Thursday, April 17, 2014

මතු භවයක එක්වෙමු .........

මේ දවස් වල කියාස් ට නම් මොනා වෙලාද කියන්න කියාස් වත් දන්නේ නෑ. අවුරුදු නිවාඩුවට ගෙදර ආව උනාට ඒක  ගෙවිලා යනකම් කියාස්ට මතකයක් නෑ. ඇත්තම කිව්වොත් මතක අප්‍රේල් 12 වෙනිදා විතරයි ඒකත් මතක නැන්දලා ගේ ගෙදර ගිය නිසා. අනික ඉතින් කියාස් ගේ බ්ලොග් පැල නම් කුණුගොඩක් වගේ වෙලා කතාවක් ලියන්න පටන් ගත්තා ඒත් වැඩේ කියන්නේ ඒ ඉතුරු ටික ලියන්න බෑ මොකද කියාස් මොන කතාව ලියන්න ගියත් නතර වෙන්නේ එකම චරිතයක් ළඟ ඔන්න ඕක තමයි ඉතින් ඇත්ත.

ඔහේ ගෙදරට වෙලා කාලේ ගෙවන වෙලාවේ තිබුනා තඩි  Anatomy පොතක් ඉතින් ඔහේ ඕක පෙරලනකොට හම්බුනා කියමුකෝ පොඩි කොළ කෑල්ලක්. ඔන්න මම නම් නෙමෙයි ඒක ඇතුලට දැම්මේ. ඉතින් කියාස්ට ඔය කොළ කෑලි වල තියෙන ඒවා කියවන්න පුදුම ආසාවක්නේ තියෙන්නේ. බැලුවා දිගෑරලා මොකක්ද මේ කියල. හප්පේ මෙහෙම පොත් ඇතුලෙත් නිසදැස් ලියන එවුන් ඉන්නවනේ ඉතින්. ඒක ලස්සන නිසදැසක්. මගෙනම් හිතටම දැනුනා. ඇත්තටම ලියපු එකක් නම් ඒ දෙන්නා කොහෙද දන්නේ නෑ ඉතින් අවුරුදු ගානක් පරණ ඇති නේ? 



සුදු වලාකුළු කැටිති ගැහිලා
වැව් ඉවුර ළඟ හාදු දෙයි 
තව්තිසාවක් නුවර මැවිලා 
වන්දනාවට කාලයයි 

කන්ද මුදුනේ නිල්ල තවරා 
තුරුලතා පෙළ ගී ගයයි 
ඒ මිහිරි ගී ඇසී නැළවෙන 
පවන වැව් දිය සරැලි ලයි 

හිතේ දළු ලන පැතුම් මල් මිට 
සමිඳු අභියස තබා යන්
මතුදු භවයක එක්වෙමුයි අප 
රහසේම අපි සිතා යන් 

අතින් අතගෙන යා නොහැකි දුර 
සිව් නෙතින් තුරුලුව ඉතින් 
අනන්තය තෙක් ඉවුරු මග දිග 
බවුන් වඩමින් ඇවිද යන් 


Sunday, March 23, 2014

ඇය..........

අකුණු ගසමින් වැහි දිය බේරෙන අහස දෙස බලමින්  ඇය කවුළුව අසලට වී දැන් කෙතරම් වෙලාවක් ගතවී දැයි  ඇයටම නිනව්වක් නොමැති බැව් ඇගේ නිල්වන් නෙත් දෙස බලන මට නොව ඔබට වුවද තේරුම්ගැනීමට අපහසු නොවේ. අඳුරු අහස ගැබ අකුණු හඬින් දෙදරා යද්දී ඇගේ හිත තුළ පෙරලි කරන සිතුවිලි කන්දරාව එයට නොදෙවෙනි සේ ඇගේ සිත් මඬල දෙදරවයි. 


ආදරය............. 

අතීතය වෙත ක්ෂණයෙන් දිව යන ඈ සිත නැවත වත්මනට ආයාසයෙන් තොරව පැමිණෙයි. කිසිම තේරුමක් නැති හුදු අතීත වර්තමාන මතක අතර දිවෙන සිත සැඩ සුළගට  ලෙලෙන ලා දල්ලක් ලෙස ඒ මේ අත වැනෙයි.

ඔහු.....

නමින් සමීර විය. පාසල් සමයේ දක්ෂ සිසුවෙකු වූ සමීරගේ සිතේ  කුළුදුල්ව හටගත් ආදරය පිදුවේ ඇයටයි. 

