Sunday, March 10, 2013

තනි හිත ... 05


එදා සෙනසුරාදා දවසක්.. ගයනි ගේ ගෙදර තිබුනේ අවිස්සාවේල්ලේ. අපි එහෙ යන්න ලාඑස්ති උනේ  ගයනිගේ ගෙදර තිබුන දානෙට උදවු වෙන්නත් එක්ක. ඒ උනත් ඒ ගමනෙන් අපි ඔක්කොම වගේ බලාපොරොත්තු උනේ ගෙවල් වලට හිර වෙලා, නිදහස  සීමා වෙලා තිබුන අපේ ලෝක වලින් දවසකට හරි එලියට එන්න ... ගයනිගේ ගෙදර යන්න අපි හය දෙනෙක් ලෑස්ති උනා.. 



උදේ පාන්දරම මහරගමින් අපි හය දෙනාම කෝච්චියට නැග්ගා.. මන් හැමදාම වගේ කෝච්චියෙන් එලිය බලාගෙන ආවේ පොඩි කාලේ ඉඳන් මට තිබුන පුරුද්දට. හෝමාගමදී අපි හිටපු පෙට්ටියේ හිටිය ඔක්කොම වගේ බැහැල ගියාට පස්සේ ඉතුරු උනේ අපි හය දෙනා ඒ කියන්නේ කසුනි, ඉසුරි, නිමාෂා, ඉශානි, නිරාශා කියන එකම පන්තියේ යාළුවො ටිකයි , තරුණ අම්මෙකුයි තාත්තෙකුයි එක්ක හිටපු පොඩි ළමයි දෙන්නෙකුයි විතරයි...

අපි උදේට කන්න කියලා ගෙනාපු කෑම කාලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔක්කොම එකතු වෙලා සින්දු කිව්වා..අර අම්මයි තාත්තයි එක්ක හිටපු පොඩි එවුන් දෙන්නත් අපි ලඟට ඇවිත් අත්පුඩි ගගහ සින්දු කිව්වේ හරි සන්තෝසෙන්..
හෝමාගම ඉඳන් අවිස්සාවේල්ල පැත්තට කෝච්චිය ඇදෙද්දී දකින්න ලැබුන වටපිටාවට මට ආස හිතුනේ තාම මේ පති වල ගමේ සුන්දරත්වය කියන දේ ටිකක් දකින්න ලැබුන නිසා වෙන්න ඇති.

රේල් පාර ළඟ තියෙන ගෙවල් වල මිදුලට බැහැලා සෙල්ලම් කරන පොඩි එවුන් කෝච්චිය එනවා දැක්කාම අත වනන කොට අපිත් අත වැනුවේ ස්කොලේ පහේ , හයේ ඉන්න ළමයි ගානට.

අවිස්සාවේල්ල ස්ටේෂන් එකෙන් බහිනකොට ගයනි එයාගේ අයියත් එක්ක ගෙදර වාහනෙන් ඇවිත් හිටියා අපිව එක්කගෙන යන්න. ස්ටේෂන් එකේ ඉඳන් ටවුන් එක පැත්තට යනකොට පොඩි කන්දක් උඩට වෙන්න තමයි  ගයනිල ගේ ගෙදර තිබුනේ.

දානේ වැඩ ටික කරගන්න අපිත් පුළු පුළුවන් විදිහට හැමෝටම උදවු උනා. දවල් වෙනකොට දානේ වැඩ ඔක්කොම වගේ ඉවර වෙලා ගයනිත් එක්ක වත්ත පල්ලෙහාට ඇවිදින්න ගියා. 

ඒ වත්ත පල්ලෙහායින් පොඩි දොළ පාරක් ගලාගෙන යනවා හරි ලස්සනට.. ඒක දැකපු කසුනියි නිමාෂායි අනිත් තුන් දෙනාවත් ඇදගෙන ඒ පැත්තට දිව්වා.. ගයනියි මායි හෙමීට ඒ පැත්තට ඇවිදගෙන යන අතරේ ගයනි...

“ ඒ හසී...”

“ඇයි....?”

“ ඔයාට මතකද අර දානේ වෙලාවේ අළු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන කොල්ලෙක් හිටියේ....”



“ඔව් .. එයාව නේද මම ඔයාට පෙන්නුවේ මේ වගේ දේකදී වත් සුදු පාට ඇඳුමක් ඇඳන් එන්න බැරි කෙනෙක්  කියලා...”

“අන්න ඒ කොල්ලා තමයි බන්... අපේ තාත්තගේ යාලුවෙක්ගෙ පුතෙක්..”

“ ඉතින් මට මොකද බන්...”

“ඕකනේ කියන්නේ මැදට පනින්න එපා...”

“හා... ඔන්න මන් අයිනට උනා.. දැන් ඉතින් කියාගෙන යන්නකෝ...”

“ඒ කොල්ලා මගෙන් උඹ ගැන ඇහුවනේ බන්....”

