Showing posts with label තනි හිත .... Show all posts
Showing posts with label තනි හිත .... Show all posts

Sunday, March 10, 2013

තනි හිත ... 05


එදා සෙනසුරාදා දවසක්.. ගයනි ගේ ගෙදර තිබුනේ අවිස්සාවේල්ලේ. අපි එහෙ යන්න ලාඑස්ති උනේ  ගයනිගේ ගෙදර තිබුන දානෙට උදවු වෙන්නත් එක්ක. ඒ උනත් ඒ ගමනෙන් අපි ඔක්කොම වගේ බලාපොරොත්තු උනේ ගෙවල් වලට හිර වෙලා, නිදහස  සීමා වෙලා තිබුන අපේ ලෝක වලින් දවසකට හරි එලියට එන්න ... ගයනිගේ ගෙදර යන්න අපි හය දෙනෙක් ලෑස්ති උනා.. 



උදේ පාන්දරම මහරගමින් අපි හය දෙනාම කෝච්චියට නැග්ගා.. මන් හැමදාම වගේ කෝච්චියෙන් එලිය බලාගෙන ආවේ පොඩි කාලේ ඉඳන් මට තිබුන පුරුද්දට. හෝමාගමදී අපි හිටපු පෙට්ටියේ හිටිය ඔක්කොම වගේ බැහැල ගියාට පස්සේ ඉතුරු උනේ අපි හය දෙනා ඒ කියන්නේ කසුනි, ඉසුරි, නිමාෂා, ඉශානි, නිරාශා කියන එකම පන්තියේ යාළුවො ටිකයි , තරුණ අම්මෙකුයි තාත්තෙකුයි එක්ක හිටපු පොඩි ළමයි දෙන්නෙකුයි විතරයි...

අපි උදේට කන්න කියලා ගෙනාපු කෑම කාලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔක්කොම එකතු වෙලා සින්දු කිව්වා..අර අම්මයි තාත්තයි එක්ක හිටපු පොඩි එවුන් දෙන්නත් අපි ලඟට ඇවිත් අත්පුඩි ගගහ සින්දු කිව්වේ හරි සන්තෝසෙන්..
හෝමාගම ඉඳන් අවිස්සාවේල්ල පැත්තට කෝච්චිය ඇදෙද්දී දකින්න ලැබුන වටපිටාවට මට ආස හිතුනේ තාම මේ පති වල ගමේ සුන්දරත්වය කියන දේ ටිකක් දකින්න ලැබුන නිසා වෙන්න ඇති.

රේල් පාර ළඟ තියෙන ගෙවල් වල මිදුලට බැහැලා සෙල්ලම් කරන පොඩි එවුන් කෝච්චිය එනවා දැක්කාම අත වනන කොට අපිත් අත වැනුවේ ස්කොලේ පහේ , හයේ ඉන්න ළමයි ගානට.

අවිස්සාවේල්ල ස්ටේෂන් එකෙන් බහිනකොට ගයනි එයාගේ අයියත් එක්ක ගෙදර වාහනෙන් ඇවිත් හිටියා අපිව එක්කගෙන යන්න. ස්ටේෂන් එකේ ඉඳන් ටවුන් එක පැත්තට යනකොට පොඩි කන්දක් උඩට වෙන්න තමයි  ගයනිල ගේ ගෙදර තිබුනේ.

දානේ වැඩ ටික කරගන්න අපිත් පුළු පුළුවන් විදිහට හැමෝටම උදවු උනා. දවල් වෙනකොට දානේ වැඩ ඔක්කොම වගේ ඉවර වෙලා ගයනිත් එක්ක වත්ත පල්ලෙහාට ඇවිදින්න ගියා. 

ඒ වත්ත පල්ලෙහායින් පොඩි දොළ පාරක් ගලාගෙන යනවා හරි ලස්සනට.. ඒක දැකපු කසුනියි නිමාෂායි අනිත් තුන් දෙනාවත් ඇදගෙන ඒ පැත්තට දිව්වා.. ගයනියි මායි හෙමීට ඒ පැත්තට ඇවිදගෙන යන අතරේ ගයනි...

“ ඒ හසී...”

“ඇයි....?”

“ ඔයාට මතකද අර දානේ වෙලාවේ අළු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන කොල්ලෙක් හිටියේ....”