ඇය.....

ඇය නමින් හසිතා ය . පාසලේ නිහඬ සිසුවියක් වූ නමුත් සියල්ලන්ගේ සිත් දිනාගත් දක්ෂ සිසුවියක් විය. ඔහුගේ ආදරය හමුවන තෙක් තනිකඩ චරිතයක් විය.

හමුවීම......

හසිතා දිනක් තම මිතුරියන් සමග ගම්පහ දුම්රියට නැගුනේ තම පාසලේ ගුරුවරයෙකුගේ මළගෙදරට සහභාගී වීමටය  එදා ඇයගේ ජීවිතය වෙනස් වන බවක් ඇය නොසිතන්නට ඇත. ගම්පහට දුම්රියෙන් පැමිණ 
ගුවන් පාලමෙන් එහා පැත්තට මාරුවෙත්ම කලබලයෙන් පැමිණි  අළු පැහැති ටී ෂර්ටයකින් සැරසුණු තරුණයෙක් ඇයගේ ඇගේ වැදෙත්ම ඈ අත තිබූ බෑගය බිම වැටුණි. 

සමාවෙන්න නංගි.... 




Saturday, March 22, 2014

කොන් වීම..........

මාව කොන් වෙලා වගේ... සමහරක් අය මෙහෙම කියනකොට ඒ කෙනා ගැන මොකක්ද අපිට හිතෙන්නේ? එක්කෝ මෙයා කොන් වෙන්න මෙයාගේ මොකක් හරි වැරද්දක් ඇති . නැත්නම් මොකටද කොන් වෙන්නේ?

ඔව් එහෙමත් වෙන්න ඇති නැත්නම් තවත් පැත්තක් තියෙනවා අපි හිතපු නැති. සමහරක්විට ඒ පුද්ගලයා තමන්ගේ පළමු ජීවිත අත්දැකීම් තමන්ගේ පවුලෙන් ලැබුනේ නැති කෙනෙක් වෙන්න ඇති. දැන් සමාජයේ ජීවත් වෙන ගොඩක් මිනිස්සුන්ට තමන් කොන් වෙලා තනිවෙලා කියන හැගීම දැනෙනවා වැඩියි කියන්න හේතුවක් තියෙනවා. එතකොටම තවත් කෙනෙක් කියයි ඔව් ඒ තමයි අපි හැමෝම කාර්යබහුල වෙලා කියල. නෑ......... තවත් හිතලා බැලුවොත් ඒකට මුලික වෙලා තියෙන්නේ පවුල.

මොකක්ද මේ පවුල කියන්නේ? ඇයි කෙනෙක්ව කොන් වෙන්න පවුල හේතු වෙන්නේ?

ඔය සමාජ විද්‍යාඥයෝ කියන්නේ පවුලක් කියන්නේ සමාජයේ කුඩාම ඒකකය කියල.ඒ කියන්නේ ඉතින් එක අතකින් බැලුවාම පවුලක් නැත්නම් සමාජයකුත් නෑ...

ඉස්සර පව්ලක් ගත්තාම කොච්චර කට්ටිය හිටියද ඒ පවුලේ? අම්මා තාත්තා ආච්චි සීයා දූ දරුවෝ නන්දා මාමා වගේ අඩුම තරමේ පරම්පරා තුනක කට්ටිය හිටපු ලොකු පවුල් තිබුනේ... කොච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇතිද ඒ පව්ලකින්? 

දැන් එහෙම නෙමෙයි තරගෙකට දුවන තරග කාරයෝ වෙලා හැමෝම.... පවුල් වලින් වෙන් වෙන් වෙලා ගිහින් තනියම ජීවත් වෙනවා... අම්මයි තාත්තයි දරුවොයි විතරක් ඉන්න පවුල් වලට සීමා වෙලා... දෙමවුපියෝ දෙන්නම රස්සාවට ගියාම දරුවන්ට ජීවිතේ කියල දෙන්නේ කව්ද එදා වගේ? ඒ හැමදේම ඉස්කෝලෙට බාර වෙලා? ඒත් ඉස්කොලෙනුත් මේ දේවල් හරියටම ලැබෙන්නේ නෑ කියන්න පුළුවන් මොකෝ දැන් ඔක්කොම දුවන්නේ දැනුම හොයාගෙන යන තරගෙක. 