ඒ එක්කම වගේ දොළ පාර බලන්න දුවපු පස් දෙනා අපි දෙන්නා දිහාට ආවේ “මෙන්න මුන් දෙන්නා මොකක්දෝ කුමන්ත්‍රණයක් කරනවා...” කියාගෙන. 

එතනින්ම ගයනි කියාගෙන ආපු කතාව නැවතුනේ කසුනේ අද දවස ගැන කියවන්න පටන් ගත්ත නිසා...

එහෙම කතා කරන ගමන් අපි ඇවිදගෙන යනකොට ලොකු අඹ ගහක් යට තිබුන ලෑලි බැංකුවක් දැකලා අපි ගිහින් වාඩි උනා. පහළ බැලුවාම පාරේ යන වාහන... එතනට ලස්සනට ඈත පේනවා ... නම් වලින් කියන්න දන්නේ නැති කඳු පේලියක් ඈතින් පේනවා.

“ බාගෙට මීදුමෙන් වැහිච්ච කඳු වල මුදුන් වලට වැස්සත්  පල්ලෙහා පැති  වලට වහින්නේ නෑ වෙලාවකට ....”  කියල ගයනි කිව්වේ මන් ඒ දිහා බලාගෙන ඉන්නවා දැකලා...



ඒ කතාවත් එක්කම කට්ටිය කතා වෙන්න ගත්තේ පව්ලේ අයත් එක්ක ගිය විනෝද ගමන් ගැන.නිමාෂා ගිය මාසේ නුවර එළියේ ගිය එක ගැන කියනවා..

“ අනේ පිස්සු හැදෙනවා බන් .. අපේ අයියයි තාත්තයි දෙන්නම එකයි... අනුරාධපුරේ ගියා නම් ඊට වඩා හොඳයි..”

“ ඇයි නිමාෂා ඒ ...?”

“කොහෙද බන් අපේ අම්මත් කිව්වා එහෙට මේ කාලේ වැස්ස .. එහෙ යන්නේ නැතුව වෙන කොහේ හරි යන්න දා ගමු කියලා.. කොහෙද අපේ අයියගේ යාලුවෙක් ඉන්නවා කියල එහෙ නැවතිලා ඕනේ තැනක ඇවිදින්න යන්න පුළුවන් කියල ඔන්න ගියේ.. අන්තිමට යාළුවගේ ගේ ඇතුලට වෙලා කැරම් ගහන්න තමයි උනේ.. මට නම් නුවර එළියත් එපා උනා...”

හ්ම්ම්ම්... ඒ එක්කම මන් කල්පනා කලේ මන් ගැන.. ඉස්සර අම්මයි තාත්තයි මාවත් එක්කගෙන ඉස්කෝලේ හැම නිවාඩුවකදීම කොහේ හරි ඇවිදින්න ගියා.. කොච්චර සන්තොසෙන්ද අපි හිටියේ.. ඒත් ඒ හැමදේම නැති උනේ තාත්තගේ මරණෙත් එක්ක.. මට අවුරුදු 16 දී අම්මයි මාවයි මේ ලෝකේ තනි කරලා තාත්තා යන්න ගියා.. තාම මට ඒ ක හීනයක් වගේ... මම අදටත් බලන් ඉන්නේ තාත්තා දුර ගමනක් ගිහින් ආපහු මන් ලඟට එයි කියල.. හ්ම්ම් ...

“ගයනි................”

ඈතින් ඇහුන ඒ කටහඬත් එක්ක මාව ගැස්සිලා ගියා... අපි ඔක්කොම වගේ ඒ කව්ද කියල බලන්න ඒ කටහඬ ආපු පැත්තට හැරුනා.. ඒ අර මන් ගැන ඇහුවා කියන කෙනා නේද...? දුවගෙන ආව නිසා එයා ගැන මට තව මුකුත් හිතාගන්න වෙලාවක් ඉතුරු කරන්නේ නැතුවම එයා අපි වාඩි වෙලා හිටපු අඹ ගහ ලඟට ආවා..

“ කාගේද මේ ෆෝන් එක...?”

එහෙම කියල එයාගේ අතේ තිබුන ෆෝන් එක පෙන්නුවා.. ඒ මගේ ෆෝන් එක! මන් වත්ත පල්ලෙහාට එනකොට ගයනිගේ පොත් මේසේ උඩින් තියලා ආවේ.

“ඒ..ක ..” මගේ කියන්නත් කලින් එයා මන් දිහාට හැරිලා ෆෝන් එක මගේ අතින් තිබ්බා..

“අපි ගයනිගේ කාමරේ තිබුන පුටු ටික ගෙනියන්න කාමරේට ආපු වෙලාවේ මට ඇහුනා ෆෝන් එකක් රින්ග් වෙනවා.. ස්ක්‍රීන් එකේ වැටුනේ අම්මා කියලා.. ඉතින් මන් හිතුවා ආන්සර් කලේ නැති උනොත් ගෙදරින් කලබල වෙයි කියල ඒකයි ගෙනාවේ...”