“ඔව් .. එයාව නේද මම ඔයාට පෙන්නුවේ මේ වගේ දේකදී වත් සුදු පාට ඇඳුමක් ඇඳන් එන්න බැරි කෙනෙක්  කියලා...”

“අන්න ඒ කොල්ලා තමයි බන්... අපේ තාත්තගේ යාලුවෙක්ගෙ පුතෙක්..”

“ ඉතින් මට මොකද බන්...”

“ඕකනේ කියන්නේ මැදට පනින්න එපා...”

“හා... ඔන්න මන් අයිනට උනා.. දැන් ඉතින් කියාගෙන යන්නකෝ...”

“ඒ කොල්ලා මගෙන් උඹ ගැන ඇහුවනේ බන්....”

ඒ එක්කම වගේ දොළ පාර බලන්න දුවපු පස් දෙනා අපි දෙන්නා දිහාට ආවේ “මෙන්න මුන් දෙන්නා මොකක්දෝ කුමන්ත්‍රණයක් කරනවා...” කියාගෙන. 

එතනින්ම ගයනි කියාගෙන ආපු කතාව නැවතුනේ කසුනේ අද දවස ගැන කියවන්න පටන් ගත්ත නිසා...

එහෙම කතා කරන ගමන් අපි ඇවිදගෙන යනකොට ලොකු අඹ ගහක් යට තිබුන ලෑලි බැංකුවක් දැකලා අපි ගිහින් වාඩි උනා. පහළ බැලුවාම පාරේ යන වාහන... එතනට ලස්සනට ඈත පේනවා ... නම් වලින් කියන්න දන්නේ නැති කඳු පේලියක් ඈතින් පේනවා.

“ බාගෙට මීදුමෙන් වැහිච්ච කඳු වල මුදුන් වලට වැස්සත්  පල්ලෙහා පැති  වලට වහින්නේ නෑ වෙලාවකට ....”  කියල ගයනි කිව්වේ මන් ඒ දිහා බලාගෙන ඉන්නවා දැකලා...



ඒ කතාවත් එක්කම කට්ටිය කතා වෙන්න ගත්තේ පව්ලේ අයත් එක්ක ගිය විනෝද ගමන් ගැන.නිමාෂා ගිය මාසේ නුවර එළියේ ගිය එක ගැන කියනවා..

“ අනේ පිස්සු හැදෙනවා බන් .. අපේ අයියයි තාත්තයි දෙන්නම එකයි... අනුරාධපුරේ ගියා නම් ඊට වඩා හොඳයි..”

“ ඇයි නිමාෂා ඒ ...?”

“කොහෙද බන් අපේ අම්මත් කිව්වා එහෙට මේ කාලේ වැස්ස .. එහෙ යන්නේ නැතුව වෙන කොහේ හරි යන්න දා ගමු කියලා.. කොහෙද අපේ අයියගේ යාලුවෙක් ඉන්නවා කියල එහෙ නැවතිලා ඕනේ තැනක ඇවිදින්න යන්න පුළුවන් කියල ඔන්න ගියේ.. අන්තිමට යාළුවගේ ගේ ඇතුලට වෙලා කැරම් ගහන්න තමයි උනේ.. මට නම් නුවර එළියත් එපා උනා...”

හ්ම්ම්ම්... ඒ එක්කම මන් කල්පනා කලේ මන් ගැන.. ඉස්සර අම්මයි තාත්තයි මාවත් එක්කගෙන ඉස්කෝලේ හැම නිවාඩුවකදීම කොහේ හරි ඇවිදින්න ගියා.. කොච්චර සන්තොසෙන්ද අපි හිටියේ.. ඒත් ඒ හැමදේම නැති උනේ තාත්තගේ මරණෙත් එක්ක.. මට අවුරුදු 16 දී අම්මයි මාවයි මේ ලෝකේ තනි කරලා තාත්තා යන්න ගියා.. තාම මට ඒ ක හීනයක් වගේ... මම අදටත් බලන් ඉන්නේ තාත්තා දුර ගමනක් ගිහින් ආපහු මන් ලඟට එයි කියල.. හ්ම්ම් ...

“ගයනි................”