අන්න එහෙම ගත්තාම දරුවෙක්ට ජීවිතේ අත්දැකීම් කියන දේ ලැබුනේ නැති උනාම මේ දරුවා කොන් වෙන එක ඉබේම වෙනවා... හැම කෙනෙක් තුලම නායකයෙක් ඉන්නවා. හැම කෙනෙක්ටම තමන්ට ආවේනික වෙච්ච හැකියා තියෙනවා. අන්න ඒ දේවල් තමන් තුලින් අදුනගන්න පවුලෙන් සමාජයෙන් ලැබෙන අත්දැකීම් වල සහයෝගය අනිවාර්යයෙන් ම තියෙනවා. අපේ අත්දැකීම් වලින් ලැබෙන පන්නරයෙන් තමයි මට මේ දේ පුළුවන් කියල අදුනගෙන මන් මේ පැත්තෙන් ඉස්සරහට යනවා කියන හැගීම හිතට එන්නේ. 

මේකට හොඳම උදාහරණ තියෙනවා සත්ව ලෝකේ .....

දැකලා තියෙනවද කුරුළු රංචු අහසේ පියාඹන හැටි?
  





V අකුරේ හැඩේට පියාඹන කුරුළු රංචුවේ ඉස්ස්රහෙන්ම යන්නේ රංචුවේ නායකයා.... 
එතකොට තව ප්‍රශ්නයක් එනවා මොකෝ මේ V අකුරේ හැඩේටම පියාඹන්නේ ? ඒ ප්‍රතිරෝධය අඩුකරගන්න තමයි එහෙම පියාඹන්නේ... 
දැන් ආයෙත් නායක කම ගැන කතා කරමු.....

මේ කණ්ඩායමේ ඉස්සරහෙන් යන නායකයා සරින් සැරේ මාරු වෙනවා මහන්සි උනාම. පේනවද  මේ V අකුරේ එක පාදයක් කොටයි එක පාදයක් දිගයි. එකට හේතුව තමයි මේ කණ්ඩායමේ ඉස්සරහෙන් යන නායකයට මහන්සි උනාම එයා ගිහින් එකතු වෙනවා අර දිගම පාදයේ කෙලවරට. ඒ දිග පාදයේ ඉන්නේ කලින් නායකයෝ වෙච්ච කට්ටිය. එතකොට අර කොට පාදයේ ඊළඟට ඉන්න කුරුල්ලා තමයි අලුත් නායකයා. ඒ විදිහට හැමෝම නායකයෙක් විදිහට වගකීමක් ගන්නවා. 

අපේ ජීවිත ගත්තාම කී දෙනෙක් කියනවා ඇහිලා තියෙනවද මටත් අවස්තාවක් ලැබුනා නම් කියල. ඒත් අපිත් දැනගන්න ඕනේ ඉස්සරහට යන්න නම් අවස්තාවක් හොයාගන්න නැත්නම් ලබාගන්න. දෙවියෝ ගෙනත් දෙයි කියල අහස දිහා බලන් හිටියට  වැඩක් නෑ ඇහුම තරමේ අහසෙන් වැටෙන වතුර ටිකක් කටට ගන්න වහින වෙලාවට කට අරගෙන හිටියට වැඩක් නෑ වැහි බිඳු කීයද කටට වැටෙන්නේ? වතුර එකතු කරගන්න ක්‍රමයක් කල්පනා කරන්න ඕනේ. 

ජීවිතෙත් ඒ වගේ, නැත්නම් තමන්ගේ බර වගේ නම ගුනෙක බරක් උස්සන් යන්න පුළුවන් කුඹියා තමන්ගේ ඇඟ දිහා බලලා අනේ මට මේ කෑම කන්දරාව උස්සන් යන්න බෑ කියල පැත්තකට උනා නම් කෑම නැති කාලෙට කන්නේ මොනවද? 



ඉතින් ඔයා කොන් වෙලා නෑ... ජීවිතේ හොයාගන්න. අත්දැකීම් ලබාගන්න. 

Thursday, March 13, 2014

තාමත් ආදරෙන් ..............

ඔයා මට එදා මොනවද කිව්වේ කියල මට තේරුම් ගන්න බැරි උනේ නෑ මොකද ඇහුනේ නෑ වගේ හිටියට හැමදාව වගේ ඔයා කතා කලේ මගේ හිතට 

එදා ඔයා කිව්ව හැම වචනයක්ම මට මතකයි 

ඔයා ගියා.... මන් තනි උනා....ඔයා දුර ඉඳන් හිනා වෙනවා මන් දන්නවා..ඒත් ඔයා මන් අඩනවා දකින්නේ නෑ... මන් හරිද වැරදි ද මන් දන්නේ නෑ ....ඒත් මන් ඔයාට වෛර කරනවා....ඒ ඔයා මාව දාලා ගිය නිසා නෙමෙයි...මන් අදටත් ඒ මතකයන් වල පැටලිලා කාටත් හොරෙන් අඩන නිසා.... 