Wednesday, March 6, 2013

තනි හිත ...04





අම්මේ මොනවද උයන්නේ මටත් දෙන්න මොනවා හරි කරන්න...”

“ මන් මේ කල්පනා කලේ දවල්ට උයපුවත් තියෙන එකේ පොල් සම්බෝලයක් හදල ගන්න. එහෙනම් පුතේ සම්බෝලේ අඹරලා ගන්නවද මම ගිහින් ඇඳුම් ටික හෝදලා ටිකක් නා ගන්න...”

“ හා අම්මේ.. අම්මා යන්න මන් වැඩ ටික කරන්නම්...”

හ්ම්ම්….. පොල් සම්බෝල ….” ඒත් මට මතක් උනේ නිසල ව. දවසක් මගේ අතින් උයපු බත් එකක් කන්න ඕනේ කියල මන් පන්ති තියෙන දවසක එයාටත් එක්ක බත් එකක් අරන් ගියා.. නිසල ටත් එදාම කෙමෙස්ට්‍රි ක්ලාස්. ඉතින් මගදී මාව හම්බවෙලා යනකොට මන් නිසලගේ අතින් බත් එක තිබ්බා. ආදරේ හිතෙන හිනාවක් එක්කම බත් එකත් අරගෙන එයා ක්ලාස් එක දිහාට හැරිලා ගිය හැටි මට තාමත් මතකයි..  

අපේ පන්තියට ඉන්ටර්වල් දුන්න වෙලාවේ මගේ ෆෝන් එක රින්ග් උනා.. බලනකොට නිසල...

“ මගේ චුටි ... දැන් ඉන්ටර්වල් නේද...?”

“ඔව් අනේ මේ දැන් තමයි පල්ලෙහට ආවේ කන්න... ඔයා කෑවද..?”

“ දැන් අපේ ඉන්ටර්වල් ඉවර වෙන්නත් ලඟයි හසී ... අපි නම් කෑවා... මේ මීට පස්සේ නම් ඔයා ගෙදර උයන්න එපා...”

අනේ දෙයියනේ ඒ කියන්නේ මන් උයපුවා රස නැතුව ඇති.. ඒක තමයි නිසල මට එහෙම කියන්න ඇත්තේ . එහෙම කිව්වාම ඒ වෙලාවේ මගේ මූනත් ඇද වෙන්න ඇති.  මගේ ළඟ හිටපු සිතුමි මන් දිහා බලලා ඇයි කියල ඇහුවේ ඒ නිසා වෙන්න ඇති. 



“ඇයි චූටි  කතා නැත්තේ...?”

“ නෑ ... ම.. මම ..”

“ අනේ මගේ හසියෝ .... මන් විහිළුවක්නේ පැටියෝ කලේ... ඇත්තමයි මාර රහයි චූටි බත් එක.. අපේ එවුන් ටික අහනවා අද අම්මා නෙමෙයිද ඉව්වේ කියල... අපේ අම්මා උයනවට වැඩිය රහයි..”

“ හ්ම්ම්..”

“අයියෝ .. ඕකනේ ඉතින් විහිළුවක් කරන්න බෑ බුම්ම ගන්නවා... කෝ බලන්න ඔය මූන..”

එහෙම කියනකොට මට තව හිනාවෙන්නේ නැතුව ඉන්න බැරි උනා...ඒ කටහඬ මගේ හිතටමයි කතා කලේ..

“ ඔන්න ඔහොම ඉන්න ඕනේ මගේ චූටි .. මේ... මට විතරයි උයල දෙන්න ඕනේ හරිද....? ඒකයි උයන්න එපා කිව්වේ. හදිස්සියේ වෙන කව්රුහරි  ඔයාගේ කෑම කාලා ඔයාව අයිතිකරගන්න ඇහුවොත් එහෙම.. අම්මෝ .. මේ මන් තියනවා හසී අපේ සර් පන්තිය පැත්තට යනවා ...”

අනේ මන්දා මේ කොල්ලා නම් මාව පිස්සු වැට්ටුවා... ඒ හැම වචනයක්ම තාමත් මට මතකයි ... මොනවා කරන්න ගියත් මට එයාවම මතක් වෙන තරමටම මේ අහිංසක හිතෙන් ආදරේ කළා... ජීවිතේ හැම සිදුවීමක් එක්කම අපේ හිත් බැඳිලා තිබුනා..

ආදරේ කියන්නේ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව හිටපු මේ කෙල්ලගේ හිතට ආදරේ පුරවලා.. තනිවෙලා තිබුන මගේ මුළු ජීවිතේම පාළුව නැති කරපු ... ඒ පුදුමාකාර හිත ... ඒ වචන....

මට කොහොමද ඒ හිත හම්බවුනේ......?