Friday, March 7, 2014

නිදාගන්න ළමයෝ





කියාස් දැන් ඉතින් හෙනට බිසී වෙලා ලු මොනා කරන්නද ඉතින් ජීවිතේ ඔහොමයි ලු. පාඩම් කරනවා නෝට් ලියනවා ආයේ ඉතින් පොත උඩම නිදි. ටික වෙලාවකින් ආයේ ඇහැරෙනවා නින්දෙන්ම ඇදට පනිනවා. ආයෙත් ඉතින් වැඩ වැඩ වැඩ. ඉතින් නෝට් එකක් ලියනගමන් එහෙම්මම පොත උඩ හීන දකින වෙලාවක කියාස් ගේ ජන්ගමයා කෑගහන්න ගත්හ්ටා කන ලඟින්.

කන ලඟින් කිව්වේ එකෙත් මෙහෙම පොඩි සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉතින් රෑ දෙගොඩහරි යාමෙට කියාස් ගේ ජංගමයා හැමදාම කෑගැහුවේ නැති උනාට මොකක් හරි වෙලා අවාරෙට පොල් වැටෙනවා වගේ කෝල් එකක් දෙකක් එනවා වැඩේ කියන්නේ ඉතින් දැන් ඔය වෙලාවට ගෙදරදී වගේ නෙමෙයිනේ ජන්ගමයා කෑගහනකොට කියාස් ගේ රූමා කියාස් ව එලියට ඇදලා දාන තත්වයක් උදාවෙන නිසා. ඉතින් වෙන්න කලින්ම අවදානමට පෙර සුදානම කියල කියාස් හෙඩ්සෙට් එක ගහලම තමයි තියන්නේ. ඔන්න ඒ නිසා තමයි එදා ජන්ගමයා කන ළඟම ඉදන් කෑගැහුවේ.

ඔන්න ඉතින් දනි පනි ගාලා ඔලුව උස්සලා ඇස්දෙක පිහදාලා බැලුවා කව්ද බන් මේ මහා රෑ මාව ඇහැරවලා දුක කියන්න හදන්නේ කියල. ( මොකෝ සාමාන්‍යයෙන් කියාස්ට එහෙම කෝල් තමයි එන්නේ කොල්ලා තරහ උනාම ඒ දුක කියාස් ට කියන්න යාලුවට මතක් වෙන්නේ කොල්ලත් එක්ක වෙනදට මල් කඩන වෙලාවටනේ හයියූ)

බැලින්නම් දෙයියනේ අම්මා කතා කරන්නේ.... ටික් ගාලා ආන්සර් කළා

මම - හ...ලෝ... අම්මේ.....

අම්ම- කියාස් ඔයා නිදි ද?

මම- ඔව්.... අහ්..... නෑ. අම්මේ මන් මේ නෝට් එකක් ලියනගමන් ( එතකොට තමයි දැක්කේ අතේ තිබුන පෑනත් බිම කියල)

අම්මා- මටනම් පෙන්නේ නෑ එහෙම දෙයක්. ඔයා නිදිමතේ නේ කතා කරන්නේ

මම- නෑ අම්මේ ඇහෙන හැටි වෙන්න ඇති මෙහෙට සිග්නල් නෑ නේ. අම්මා මොකෝ මේ කතා කලේ දැන් ගොඩක් රෑ වෙලානේ

අම්මා- අනේ ළමයෝ මන් කිව්වේ මන් පිරිත් ගෙදරකට යනවා කියල දැනුයි ගෙදර ආවේ. ආපු ගමන් කෝල් එකක් දෙන්න කියල ඔයාම කියපු නිසා ගත්තේ නැත්නම් ඉතින් ඕක ගත්තේ නෑ කියල නහයෙන් අඩනවානේ උදේට ( අම්මා හිනාවෙයි)

මම- ( මදැයි කොලා! කිව්වාම තමයි එහෙම කිව්වා කියල මතක් උනේ) ආ හරි හරි අම්මේ. හයියෝ මට ඇත්තටම නින්ද යනවනේ නැද්ද මොකක් හරි බෙහෙතක් එහෙම

අම්මා- ඇයි නැත්තේ තියෙනවා

මම- දෙයියනේ එහෙනම් කියන්නකෝ

අම්මා- නිදිමතනම් නිදාගන්න ළමයෝ

මම- හපෝ ඒකද බෙහෙත?

