරේ ගැන හිත හිතන්න පටන් ගත්තා. කොහේ හරි යමු කියලා මාව එක්කගෙන ගිය දවසේ මුකුත් නොකියා මන් ගියේ තිබුන විශ්වාසෙ නිසා ඇත්තටම එදා මට හිතුනා පොත්වල තියෙන සමහර දේවල් හැබෑ  ආදරේටත් වලංගුයි කියලා. ඇත්තටම  මන් හැමදාමත් යන්න  ආසාවෙන් හිටපු තැනක් තමයි මුහුදු වෙරළ. ඈත ඉඳන් හමාගෙන එන හුළඟ අපේ හිත් වල තියෙන දුක් දොම්නස් සේරම හිත ඇතුලට රිංගල අරගෙන යනවා වගේ හැගීමක් දැනෙනවා. පුදුම විදිහට හිත සැහැල්ලු කරගන්න පුළුවන් තැනක් විදිහට මන් මුහුදු වෙරළ දැක්කේ. මාව බීච් එකට එක්කන් ගියාම ඇත්තටම මන් මුළු හිතින්ම සතුටු උනා මගේ හිත තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ලැබුන එක ගැන. ඒ වගේම මගේ හැමදේම කියන්න පුළුවන් කෙනෙක් හොඳ සවන්දෙන්නෙක් මට හම්බුනා. ජීවිතේ තිබුන හැමදේම ගැන කියන්න පුළුවන් දෙයක් ගැන හොඳට තේරුම් ගන්න කෙනෙක්. ඊළඟට මට හිතුනේ හැමදේම එක්ස්ප්‍රස් වෙලා තියෙන කාලේ මට හම්බවෙච්ච මේ ආදරේ හරි මන්දගාමී. එහෙම කිව්වාම සමහරක් අය හිතයි අපෝ වැඩක් නෑ එහෙනම් කියල. නෑ.....! ඇත්තටම ස්පීඩ් වෙන්න ඕන දේවල් අතරට ආදරේ දාන්න බැහැ. අපි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න බලනකොට Mbp කීයද කියල බලලා ගන්නවා වගේ නෙමෙයි ආදරේ කියන දේ. මන්දගාමී වෙන තරමට ජීවිතෙන් ආදරේ සුන්දරව විඳගන්න පුළුවන්. ඒ වගේ තමයි මගේ ආදරේ. එයාටත් ඕනෙනම් තිබුනා හම්බවෙච්ච පලවෙනි දවසෙම ලඟට අරන් හැමදේම කරන්න. එත් මන් මගේ කොල්ලා ගැන ආඩම්බරයි එහෙම ආසාවට පලවෙනි තැන දීලා  හැමදේම දෙකට දාන කෙනෙක් නෙමෙයි.

ඇත්තටම මට දැන් හිතෙන්නේ මං සර්ව සම්පුර්ණ වේගන එනවා වගේ. මගේ ජීවිතේ හීන කියල හිතපු දේවල් හැබෑ කරගන්න පුළුවන් ඒ හැමදේත් එක්කම ළඟින් ඉන්නවා කියලා දැනෙන කෙනෙක්. ඇත්තටම ඒ දේ අද මට හොඳටම තේරුම් ගන්න පුළුවන් උනා. අපි ගොඩාක් වෙලා මුහුද දිහා බලන් හිටියා. ඒත් මීට මාස දෙකකට විතර කලින් මන් මුහුද දිහා බලාගෙන හිටියේ මගේ හිතේ තියෙන දරාගන්න බැරි දුක ඒ මුහුදු හුළඟ ඇවිත් අරගෙන යනකම් එත් අපි දෙන්නා අත් අල්ලගෙ ඒ මුහුද දිහාම එදා බලන් ඉන්නකොට මගේ හිතේ ඒ දුක වෙනුවට කියාගන්න බැරි සැනසීමක් එක්ක ආදරණීය සෙනෙහසකින් පිරිලා තිබුනා කියන්න මට දැනුනා.  ඇත්තටම මගේ අතින් අල්ලාගෙන හිටපු වෙලාවේ මට තව කෙනෙක්ව මතක් උනා. මං හොස්පිටල් ඉන්න කාලේ මාව බලන්න ඇවිත් මගේ අතෙන් අල්ලාගෙන හිටපු කෙනාව මට එයා මතක් කරලා දුන්නා එදා ඒ දැනුන සෙනෙහස මට ඔයාගෙන් අද දැනුනා එදා ඒ තරම් ආදරෙන් මගේ අතින් අල්ලගෙන හිටියේ වෙන කෙනෙක් නෙමෙයි මං ඉස්සෙල්ලම ආදරේ කරපු කෙනා තාමත් මන් එයාට ආදරෙයි. මන් ඒ ආදරේ තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඒ මගේ තාත්තා. ඒ දේ මට ගෙනල්ලා දුන්න එයාව මට මුණගැස්සුවට මන් කාටවත් පිං දෙන්න ලෑස්ති නෑ. මොකද පේන්නේ නැති අයව මන් වැඩිය විශ්වාස කරන්නේ නැති නිසා. මගේ ජීවිතේට ආවට ස්තූති කරන්නේ එයාටම තමයි. ආදරෙයි හැමදාටමත්..... හැමදේම හොඳින් සිද්ධ වෙයි නේද? 