ඔයා එහෙම කියලා අහක බලනකොටත් මගේ ඇස් වල කඳුළු එලියට එන්න පොරකනවා. ඔයා හිතන්නේ මන් සතුටන් ඉන්නවා කියලද? එදා වෙන් වෙලා ගිය තත්පරේ ඉඳන් ම ඔයා මගේ ජීවිතේට තව තවත් ලං උනා ඒ හැම මතකයක්ම අදටත්

 මගේ හිතට ලංවෙනවා වැඩියි එදාටත් වඩා... 

මගේ අතීතේ දන්නේ නැති සමහරක් යාළුවො මගෙන් අහනකොට මේ ඇස් වලට කඳුළු ඇයි කියල මන් මුකුත් කියන්නේ නෑ. ඔයා හිතයි ඒ මන් ආදරේ කළා කියන්න බයයි කියලද? නෑ ... මට කියාගන්න බැරි වෙයි ඒ තරම් දුකක් මගේ හිතේ හිරකරගෙන ඉන්නේ මන් මට වචන නෑ ඔයාට වගේ කියන්න මේ හිතේ තියෙන දුක ..... 

මන් අතීතෙට ඔයා වගේ වෛර කරන්නේ නෑ මට ආයෙත් අතීතෙට යන්න ඕනෙත් නෑ ඒත් මට වර්තමානේ මෙහෙම දුකෙන් ඉන්නත් බෑ... ඔය ආදරේ මට ආයෙත් ඕනේ කියන්න මට බෑ ඒත් ඔයාගේ ආදරේ අදටත් මට තිබුනා නම් කියල මට හිතෙන් නැතුවමත් නෙමෙයි .... 


Tuesday, March 11, 2014

මං කියනදේත් ටිකක් අහන්න..................

මට කියාගන්න කොච්චර දේවල් තියෙනවද කියල ඔයා නෙමෙයි මන් වත් දන්නේ නෑ. ඇත්තම කියනවනම් ඔයා මාව තේරුම් ගන්න කලින් ඔයා කව්ද කියල තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මාත් එහෙම වෙන්න ඕනේ කියන එක තමයි. මට තාම මාව තේරුම් ගන්න බැරි උනා. ඉතින් කොහොමද මන් ඔයාව තේරුම් ගන්නේ. අපි අපිව තේරුම් ගන්න ගොඩක් කල් යාවි. මට තව දෙයක් මෙන්න මෙහෙම හිතෙනවා. අපි දෙන්නට දෙන්නා ගැලපෙන්න ඕනේ. නැත්නම් ගොඩක් ප්‍රශ්න එයි. වෙන වෙනම ඒවට මුණ දෙන්න බැරි වේවි අපිට. ඒ ඇයි දන්නවද? කවදාවත් අපි දෙන්නට වෙන වෙනම කිසිම දෙකට වෙන වෙනම මුණ දෙන්න බෑ. ඒ ඇයි කියල අහන්න එපා. එහෙම තමයි වෙන්නේ හැමදාම. එකට කියන්නේ ස්වභාවධර්මය කියල දැන්වත් තේරුම්ගන්න. මාව දාලා යන්න හිතන්න එපා. ආදරෙන් ඉල්ලන්නේ මට විරුද්ධ වෙන්න එපා කවදාවත්. ඔයාට දුක් වෙන්න වෙයි. මමත් කැමති නෑ ඔයා දුකෙන් ඉන්නවා බලන්න. මන් දන්නවා ඔයා මේ ටික අහගෙන හිටියෙත් වෙනදට වැඩිය ඉවසීමෙන් කියල. මොකද ඔයාට තාම හිතාගන්න බෑ මේ කව්ද කියල. ඔයාට තාම මන් කව්ද කියල හිතාගන්න බැරි උනේ ඔයා මාව තේරුම් අරගෙන නෑ මෙච්චර කාලෙකට ඒකයි හිතාගන්න බැරි උනේ. දැන් වත් අදුනගන්න මන් ඔයාගෙම හෘද සාක්ෂිය.......


Saturday, March 8, 2014

කාන්තා දිනේ සැමරුවද ?