ඈතින් ඇහුන ඒ කටහඬත් එක්ක මාව ගැස්සිලා ගියා... අපි ඔක්කොම වගේ ඒ කව්ද කියල බලන්න ඒ කටහඬ ආපු පැත්තට හැරුනා.. ඒ අර මන් ගැන ඇහුවා කියන කෙනා නේද...? දුවගෙන ආව නිසා එයා ගැන මට තව මුකුත් හිතාගන්න වෙලාවක් ඉතුරු කරන්නේ නැතුවම එයා අපි වාඩි වෙලා හිටපු අඹ ගහ ලඟට ආවා..

“ කාගේද මේ ෆෝන් එක...?”

එහෙම කියල එයාගේ අතේ තිබුන ෆෝන් එක පෙන්නුවා.. ඒ මගේ ෆෝන් එක! මන් වත්ත පල්ලෙහාට එනකොට ගයනිගේ පොත් මේසේ උඩින් තියලා ආවේ.

“ඒ..ක ..” මගේ කියන්නත් කලින් එයා මන් දිහාට හැරිලා ෆෝන් එක මගේ අතින් තිබ්බා..

“අපි ගයනිගේ කාමරේ තිබුන පුටු ටික ගෙනියන්න කාමරේට ආපු වෙලාවේ මට ඇහුනා ෆෝන් එකක් රින්ග් වෙනවා.. ස්ක්‍රීන් එකේ වැටුනේ අම්මා කියලා.. ඉතින් මන් හිතුවා ආන්සර් කලේ නැති උනොත් ගෙදරින් කලබල වෙයි කියල ඒකයි ගෙනාවේ...”





Wednesday, March 6, 2013

තනි හිත ...04





අම්මේ මොනවද උයන්නේ මටත් දෙන්න මොනවා හරි කරන්න...”

“ මන් මේ කල්පනා කලේ දවල්ට උයපුවත් තියෙන එකේ පොල් සම්බෝලයක් හදල ගන්න. එහෙනම් පුතේ සම්බෝලේ අඹරලා ගන්නවද මම ගිහින් ඇඳුම් ටික හෝදලා ටිකක් නා ගන්න...”

“ හා අම්මේ.. අම්මා යන්න මන් වැඩ ටික කරන්නම්...”

හ්ම්ම්….. පොල් සම්බෝල ….” ඒත් මට මතක් උනේ නිසල ව. දවසක් මගේ අතින් උයපු බත් එකක් කන්න ඕනේ කියල මන් පන්ති තියෙන දවසක එයාටත් එක්ක බත් එකක් අරන් ගියා.. නිසල ටත් එදාම කෙමෙස්ට්‍රි ක්ලාස්. ඉතින් මගදී මාව හම්බවෙලා යනකොට මන් නිසලගේ අතින් බත් එක තිබ්බා. ආදරේ හිතෙන හිනාවක් එක්කම බත් එකත් අරගෙන එයා ක්ලාස් එක දිහාට හැරිලා ගිය හැටි මට තාමත් මතකයි..  

අපේ පන්තියට ඉන්ටර්වල් දුන්න වෙලාවේ මගේ ෆෝන් එක රින්ග් උනා.. බලනකොට නිසල...

“ මගේ චුටි ... දැන් ඉන්ටර්වල් නේද...?”

“ඔව් අනේ මේ දැන් තමයි පල්ලෙහට ආවේ කන්න... ඔයා කෑවද..?”

“ දැන් අපේ ඉන්ටර්වල් ඉවර වෙන්නත් ලඟයි හසී ... අපි නම් කෑවා... මේ මීට පස්සේ නම් ඔයා ගෙදර උයන්න එපා...”

අනේ දෙයියනේ ඒ කියන්නේ මන් උයපුවා රස නැතුව ඇති.. ඒක තමයි නිසල මට එහෙම කියන්න ඇත්තේ . එහෙම කිව්වාම ඒ වෙලාවේ මගේ මූනත් ඇද වෙන්න ඇති.  මගේ ළඟ හිටපු සිතුමි මන් දිහා බලලා ඇයි කියල ඇහුවේ ඒ නිසා වෙන්න ඇති. 



“ඇයි චූටි  කතා නැත්තේ...?”

“ නෑ ... ම.. මම ..”