මීට ආදරණීය හදවත.....


Sunday, July 24, 2016

දෑත්........

සිතින් බැඳුනු දින 
වතටම නොව ඒ ආදරය 
පුහු ෆැන්ටසි සමාජ කැඩපතින් එහාට 
ආදරණීය හිතක් හමු වූ මට 
කුමට වෙන සම්පත්????
මෙතෙක් තනි වූ ජීවන ගමනට 
සපැමිණි ජීවන සහකරුවාණෙනි 
ඔබ ආදරණීය සිත
තුළ 
ළබැඳියෙකු ලෙස සැමදා 
රැඳෙනු වස් 
යදිමි නෙතු දසුනට 
මෙතෙක් හමු නොවූ ... 
දෙවියන් නොව 
ම සිත තුළම අරක්ගත් 
ඉෂ්ඨ දේවතාව වූ ඔබෙන්.... 
ආදරණීය ලෙසින් 
අද අල්වාගත්  මේ දෑත
ඒ මොහත 
මිහිරි රැකවරණයක් ගෙනා බැව් 
ඔබ නොදන්නෙහිද මා නොදනිමි ... 
එය ම සොඳුරුතම 
තවත් මතකයක් ලෙසින් 
නිදන්ගත කරගතිමි 
නිරාමිස ආදරයෙන්.... 



Friday, July 22, 2016

අලුත් ඉරක්



මැදියම් රැයත් ගෙවී ගොස්ය. මාගේ චිත්ත සන්තානය තුල කැළඹෙන ඇඹරෙන පෙරලිකරන්නා වූ අදහස් තුලට නිදි දෙව් දුව ලඟා නොවූ සැටියකි. මෙලෙස හිත පෙරලි කරන්නා වූ සතියට මරණය සැපතකි. ක්‍ෂණයෙන් කිසියම් ආකල්පයක් විත් අඳුරු කාමරයක සිටියදී එක්වරම ආලෝකයක් එල්ල වූවාක් වැනි ක්ෂණික හැගීමකින් මා හිස බිත්තියෙහි කිහිපවරක්ම ගසාගත්තෙමි. ජීවිතය සුන්දරව විඳින්නට පෙරුම් පිරූ සිතින්ම මරණයට ඇත වනමින් සිටින්නෙමි. මා අසලට විත් වැළඳගන්නේ නම්........
මා වීදුරුව බිදී ගිය ජනීලය තුලින් අහස තුල ඇති අන්ධකාරය තුල ගිලීමට වෑයම් කරාමි. පාසල් භුමිය තුලින් පිටවී එනවිට මා සිත තුළ පවතී රික්තකය දෙගුණයක්, තුන් ගුණයක්, සිව් ගුණයක් ඉක්මවා මා ගත පුරාවටම පැතිර විහිදී ඇති සෙයකි.

හිස හිරිවැටී ඇත. අන් සරණක් නොමැති මම මගේ හිස මම ම පිරිමැදගතිමි. කෙහෙරැල් තුලින් ඇගිලිතුඩු යවා පිරිමදිනවිට දහදිය මුහුවී එකට ඇලුණු කෙහෙ රොදවල් කිහිපයක් අතෙන් ඇද්දෙමි.ඒ වේදනාවද මා හට ප්‍රියජනක විය. කාමරයද තරු නැති අහස මෙන් අඳුරේ ගිලී ඇත. මා හිස පිරිමැදි අත නාසයට ලං කලෙමි. දහදිය සමඟ මුසු වූ ලේ සුවඳක්! ඔලුව තුවාල වන්නට ඇත. මා තුවාලයට ඇගිල්ලක් තබා එය සෙමෙන් පෑරුවෙමි. කෙතරම් සුවදායක හැගීමක් ද?