කාන්තා දිනේ වෙනුවෙන් කියාස්ලා ලෑස්ති උනේ පෙබරවාරි මාසේ ඉදන්. කියාස්ලා කියල බහු වචනෙන් කිව්වේ කියාස් ඉගෙනගන්න තැන කස්ටියත් එක්ක. දැන් ඉතින් කියාස්ට බාර උනා එදාට කතාව කරන කෙනාට කතාවේ අවසානයට කියන්න "ඇය" ගැන නිසදැසක්. දැන් ඉතින් ලියපන්කො! වෙනදා බිත්ති පුවත්පතට නිර්නාමිකව අන්වර්ථ නම් වලින්  දාන නිසදැස් වගේ නෙමෙයිනේ ඉතින්  වැඩේ සවුත්තු උනොත් පහුවෙනිදට කව්ද ඒ නිසදැස ලියපු එකා කියලනේ කවුරුත් අහන්නේ ඉතින්. අනික කියාස් ලොකු අවුලක පැටලුනා කව්ද මේ "ඇය?" 

ඇය කිව්වාම කවුරු ගැනද ලියන්නේ? සොයුරියක්? මිතුරියක්? දියණියක්? මවක්? කවුරු ගැනද දෙයියනේ මන් ලියන්නේ? ඕක ඔලුවේ තිඉයාගෙන ඉන්න දවස් වල ලෙක්චර් එක වෙලාවටත් සමහරක් වෙලාවට කල්පනාවට වැටෙනවා මොකක් ගැනද මන් ලියන්නේ කියල. ඔන්න ඔහොම වෙලාවක කියාස් ට තොප්පියකුත් වැටුනා. 

ඒ වෙලාවේ අපේ ලෙක්චර් එක කරපු මැඩම් ටිකක් කියාස් ගේ චර්යාව දිහා බලාගෙන ඉදලා කොහෙද ඉතින් මේ කියාස්ට මෙලෝ සිහියක් නෑ නේ. ඔන්න එක පාරටම .....

මැඩම්- ඔව් දැන් කියාස් කියන්න බලන්න....

ඔන්න කියාස් පියවි ලෝකෙට ආවා... දඩ බඩාස් ගාලා පුටුවත් පෙරලගෙන නැගිට්ටා තිබ්බ කලබලේට 

මම- ඔව් මැඩම් 

මැඩම්- කියන්න බලන්න කාල් යුංග් ගේ පුද්ගල වර්ගීකරණ න්‍යාය කොටස් කීයකට බෙදන්න පුලුවන්ද?

මම- ( හොල්මන් වී ! මලා කව්ද යකෝ ඒ ? මොන මගුලකට කොටස් වලට බෙදුවද මන්දා ශික්!) තුනකට මැඩම් 

මැඩම්- කියාස් පාඩමට අවධානෙ දෙන්න.... ඔයාගේ න්‍යාය පස්සේ කල්පනා කරන්න 

වස ලැජ්ජාවයි හයියූ....! 

හරි දැන් ඒක අතුරු කතාවක්නේ ඔන්න ආයේ ඇය ගැන ලියන්න හැදුවා හරියට හිතාගන්න බෑ... ඔන්න කියාස්ට කල්පනාවට ආවා අන්තිමට. ඔව් මන් ඒ හැම චරිතයක් ගැනම ලියනවා! ඔන්න ඕක කල්පනාවට ආවේ අපේ නෙට්බෝල් මැච් එක අතරතුරේ දී ප්‍රතිවාදියෙක් ඇවිත් එයත් එක්කම කියාස් බිම වැටිලා කොන්ද බිම ඇනුන වෙලාවේ. මතක් වෙනකොට නම් මටත් හිනා යනවා... 

හරි දැන් ඔන්න රෑ නිදිමරාගෙන ලිව්වා නිසදැස. හරි අමාරුවෙන් ලියන එක නතර කරගත්තේ ඇත්තටම මෙතරම් ලියන්න අදහස් තියෙද්දී නේද දවස් ගානක් කල්පනා කලේ! අන්තිමට ඉතින් කතාව කරන කෙනාට ගිහින් දුන්නා කියමුකෝ. ඕක කතාව කරන්න කලින් අපේ සර් කෙනෙක්ට පෙන්නලා. එකෙන් උනේ කියාස්ට කාන්තා දිනේ ආරාධනා පත්‍ර වලට නිසදැසක් ලියන්න. 