“ අනේ මගේ හසියෝ .... මන් විහිළුවක්නේ පැටියෝ කලේ... ඇත්තමයි මාර රහයි චූටි බත් එක.. අපේ එවුන් ටික අහනවා අද අම්මා නෙමෙයිද ඉව්වේ කියල... අපේ අම්මා උයනවට වැඩිය රහයි..”

“ හ්ම්ම්..”

“අයියෝ .. ඕකනේ ඉතින් විහිළුවක් කරන්න බෑ බුම්ම ගන්නවා... කෝ බලන්න ඔය මූන..”

එහෙම කියනකොට මට තව හිනාවෙන්නේ නැතුව ඉන්න බැරි උනා...ඒ කටහඬ මගේ හිතටමයි කතා කලේ..

“ ඔන්න ඔහොම ඉන්න ඕනේ මගේ චූටි .. මේ... මට විතරයි උයල දෙන්න ඕනේ හරිද....? ඒකයි උයන්න එපා කිව්වේ. හදිස්සියේ වෙන කව්රුහරි  ඔයාගේ කෑම කාලා ඔයාව අයිතිකරගන්න ඇහුවොත් එහෙම.. අම්මෝ .. මේ මන් තියනවා හසී අපේ සර් පන්තිය පැත්තට යනවා ...”

අනේ මන්දා මේ කොල්ලා නම් මාව පිස්සු වැට්ටුවා... ඒ හැම වචනයක්ම තාමත් මට මතකයි ... මොනවා කරන්න ගියත් මට එයාවම මතක් වෙන තරමටම මේ අහිංසක හිතෙන් ආදරේ කළා... ජීවිතේ හැම සිදුවීමක් එක්කම අපේ හිත් බැඳිලා තිබුනා..

ආදරේ කියන්නේ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව හිටපු මේ කෙල්ලගේ හිතට ආදරේ පුරවලා.. තනිවෙලා තිබුන මගේ මුළු ජීවිතේම පාළුව නැති කරපු ... ඒ පුදුමාකාර හිත ... ඒ වචන....

මට කොහොමද ඒ හිත හම්බවුනේ......?

Thursday, February 28, 2013

තනි හිත... 03






ඒ අතීතය ගෙවිලා ගිහින්, මතකයක්ම විතරක් වෙන තරමටම... ආදරේ කරනකොට හිතුවෙවත් නැති විදිහට, හැමෝම සුන්දරයි කියන ආදරේ මටම කටුක මතකයක් විතරක්ම වෙලා... වත්ත අයිනේ තියෙන සුදු අරලිය ගහෙන් මල් දෙක තුනක්ම වැටෙනවා මන් බලාගෙන හිටියේ හිස් වෙච්ච හිතත්  එක්ක...   මේ සුදු පාට අරලිය මල් වලට තමයි නිසල ආසම ... නිසල කියන්නේ කව්ද..? ඔව් ඒ ඔහු තමයි... මගේ ජීවිතේට ඇවිත් මුළු ආත්මේම ආදරෙන් පුරවන්න පුළුවන්  එකම හිත තිබුනේ නිසලට විතරමයි ..   ඒත් ඒ හැමදේම දැන් ඈතින් ඈතට ගිහින් ... 




 අපි එදා පන්සල් ගියේ දෙන්නත් එක්කම පන්සල් යන්න  හිතේ තිබුන ආසාවට .. එදා මන් පූජ කරන්න කියලා කඩාගෙන ගියේ මේ අරලිය ගහේම මල්...

“ දන්නවද හසී....?”

“ම්ම්ම්...?”

“ මේ සුදු පාට අරලිය මල් වල තියෙනවා වෙන කිසිම මලක නැති ලස්සනක් ... සුදු පාට මලේ මැදට වෙන්න ලා කහ පාටකුත් එක්ක ... ඒ දිහා බලාගෙන ඉන්නකොට හිතත් සැහැල්ලු වෙන තරමටම මේ මල් ලස්සනයි ...”

“ මාත් ආසයි මේ මල් වල සුවඳට .. වෙන කිසිම මලක මේ තරම් ආස හිතෙන සුවඳක් නෑ ... ආ එකනේ මේකට ටෙම්පල් ෆ්ලවර් කියන්නේ ..”

මන් එහෙම කියනකොට නිසල ගේ මුණට ආවේ ලස්සන හිනාවක් ...
“ ඇයි හිනා වෙන්නේ...?”