අතෙහි තැවරුණු ලේ බිඳු කිහිපයක් මා දෙතොලට ගෙන රහ බැලුවෙමි. තුඃ නොදකින්! මලකඩ රැසක් එන්නේ මන්ද? මා සිත මවිසින්ම යකඩයක් බවට පත් කර බොහෝ කල් ය. නමුත් එයට කෙසේ හෝ තෙතමනය ලැබී ඇත. හිත තැලී පොඩි වී කඳුලින් තෙත් වී මලකඩ කා ඇත. එය මොලය දක්වා විත් ඔලුකට්ට පසාරු කල තුවාලයෙන් එලියට පැන ඇත.
මෙතෙක් මා මැවූ සිහින මාළිගා මා ඉදිරිපිටම සුන්නද්දුලි වී ගොස් ය.උසස්පෙළ සමත්වී වෛද්‍යවරයෙකු වන්නට, මාදෙස හෑල්ලුවට නෙත් හෙළුවන් දෙස ආඩම්බරයෙන් බලන්නට, දේවතාවියක් වූ අම්මාගේ අවසන් කාලයවත්  සැපවත් කරන්නට මා විසින් මැවූ සිහින මාලිගාවේ අඩිතාලමෙන් ම පුපුරා ගොස් මේ වනවිට පැය ගණනාවක් ගෙවී ගොස් හමාරය.
                                       ******************

“ ඒ වෙනුර..... අද රිසාල්ට් ඇවිත් ......... යමුද ඉස්කෝලේ පැත්තේ....? “

අරවින්ද වැටට උඩින් පැන  එමින් කතා කරනවිට ම විසින් අම්මාට ලුණු කැඳ කෝප්පයක් පොවා අවසන් කළා පමණි. ඔහුගේ කටහඩින් ඇගේ දෑසේ ඇති වූ දීප්තිය මා හැදිනගත්තෙමි. ඒ ඈ සිත තුල ඉතිරි වී ඇති අවසන් බලාපොරොත්තුව මා බැව් අප්පච්චී අප තනිකර ගිය දා සිට මා දැන සිටියෙමි.

“ පොඩ්ඩක් හිටපන් මං ලෑස්ති වෙලා එන්නම්......”

එසේ කියමින් මා ගෙතුලට ගියද පාසල වෙත ගොස් විභාග ප්‍රතිපල බැලීමේ උනන්දුවක් නොව උදාසීනකමක් මසිත තුල ඇති විය. මා සෙමෙන් සේමන් කමිසයේ බොත්තම් පියවීමි. මා මන්දගාමී වී ඇත ඉක්මන් වන්නට තැත් කලද කාන්දමකට ඇලී පවතින යකඩයක් මවෙන් කරන්නට දරන වෑයම මෙන් මා මන්දගාමී තත්වයට ඇදෙමින් තිබුණි.

“ මොනවද බං මෙච්චර වෙලා කරන්නේ...?”

“හරි... හරි... යමු ....”

කියමින් මා කාමරයෙන් එලියට පැමිණියෙමි. “ මේ... මොකද මේ....?” උඹ කාමරේට වෙලා මොනව කලාද.....? ඔලුව පීරගේනවත් නෑ... නින්දෙන් නැගිටලා වගේනේ බං ......”

ළගට ආ අරවින්ද ඔලුව අතින් පීරුවේය. “හා ... දැන් යමන් අපේ දොස්තර මහත්තයෝ ....” අරවින්ද පෙරමුණ ගත්තේය. 

“ අම්මේ.... මං ගිහින් එන්නම්....” මම අම්මාට වැන්දෙමි. අරවින්ද ද මා පසුපස විත් අම්මාට වැන්දේය.

“බුදුසරණයි මයේ පුතේ... පරිස්සමෙන් ගිහින් එන්න... මං දන්නවා මයේ පුතාට වරදින්නේ නෑ....”

“හ්ම්ම්ම්... “ මට කියවුනේ එපමණකි. මසිත දැවී හළු වී ගියේය.
පාසලට යන මඟ දිගට අරවින්ද කතා කළේය.

“ මට ෂුවර් බං උඹනම් ඉතින් ආයෙත් නෑ කැම්පස් ම තමයි... අනේ ඉතින්... දෙයියනේ කියලා මටනම් එස් තුනකින් හරි ශේප් වෙන්න තිබුනොත් ඒ ඇති.... ජොබ් කට්ටක්වත් හොයාගන්න....”

ඒ අතරතුර මසිත ඇදී ගියේ උසස්පෙළ විභාගය ලියූ දින කිහිපය ය. ඇත්තෙන්ම මට සිදු වූයේ කුමක්ද? පාසලටම සිටි දක්ෂතම සිසුවා වූ මා කෙරෙහි සියල්ලෝම බලාපොරොත්තු තබා සිටියහ. ප්‍රසන පත්‍රය අතට ගත් මොහොතේ මුළු සිරුර පුරාවටම ඇදීගිය විදුලියක් සමග මා අඩපන වී ගියෙමි. කෙසේ පිළිතුරු ලිව්වාදැයි මා හට දැනුදු අවබෝධයක් නොමැත. දැන් කෙසේනම් ලොවට මුහුණ දෙන්නද.... ? මා පාසලට යා යුතු ද? එලෙස සිතමින් මනෝ ලොව තුල සැරිසැරූ මා පියවි සිහිය ලැබුවේ අරවින්ද මා අතින් අදිනවාත් සමඟ ය.