හරි ඉතින් ලිව්වා කියමුකෝ. දැන් ඉතින් කියාස් ගේ රූමා නැටුමට බර කෙනෙක් නිසා රූමා ඉන්නවා උත්සවයේ නැටුමකට.  " ලෙලි තලන නුඹේ අතට රන් මුදුව ගොරහැඩි ද දෝණියේ" අපේ කොල්ලොන්ගෙන් නාට්‍යක්. 

දැන් ඉතින් කාන්තා දිනේ තියෙන්නේ සෙනසුරාදා දවසක නිසා 7 වෙනිදට උත්සවේ නියම කරගත්තා. හරි දැන් ඔක්කොම ලෑස්තියි. 

මොකෝ උනේ? හදිස්සියේම අපිට නිවාඩු හම්බුනා ආයේ පටන් ගන්නේ 8 වෙනිදත් පහු වෙලා. එතකොට කාන්තා දින උත්සවේට මොකද වෙන්නේ? 

මොනා වෙන්නද? 

ඒක තියන්නේ නෑ ... 

Friday, March 7, 2014

මගේ යාලුවේ .....

කොහොමද ඉතින් ?
වරදක් නෑ... ඔයා මේ ඉස්කෝලෙම ද?
ඔව්... අලුත් මුණක් නිසා කතා කලේ... ආර්ට් කරන්නද ආවේ?
ඔව් මන් කලින් හිටපු ඉස්කෝලේ ඒ ලෙවල් වලට ආර්ට් තිබුනේ නෑ ඒකයි මේකට ආවේ 
හොඳයි හොඳයි :) ඔන්න එහෙනම් ඕනේ වෙලාවක මේ යාලුවා ඉන්නවා අද ඉදන් ඔයාට 
තෑන්ක්ස් කියාස්... :) 

ඔයා ඉස්කෝලෙට ආපු මුල්ම දවසේ මන් ඔයත් එක්ක කතා කළා මතක ඇති... අපි දෙන්නා ඉතිහාසය කරන්න හිස්ට්‍රි  රූම් එකට ගියාම හැමදාම හම්බුනා... සමහර දවස් වලට කතා කරන්න තරම් වෙලාවක් නැති උනත් හිනාවකින් හරි අපි දෙන්නා අපේ යාළුකම තියාගත්තා... පංති දෙකක හිටියත් ඉස්කෝලේ හැම වැඩකදීම වගේ එකට වැඩ කරද්දී හම්බ උනා. අපේ සෙක්ෂන් එකේ ට්‍රිප් එකේදී කොච්චර සතුටු උනාද? ඒ මතක කවදාවත් මතකෙන් ඈත් කරන්න හැදුවත් එහෙම කරන්න බැරි වෙයි. 

කාලේ ගෙවිලා ගියා .....

අපි ඒ ලෙවල් කළා... රිසල්ට් ආවා.... කැම්පස් ගියා... 

අපි ආයෙත් හම්බුනේ ප්‍රයිස් ගිවින් එකේදී ...... ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ...

කොහොමද ඉතින් කාලෙකින්..කොහොමද කැම්පස් ජීවිතේ....?
වරදක් නෑ කොහොමද ඔයාට?
මටත් එහෙම තමයි ඉතින් ඉතින් ඔන්න එහෙනම් මගේ ගෙදර ප්ලෑන් එක මට ඔයා තමයි ඇදලා දෙන්න ඕනේ :) 
හරි හරි මොකෝ බැරි ...:) 

ඒ කතා කරපු හැමදේම මට මතකයි යාලුවේ.... 

ඒත් මේ මාසේ වෙනකොට කෝ ඔයා? 

ඔයා යන්න ගිහින් යාලුවේ ... 
මේ හැමදේම දාලා ඔයා යන්න ගිහින්
අනාගතේ ගැන ඔයා මවපු හැම හීනයක්ම දාලා 
ඔයාට යන්න වෙලා
ඔයාගේ අම්මා තාත්තා 
සහෝදර සහෝදරියෝ 
ඔයාගේ ආදරේ
ඔයාගේ යාළුවො 
මේ හැමදේම දාලා ඔයාට යන්න වෙලා 
මන් දන්නවා 
ඔයත් හිතුවේ නෑ කවදාවත් මෙහෙම යන්න 
ආයිත් නම් කවදාවත් මෙහෙම වෙන්න එපා 
කාටවත් 
ඔව්.... 
ආයෙත් නම් ඒ වගේ අසනීපෙකින් දුක් විදින්න වෙන්නත් එපා.
ඉපදෙන හැම ආත්මයකදීම...........
මගේම මිතුරිය වෙන්න