“ නෑ ඉතින් මොනවා උනත් ඔයා පණ්ඩිතයි හසී...”

“ හ්ම්..”

“ මොකෝ මේ තරහ උනාද එහෙම කිව්වට..? මන් ආසයිනේ මගේ කෙල්ලගේ පණ්ඩිත කමට ...”

“ එතකොට මන් විතරද පණ්ඩිත? ඇයි ඔයත් එහෙමනේ ..”

 මම තරහෙන් වගේ කිව්වට හිරකරගෙන හිටපු හිනාව එලියට පැන්නේ අන්තිම ටික කියනකොට ...

“ හා හා ... මාත් පණ්ඩිත වෙන්න එපැයි ඉතින් ඒකනේ අපි දෙන්නා ගැලපෙන්නේ .. ඒක නෙමෙයි මන් අද බාරයක් උනා මේ බෝධියට..”

“ බාරයක්...? ඒ මොකක්ද?”

“ අපි දෙන්නා බැන්දට පස්සේ ඉස්සෙල්ලම මේ පන්සලට ඇවිත් බෝධිය නාවලා .. අරලිය මල් පූජ කරනවා කියල..”

ඒ වෙලාවේ මට කියන්න දෙයක් මතක් උනේ නැත්තේ නිසල ඒ කියපු වචන වල තිබුණ ආදරේ මාව ගොළු කරපු නිසා. මේ තරම් ආදරයක් මන් ගැන..?

“ ඇයි මේ කතා නැත්තේ..? අඩන්න ඔන්න මෙන්න වගේ මුණත් හදා ගෙන ..? ඔයා ආස නැද්ද එහෙම පන්සල් එන්න...?"
“ නෑ මන් ආසයි ... මට ලෝබ හිතුනා ඔයා ගැන...”
“ ඒ මොකද හසී ..?”
“ නෑ මට ඔච්චරටම ආදරේ කරනවනේ ...”
“ අනේ මගේ කෙල්ලේ...”

හ්ම්ම් ඒ අතීතේ .. අද මන් තනියම අපි දෙන්නගේ ආදරණීය මතකයත් එක්ක තනි වෙලා.. මේ ඔක්කොම උනේ ගයනි ගේ  ගෙදර තිබුන දානේ ගෙදර  ගිය නිසා තමයි.. නැත්නම් මගේ ජීවිතේට නිසල කෙනෙක් එන්නේ නෑ අපි කවදාවත් මුණ ගැහෙන්නේ නෑ... ඒත් අපි දෙන්නා මුණ ගැහෙන්න හිටිය දෙන්නෙක්ද?.. එහෙමනම් එදා මුණගැහුනේ නැතත් කවද හරි මුණගැහෙන්න තිබුනා... ඒත් එහෙම මුණ ගැහුනත් මාව කවද හරි තනි කරලා යයිද එයා...?
“ඇයි හසී ඔයා මේ හිතටම වද දෙන්නේ ...?” මගේ හිතෙන්ම එහෙම අහද්දී මම කල්පනා කරන එක අතෑරලා කුස්සිය පැත්තට ගියේ වැඩට ගිහින් දවස තිස්සේ මහන්සිවෙලා ගෙදර  ඇවිල්ලත් මහන්සිවෙන අම්මට උදව් කරන්න හිතාගෙන....

Wednesday, February 20, 2013

තනි හිත ........... 02



මන් ගෙදර ආවා... අද පුදුම දවසක් මන් ගියේ සචී ගේ හිතේ තිබුන දුක අහන්න මිසක් මගේ වැළලිලා ගිය, අමතක කරන්න කාලයක් තිස්සේ මහන්සි උන අතීතේ ආයෙත් ගොඩගන්න හිතාගෙන නෙමෙයි ඒත් අන්තිමට උනෙත් ඒකම තමයි.

අපි පන්සලේ ඉඳන් එලියට ඇවිත් බස් හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකම් හිටියා. සචී කියන්නේ මට ඉන්න ළඟම මිතුරිය කිව්වොත් මන් ටිකක් හරි. අපි ඉස්කෝලේ යන්නත් කලින් ඉදන්ම යාළුවො. අද වෙනකොට ඒ යාළුකම සහෝදර බැඳීමක් තරමටම ශක්තිමත් උනේ කාලයත් එක්කම වෙන්න ඇති. මන් සචීව බස් එකට නග්ගලා බස් ස්ටෑන්ඩ් එකට ගියා මන් ගෙදර යන බස් එකකට නගින්න.