“ කොහෙද යකෝ පාර මැදට යන්නේ....? අදම වාහනේකට යටවෙලා මැරෙන්නද හදන්නේ....? යමන් ඉස්කෝලේ ඇතුලට... අන්න අපේ කට්ටිය නෝටිස් බෝර්ඩ් එක ළඟ...”

ආපසු හැරෙන්නට වෙලාවක් නැත. මා බිමට හරවාගත් හිසින් යුතුව අරවින්ද පසුපස ඇදුනෙමි. අප දෙදෙනා පන්තියේ අනිත් සගයන් වෙත ගියා පමණි. ඔවුන් අතර තිබු කසු කුසුව නැවතුණි. ඔවුන් දෙස බැලීමට මා හට දැඩි ආයාසයක් ගැනීමට සිදු වූයේ වරදක් කල හසු වුවෙකු විලසිනි.

“ කෝ.... අයින් වෙයල්ලා .....  අපේ කොල්ලගේ රිසාල්ට් බලන්න...”

 අරවින්ද රැස්ව සිටියවුන් දෙපසට කරමින් නෝටිස් බෝර්ඩ් එක අසලට ගියේය. මා තවත් සිටියේ බිම බලාගත්වනමය. කවුරුන් හෝ මා කරට අතක් දා ඔහු අසලට ඇදගත්තේය. වෙන කවුරුවත් නොව ඒ අරවින්ද ය. මා දියාරු හිනාවක් මුහුණට ඈදා ගැනීමට තැත් කලෙමි.

“ වරුණ.... රිසාල්ට්.... බලන්න ඕනෙද...?” අරවින්ද ගොතගසමින් ඇසූවිට එය සිදුවී ඇති බව මට සිතාගත හැකි විය. කැම්පස් සිහිනය බොඳ වී ඇත!

“ඕනේ නෑ..... අපි යන් .....” මා අනෙක් සඟයන් දෙස බලා සිනාසුනෙමි. මද දුරක් යන තෙක් අප දෙදෙනා නිහඬව ගමන් කළෙමු.

 “ ගණන් ගන්න එපා බං අපි ඔක්කොම දන්නවනේ උබ  කොච්චර ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙනද එග්සෑම් කලේ කියල.... ඒ අතින් උබ ෆේල් නොවී එස් තුනකින් හරි ගොඩ දාගත්ත එකත් ලොකු දෙයක් බං....”

“ හ්ම්ම්ම්.........” එය මට විසඳුමක් නොවීය.  ඉදිරියට මා කුමක් කල යුතුද? අප්පච්චී නැති වූ දා සිට අංශභාග රෝගියෙකු වූ අම්මා බලාගන්නට මා හට මහත් වූ දුෂ්කර ක්‍රියාවක නිරත වන්නට සිදු වේය. පාසල් ගොස් පැමිණ පොඩි වුන් හට විද්‍යාව,ගණිතය උගන්වා සොයාගත් රුපියල් සත වලින් මෙතෙක් ජීවිතය ගැටගසා ගත්තෙමු. මින් ඉදිරියට මා කුමක් කරන්නද? සුළු රැකියාවක්? නැත ! මා ඉලක්කය සපුරාගත යුතුය.

“ ආ..... වෙනුර පුතේ.... අද ප්‍රතිපල ඇවිත්ලු නේද ....? සමුපකාරයෙන් එලියට එමින් සමන්ති නැන්දා ඇසුවාය.

“ ඔව් නැන්දේ .. මේ ගිහින් එනගමන්.... අපි යන්නම් ආ....” අරවින්ද මගේ කරට අත දමා ගමන ඉක්මන් කලේ එතැනින් ගැලවීමට මගේ තිබූ සිතුවිල්ල තේරුම් ගත්තාක් මෙනි.

“ඔය ගෑනිට කිව්වනම් ගමම ගිනි තියල... ගෙදර යන්න කලින්... මන් දන්නැද්ද ඔය ගෑනිගේ කට”

අප්පච්චී නැති වූ පසු ජීවිතය ගොඩ ගැනීමට මාර්ගයක් සොයන මා හට දිනක් සමන්ති නැන්දා පැමිණ යෝජනා කලේ ඇගේ සැමියාගේ කොන්ත්‍රාත් වැඩපලෙහි සිමෙන්ති අනන්නටෙන ලෙස ය. නමුදු ඉගෙනගැනීමට තිබූ සිහිනය එම රැකියාවට පයින් ගැසී ය .

“පුතේ.....”

අම්මාගේ කටහඩින් මා නැවත පියවි සිහිය ලැබුවෙමි. කාමරය තවමත් අදුරේ ගිලී ඇත. අම්මාගේ සිහින් කෙඳිරිලි හඩක් ඇසේ. මා දඩි බිඩි ගා බිමට පැන්නේ  මා ආවේගයෙන් අතට හසු වූ බෝතලයෙන් දමා ගසා බිඳ දැමූ ජනේලයේ වීදුරු කටු ගොඩ මතට ය...

“අම්මේ....”

“මයේ ළඟින් වාඩිවෙන්න පුතේ.....”

මම අම්මා අසලින් වාඩි වී ඇයගේ හිස පිරිමදින්නට වීමි.  ඇය එයට කැමති බැව් මා දනිමි. කුඩා කල මා නිදිකරවන විට නැලවිලි ගී කියමින් ඇය මා හිස පිරිමැදී අයුරු මතක් වී මා දෑස  තෙත් විය. මා සිත ඊයම් බරු දහසක් එල්ලා ඇති ලෙසකින් බර වී ඇත.

“ පුතේ... මයෙ පුතා දුක් වෙන්න එපා මයෙ පුතේ... උඹට වරදින්නේ නෑ.... උඹ මෙච්චර දුක් කන්දරාවක් හිතේ තදකරගෙන.... ගත්තු ප්‍රතිපලේ මට මහමෙරක් තරම් පුතේ.... උඹ හෙට උදේම ගිහින් කසුන් සර් ව හම්බවෙන්න මං කියන්නේ.... ඒ උත්තමයානේ අපට මේ විදිහට ජීවත් වෙන්න උදව් කලේ .....” කියමින් ඇය මා දෙස බැලුවා ය.

“ කසුන් සර්...!” කෙසේනම් මා හට අමතක වුනිද? නැත! කෙසේ අමතක වන්නද?මේ තරම් දුරට අධ්‍යාපනය ලැබීමට තරම් මා ජීවිතය ආලෝකවත් කල ඉෂ්ඨ දේවතාවන් වූ ඔහු අසනීම වූ මවත් මාත් මෙලොව කිසිඳු හව් හරණයක් නොමැතිව අසරණ වූ දා ඔහු පෙන්වූ මඟ නොවන්නට කුසගින්නේම මිය යනවා හැරෙන්නට මේවා විකල්පයක් මා කුඩා සිත ට නොනැගුනි.

“ කොල්ලෝ.... උඹ ඔලුවෙන් වැඩක් ගනින්.... මම ළමයි ටිකක් හොයලා දෙන්නම් ටියුෂන් දෙන්න...”

එදා ඔහු කී ඒ වදන් ම සවනත රැව් පිළිරැව් දුනි.

පිටත අකුණු ගසමින් වසින්නට විය. වෙලාව මැදියම් රැයට මිනිත්තු කිහිපයක් විය. පිටත මෙන්ම ම සිත ඇතුලාන්තයෙන් ද කුණාටුවක් හමමින් තිබුණි.අනාගතය කුමක් ද? ! පාන්දර 5 ට පමණ වර්ෂාව නිමා විය. මා ඇඳෙන් බිමට දෙපා තබා නැගිට්ටෙමි. පෙරදා වීදුරු කටු වලට කැපුණු දෙපතුල් රිදුම් දෙන්නට විය. “ මේ හැමදේම උඹේ වැරදි...”මා මටම කියාගන්නා ගමන් කුස්සිය දෙසට පිය නැගුවෙමි. අම්මාගේ මුහුණ සෝදවා තේකක් සාදා දිය යුතුය.

උණු වතුර මෙසමක් රැගෙන මා අම්මගේ කාමරයට ගියෙමි. වෙනදාටනම් මේ වනවිට අම්මා අවදි වී සිටින්නීය. හ්ම්ම්....ඊයේ අම්මාත් නිදාගන්නතුව ඇති. මොනවා උනත් අම්මත් හිතන් හිටියේ මං එක පාරින් කැම්පස් යයි කියල.

“ මන් දන්නවා මයේ පුතා දොස්තර මහත්තයෙක් වෙනවා...”

මන් පන්තියේ පළවෙනියා වූ සාම වරකම ඇය පැවසුයේ එලෙසය. එවිට අසලින් සිටින අප්පච්චී වචනින් නොකීවද මා ළඟට විත් ඔලුවට අත තියා මදෙස හෙලන බැල්ම තුළ ඒ සියලු දෙය කියා පෑවේය.... ඒ මා සතු අතීතයයි. සොඳුරු අතීතයයි. මා සතුව වටිනා ඉරක් හඳක් තිබුන ද මා ලොවට පෑයූ ඉර අකාලයේ නිවී ගොස් මා ලොව අඳුරු කළේය. දෛවයේ සරදම් මෙතරම් දරුණු ද? සුපුන් සඳක් වන වූ අම්මා ද අඩපන කොට දැමුවේ කිමද?