මගේ ෆෝන් එක රින්ග් වෙන්න අරන් ගොඩක් වෙලා වෙන්න ඇති. මට ඇහුනේ නෑ.. මන් කව්ද කියල බලන්නතුවම ආන්සර් කලේ කෝල් එක කට් වෙයි කියල...

“ හලෝ හසී........?”

“ ආ.... සචී නේද....?”

“ මන් මේ කතා කලේ ඔයා ගෙදර ආවද කියල බලන්න......... හරි එහෙනම් මන් තියන්නම් .... මාත් දැන් ගෙදර ආවේ...”

“ හරි සචී මන් ගෙදර  ... එහෙනම් බුදුසරණයි!....”

හ්ම්ම් සචී ෆෝන් එක තිබ්බා... හරිනම් මමයි සචී ට කතා කරන්න තිබුනේ. එයයි දුකෙන් හිටියේ. කරන්න දෙයක් නෑ දැන් ඒදේ වෙලා ඉවරයි. එයා හිතන්න ඇති මන් අද එන්න ඇත්තෙත් ඕනෙවට එපාවට කියල. මොකද මන් එයාගේ හිත හැදෙන්න කිසිම දෙයක් කිව්වෙත් නෑ නේ. ඒත් මන් කියලත් මොනවා කියන්නද?

“ඔහොම තමයි අපි හිතන දේවල් නෙමෙයිනේ අපේ ජීවිත වලට වෙන්නේ. හිත හදාගන්න බලන්න .  දුකයි තමයි ඒත් දුක් උනා කියල අපිට අලුතෙන් ලැබෙන්න දෙයක් නෑ නේ?”

එහෙම සාම්ප්‍රදායික වචන කියල මට සචී ගේ හිත හදන්න ඕනේ උනේ නැත්තේ ඒ වචන වල හිත හදන්න පුළුවන් වෙච්ච්ච හයිය හේදිලා ගිහින් අවුරුදු ගානක් හින්දා.... මොකද මට උනත් එදා කව්රු හරි මේ ටික කිව්වනම් මන් හිතෙන් බනින්න තිබුනා “ උඹලට මේ දුක තේරෙන්නේ නෑ යකෝ ... විඳවන්නම ඕනේ කොච්චර රිදෙනවද බලන්න....” කියලා.


මන් කාමරේ ජනේලයක් ඇරියා .. දැන් හවස 4 ට විතර ඇති. ඒත් තාම ගිනි ගහන අව්වේ සැර අඩු වෙලා නෑ වගේ හුලන් පොදක් වත් නෑ . අපරාදේ ජනේලේ ඇරියේ ... මන් ආයෙත් ජනේලේ වැහුවේ හිතට ආපු තරහටත් එක්ක.

 මුළු ඇගම සීතල වතුරෙන් නෑවිලා යද්දී මන් තවත් ෂවර් එක යටට වෙලා හිටියේ හිතේ ඇවිලෙන්න හදන ගින්දර නිවාගන්න ඕනෙකමට වගේ. 



ඔලුවට වැටෙන වතුර බින්දු ඔලුව පසාරු කරගෙන යනවා වගේ මට දැනුනේ... මන් ඔලුව අල්ලගෙන බිම ඉඳගත්තා මට තවත් කොච්චර කල් මේ හිත වද දෙයිද දෙයියනේ......?  මන් අත දික් කරලා ෂැම්පු බෝතලේ ගත්තා

“ම්ම්ම්ම් මොනවද මගේ කෙල්ලේ ඔලුවේ ගාන්නේ ....?”

“ඇයි මොකෝ ඒෂැම්පු එක හොඳ නැද්ද.....?”

“ඕකනේ ඉතින් මොකක් හරි ඇහුවාම පණ්ඩිතය වගේ ඇයි මොකෝ එකක් ඉස්සරහට දානවා....”

“අනේ නෑ ඉතින් මන් එහෙම ඇහුවේ දැනෙගන්නනේ ....”



Monday, February 18, 2013

තනි හිත.....................