“ අම්මේ..... කෝ.. නැගිටිමු බකන්න.... අපි මුණ ටිකක් හොදගමු...” මා ඇයගේ ඔලුව පිරිමැද ඇගට අත තැබුවෙමි. ඇයි අම්මා මේ තරම් සීතල....? මා සිත තුල අකුණු ගසන්නට විය. දෑස් ඉදිරිපිට කණ කොක් රෑනක් පියඹා ගියහ.....

“අනේ... මගේ අම්මේ.......”

කෙතරම් කෑගසුවද යන්න මා හට නිච්චියක් නොවීය. මා සිහි ලබන විට ගෙය තුල කිහිප දෙනෙකු සිටින බැව් පෙනෙන්නට විය.

“කෝ...  මගේ අම්මා...”

“කලබල වෙන්න එපා පුතේ... අපි පුතාට ඉන්නවා....” සරත් මාමා කීවද කවුරුන් හෝ කුස්සියේ සිට කියූ දෙයක් මා සිත දෙබෑ කරගෙන ගිලා බැස්සේය....

“ උගේ පව්කාරකම තමා.... කොල්ලට විශ්වවිද්‍යාලෙ යන්න බැරිවෙච්ච දුකට වෙන්නැති රමණි අක්කට ඔහොම වෙන්න ඇත්තේ...”

පව්කාරකම.....? ඔව් පව්කාරකම... මගේ පව්කාරකමට තමයි මේ හැමදේම මටම උනේ නැත්නම් මේ හැමෝටම වෙන්න තිබුනා නේ  දෙයියනේ දැන් කව්ද මගේ කියලා ඉන්නේ.....? අම්මේ කියල මං කාටද කතා කරන්නේ....? මං ලඟට වෙලා ඔලුව අත ගාන්නේ කාගේද? මහේ ඇත්තටම අනාතයෙක් උනාද? මා ලොව හිරු සඳු මිලිනව ගොස් ඇත.
ඇදිවත පිටින්ම මා ගෙයින් එලියට බැස්සේ කිසිඳු අරමුණක් ඇතිව නොවුනද පෙරදා රැයේ අම්මා මට කියූ දෑ මසිතට කොහේදෝ සිට පැමිණියේය.

“ උඹ හෙට උදෙන්ම ගිහින් කසුන් සර් ව හම්බවෙන්න... මං කියන්නේ....”

“ සර්....”

මා කසුන් සර් ගේ ගෙදර දොරට තට්ටු කලෙමි. මිනිත්තු කිහිපයකින් දොරෙහි යතුරු කරකැවෙන හඬ ඇසුනේය.

“කවුද....?”

අසමින් දොර වීවෘත කලේ කසුන් සර් ය. ඔහු ඉදිරිපිට මා මෙතෙක් සිත තුල රඳවා තබා තිබූ දුක්ඛ දෝමනස්සයන්හි පීඩාවන් සියල්ලෙහි ඉවුරු බිදී ගියේය.

“ වෙනුර....? අයි පුතේ මේ....?”

“ අනේ සර්...... මගේ අම්මා....................”

තවත් කෙලින් සිටගත නොහැකි තරමට මා හෙම්බත්ව සිටි මා .. ඔහුගේ දෙපා මුල වැටී සිත තුල තෙරපාගෙන සිටි සියලු දා සේදී යනතුරු දෙනෙතෙහි කඳුළු හිස්ව යනතෙක් හැඩුවේමි. ඔහු කිසිවක් කීවේ නැත. මා දෙවුරෙන් අල්ලා නැගිට්ටුවාගෙන ගෙතුලට ගෙනවිත් පුටුවක ඉඳගන්නට සැලැස්සුවේය. ඔහු නිශ්ශබ්ධ ය. මා හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.

“ කියන්න පුතේ.. මොකද උනේ...?” ඔහු කරුණාව දොරේ ගලායන නිවුණු ස්වරයෙන් මා ඇමතුවේය.

මා පෙරදා සිදු වූ සියල්ල කීවෙමි. ඒ ලෙවල් එස් තුන... මගේ සිහින මාළිගාව.. අම්මාගේ සමුගැනීම..... මේ සියල්ල මා කෙසේ දරාගන්නද? සියල්ල කියා අවසන් වූ පසු මා නිහඬ වීමි. මඳ වෙලාවක් ගතවන්නට ඇත. එය කල්ප කාලාන්තරයක් සේ මා හට හැගෙමින් තිබුණි. ම හිස මත දයාබරිතව අත තැබූ ඔහු ආදරණීය ලෙසලෙස මා දෙස බැලුවේය.


“ පුතේ....  අද ඉදන් මං උඹේ අප්පච්චී....”

Thursday, July 21, 2016

ඔහු ...

හමුවීය ඉරු දිනෙක 
ඒ දෙනෙත් මා හට 
උදෑසන පවන් සිහිල 
විඳ ගන්නට 
විහාරමහා දේවියට 
යන්නට පුලුවනිද 
ඇසු විට ඔහු 
එකඟවී මා ද 
ඔහු සමඟ 
පා නැගුවෙමු 
138 බසය වෙත .... 
තවමත් උදෑසන 
විහාරමහාදේවිය තුල 
ළමා වියේ සිට මහල්ලා දක්වා 
සිටියද 
බැලූ බැලූ අත 
පෙම්වතුන් 
අපිද ගොස් ඉදගතිමු....
කතා කළෙමු සුහදව... 
ඔහු:
ඔහු සිටින තැන ය....
මා ;
මා සිටින තැන ය... 
අනෙක්වුන් මෙන් 
වෙලී නොසිටියෙමු අප....
නමුදු ඒ සුහද ආදරයේ සුවඳ 
අඩුවක් නොදැනුනි ම හදට 
වත්මන 
කාමරගත වන ආදරයට වඩා 
හිරු රැසට නොහිලා ඉහලන කුඩය ද 
අවැසි නොවුනි 
අපට.  
මා පැතූ ආදරණීය  සෙනෙහස 
සැබෑ ආදරය....
ඔබ තුලින් දකිමි මම 
ආලයෙන් තොර ආදරය 
විදින්නට අවසරද....?
පැතුමක් ලෙසින් පතමි මම ... 
ඒ  පැතුම මගෙම වන්නට.... 




Sunday, February 21, 2016

ඉන්න තැනකට ඇහෙන්න

ඒ කාලේ හැටියට මහ මෙරක් උනා
ලෝකය පෙන්වන්න මගේ පුංචි ඇඟිල්ලෙන්
නොරිදෙන්න  අල්ලාගෙන
පියමන් කළා මතකයි තවමත්....
දුවේ නුඹ මගේ ප්‍රාණයයි
කියා මුවින් නොකීවද...
මා සිතුවෙමි එය එලෙසමැයි කියා ....
ජීවිතය මෙයයි
අවැසි මොහොතේ තේරුම් නොකර
තනිව වාරු ගෙන නැගී සිටින්නටත් නොකියාම
යන්න ගිහින්
නම වසරක් ගෙවී යයි .....
අද දිනට
ඉත සිතින් පතමි ....
සිටිනා තැනක සතුටින් දිවි ගෙවන්නට



Tuesday, February 16, 2016

සමාවෙයන් උඹට කැමති නෑ මම ....

ජීවිතේට ලං කරගන්නේ නෑ කියලා හිතාගත්ත ඔයා....
ආයෙත් මගේ ලඟට එන්න හදනවා
මන් කැමති නෑ ඔයාට...
තවත් මාව දුර්වල කරනවට ...
මේ හිත...
හයිය නෑ කියල දැනගනියි ...
හැමෝම...
එලියට එන්න දගලන ඔයාව
හැමදාම තද කරලා
බොඳ කරන්නේ
මන් ඔයාට කැමති නැති නිසා
මේ හිත ඇතුලේ තියෙන
දුක් කන්දරාව
කාටවත් පෙන්නුවට වැඩක් නැති නිසා...
ඉතින් සමාවෙයන් මට...
මේ කියන්නේ ඔයාට,
කඳුල ....
ඈතටම යන්න


Tuesday, November 24, 2015

අවැසි වූ හුදෙකලාව .........