පැය ගානක් තිස්සේ හිතේ තිබුන දුක කියලා තවත් ඉවර උනේ නෑ වගේ හිටියට එයා කතා කලේ නෑ... මන් එයාගේ මුණ දිහා බැලුවේ ඇයි කතා කරන්නේ නැත්තේ කියලා අහන්න. ඇස් දෙකෙන් එලියට පනින්න ඔන්න මෙන්න තියෙන කඳුළු බින්දු දෙක පිහදාන්න කියලා මන් හැරෙන්න හැදුවත් හිත කිව්වා ඒ කඳුළු වලට ගලාගෙන යන්න ඉඩ දෙන්න කියල...

“එයා ඇයි මට මෙහෙම කලේ... ?”

ඇය එසේ කියමින් ඉකි ගසමින් අඩන්නට වූවාය. මම මුනිවත රකින්නට වීමි.

“ සැබෑ පෙම්වතුන්
කිසිදාක එක නොවේ
එක වූ කිසිවෙකුත්
සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ...
වෙන් වී ගියවුන්
සදාකල් පෙම්වතුන් ලෙස ජීවත් වේ ......”

මෙහෙම දෙයක් කොහේ හරි මන් කියවලා තියෙනවා කියල හිතුනට මන් එයාට කියන්න ගියේ නෑ.

මොකද කියනවනම් ....

“ඔයාට මගේ දුක තේරෙන්නේ නෑ ... ආදරේ කරන්නම ඕනේ මේ දුක කොච්චරද කියල තේරුම් ගන්න... ඔයාට වගේ ගල් හිතක් මට නෑ ...”

කියල.  මේ දේ ආයෙත් තව කෙනෙක් ගෙන් අහගන්න තරම් හිතට වාරුවක් ගන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. අද මන් ඇය එක්ක දුක බෙදාගන්න ඉන්නවා වගේ එදා මගේ ලගින් ඉන්නවත් කව්රුත් හිටියේ නැති එකට මට දුක හිතුනේ නෑ ඒ ලැබීම වෙන්න ඇති මන් ඒ වෙනකොටත් හිත හදාගන්න වෑයම් කලේ එහෙම හිතාගෙන.  ඒ අතීතෙට මාව ඉබේම වගේ ඇතුල් උනා. මන් ළඟ හිටපු එයා ගැන හිතන එක මට අමතක උනා...

අපි අන්තිමටම හම්බුන දවස ....

“ හසී.. මන් තීරණයක් ගත්තා....”

“මොකක් ගැනද...?”

“අපි දෙන්නා ගැන හසී...”

“ අපි දෙන්නා ගැන මොකක්ද....”

“ අපි ගැලපෙන්නේ නෑ හසී.. ඔයා හොඳ කෙල්ලෙක් .. ඒත් මන් වගේ කෙනෙක්ට ඔයාගැලපෙන්නේ නෑ ... “

“මොකක්ද ඒ කිව්වේ..මට තේරුනේ නෑ .. ඇයි ඔයා එහෙම දෙයක් දැන් කියන්නේ...?”

“ අපි වෙන් වෙමු හසී.. දැන් තේරුම් ගන්න බැරි උනත් කවදා හරි ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි මන් අද ගත්ත තීරණේ හරි කියල...”


“හ්ම්ම්....”

“ඇයි තමුසේ හ්ම්ම් කියන්නේ...? තමුසේ වගේ ගල් හිතක් තියෙන කෙල්ලෙක් මන් දැකල නෑ ජීවිතේට...”

මන් තිගැස්සුනා ඒ ආවේගෙට .... මට අඩන්න හිතුනේ නෑ.... හිත ඊයම් බරු එල්ලලා වගේ ..... බර වෙලා කඩන් වැටෙයි කියල හිතෙන තරමට .... ඇයි මට මෙහෙම කියන්නේ ....?  අපි වෙන් වෙමු කිව්වම මන් එයාගේ කකුල් දෙක පාමුල වැටිලා මාව දාලා යන්න එපා කියලා අඩන්න ඕනෙද?

“හසී හසී.... ඇයි ඔයා කතා නැත්තේ...? “

“අහ්හ්........ න්..නෑ .. මන් ටිකක් කල්පනා කළා...”

“ වැඩක් නෑ හසී එයාට මාව එපා නම් මන් අඩන එකේ තේරුමක් නෑ මන් හිත හදාගන්නවා...”