හුදෙකලාව අවැසි ලෙස විඳගන්නට 
පැතූ මම..... 
දුරක් ගෙවාවිත් නැවත ගොඩ වුයෙමි
ගාල්ල - කොළඹ බස් බස් රථයට 
බැලූ බැලූ ඇත යුගල ආසන ය....
ඒ සෑම ජනෙල් වීදුරුවක් අසලම 
කවුරුන් හෝ වාඩිගෙන ය 
පිටුපසම අසුන හිස් ය 
ඒ පෙම් මුල්ලට අනෙක් පස ය 
කමක් නැත........
ගොස් වාඩි ගතිමි තනිවම 
ඉදිරිපස සිටි මැහැල්ල 
හැරී බැලුවාය මා දෙස.....
ඔව්; ඇය සිතයි .....
තව ටිකකින් අනිත් එකත් විත් 
ගනියි ලගින්ම අසුන් 
බසය ගමන ඇරඹු පසුව බදාගනියි කිටි කිටියට .....
ගිනි ගහන පිටකොටු රස්නෙත් 
සීතලක් වෙයි නුවර එලිය මෙන්....
තවත් පිටුපස නොබලමි මම 
මොන මොනවාදැයි කවුරුන් දනී ද.....? 
දැන් ඉන්න එවුන් නොදොකින්......
මම ඇරිමි බෑගය 
ගතිමි hand phone එක සමඟ head set එක 
ජනෙල් වීදුරුවෙන් බලා හිදිමි මම 
ගිනිගහන අව්වේ කොළ දිය මත පාවෙන 
ෆ්ලොටින් මාර්කට්ටුව දෙස .....
මද වෙලාවක් ගොස් 
බසය ගමන අරඹන්නට මෙන් 
කොන්දොස්තර පැමිණ 
ගාල්ල.... ගාල්ල කියමින් මොරදෙන්නට විය .....
එවෙලේම නැගගති ජෝඩුවක් බසයට...
ඔවුන් එක එල්ලේ පියනගයි මා දෙසට 
එපා .... නවතින්න ඉස්සරහින් 
කෑගසයි මා සිත 
අවැසිය හුදෙකලාවන්නට මට..... 
දෙදෙනා පැමිණ අසුන්ගති මා අසල 
කෙල්ල මා ළඟ ය ...
මැහැල්ල නැවතත් හැරුනා ය... 
බැලුවා ය මා දෙස 
බසය ගමන් කරයි .....
සිනාවිය විදුරුමස පෙන්වා 
මා කෙරේ දුන් ඇගේ විනිශ්චය 
පුස්සක් වී ඇත.....
බසය ඇදෙයි ගාලු පාර දිගට 
බසය තුල හෙන කාලගෝට්ටියකි .....
සංගීත සංදර්ශනයකි!
මම තවමත් hand phone නයෙන් සින්දු අසමි.....
නන්දාමාලනිය කියයි මට රහසින් 
"කඩමණ්ඩියේ දොළ අයිනේ.........."
මට පසෙකින් සිටින ඇය චලනය වෙයි 
ඔහුගේ අතක් ඇය කර වටා ය ....
හ්ම්ම්ම්ම්.........
ඇගේ හිස මද මොහොතකින් ඉහුගේ උරතලය දිහාවට....
නැවෙනු ම නෙත් කොනින් නොබලා 
හිදින්නට තැනුව ද ; 
අසාර්ථක ප්‍රයත්නයක් විය එය....
පිරිමදියි ඔහු ඇගේ හිස 
අවුල් වූ හිසකෙස් නැවත එක්කරන්නට 
කරයි ඔහු වෑයම්....
නින්දගොස් ඇත දෙදෙනාට ම 
මා තවමත් අවදියෙනි.... 
ඇගේ උකුල මත ඇත Apple hand phone නයක් 
ඔව්! මද වෙලාවකින් වැටෙයි එය....
මාගේ සිත කියාත්ම 
වැටුණි එය !
අල්ලාගතිමි එකවරම මම ......
ඇයට තට්ටුකර දුනිමි එය 
thanks ලෙස කියා ගත්තාය ඇය එය.....
ඔහු ද අවදිවිය නින්දෙන් ...
එක්වරම සිම්බේය ඇගේ නළලත 
වෙනතක් බලාගැනීමට මට ඉඩ නොතියාම....
බස් රථය තවමත් ගමන් කරයි.....
වීදුරුවෙන් ඈත පෙනෙන සිතිජ ඉම වෙත 
යොමු කලෙමි නෙත්....
නමුදු මනෙත් ඔවුන් වෙත දිවෙයි....
පෙම් සුවය......
මඳ වෙලාවකින් ....
ඇය මා ඇමතුවා ය 
" ඔයා රටකජු කනවා ද.....?"
අසමින් දික් කාලය රටකජු..
යටපත් කිරීමට තනන කෝප සිතුවිලි 
ක්ෂණිකව පැමිණ .....
"නෑ... thanks ඔයාල කන්න..."
කියා හමාරය....
ඔවුන් කති රටකජු ....
පොතු විත් සුළඟට වැටෙති ම උකුලට....
ඇය කවයි ඔහුට රටකජු...
ඔහු පොවයි ඇයට සිසිල් පැන් ...
වන්නට අවැසි හුදෙකලාව මත...
පිපිරෙමි මම ඊර්ෂ්‍යා සිතුවිලි මත ...
ගිලෙමි..... කිමිදෙන්නට තැත් දරමි...... 
නැත! මට අවැසි හුදෙකලාව ය.........................