අම්මා- දන්නවද මන් කොලේජ් යනකාලේ

මම- නෑ එතකොට මන් ඉපදිලා නෑ නේ අම්මේ

අම්මා- ළමයෝ ගෙම්බෙක් වගේ මැද්දට පනින්න එපා

මම- (කට වහගෙන) හ්ම්ම්

අම්ම- කැම්පස් යන කාලේ මාත් ඔහොමයි අපේ ගෙදර ඔක්කොම නිදි. මන් විතරක් ඇහැරිලා නිදිමරාගෙන පාඩම් කරනවා. මටත් තරහයි මේ ඔක්කොම නිදි මොකද මේ මම විතරක් කියල. ටික කාලයක් යද්දී මන් පාඩම් කලේ මට ඕනේ විදිහට.

මම- ඒ කිව්වේ?

අම්මා- කොලේජ් එකේදී මන් පාඩම් කලේ නෑ ගෙදරදීත් වැඩිය නෑ. එක්සෑම් එකක් එනකොට පාඩම් කලේ එන්න පුළුවන් කියල හිතෙන ටික විතරයි. පේපර් එකේ අපිට ප්‍රශ්න 6ක් තිබ්බා 5කට ලියන්න ඕනේ. හැමදාම පේපර් එකේ ප්‍රශ්න 5 ආවේ මන් පාඩම් කරපු ටික. බැරි වෙලාවත් 6 වෙනි එකත් ලියන්න උනා නම් මන් ඒකේ මෙලෝ දෙයක් දන්නේ නෑ... 

මම- ශා.... මරුනේ අම්මේ :) 

අම්මා- දැන්වත් නිදිමතනම් නිදාගන්න දරුවෝ. තෙරුවන් සරණයි! 

Thursday, March 6, 2014

අපේ කුරුටු ගී.....




කියාස් මේ දවස් වල ඉගනගන්නේ ඉතින් හොස්ටල් එකක නැවතිලා ඉන්නගමන්නේ . ඉතින් ඒ ජීවිතේ ගෙදර ගෙවන ජීවිතේට වැඩිය වෙනස් හාත්පසින්ම. රූමෙක් එක්ක කාමරේ ඉන්නකොට ඉතින් රූමා තමයි හැමදේටම ඉන්නේ. දුකට සැපට... දෙකටම. හැබැයි ඉතින් ඔය අතරේ හොස්ස ලඟින් මැස්සා යන්න බෑ වගේ දෙන්නට දෙන්නා පෙන්නන්න බැරි රූමා ලා නැතුවමත් නෙමෙයි.

ඒ කොයිහැටි වෙතත් ඉතින් ගෙදරින් ඈත්  උනාම ගෙදර මතක් වෙන එක නවත්තන්න බෑ නේ. ගෙදර විතරක්ම නෙමෙයි සමහර අයට තව අය මතක් වෙනවා එහෙම තමයි ඉතින් ආදරේ කරන්න ගියාම... ළඟ නැති උනාම , නිතර දකින්න නැති උනාම තමයි වටිනාකම තේරෙන්නේ...

කියාස් ගේ යාලුවෙක් ඉන්නවා ලස්සනට සින්දු කියන්න පුළුවන්... එයා හැමතිස්සෙම කියන සින්දුවක් තමයි
 "වියෝ වූ පසුවයි දැනෙන්නේ
  ප්‍රේමයේ අභිමන් .................."
ඉතින් කියාස් දවසක් යාලුවගෙන් ඇහුවා " ඇයි ඔය සින්දුවම කියන්නේ?"
එතකොට හම්බුන උත්තරේ තමයි
" ඒ වචන ටික කිව්වාම ඔයාට මගේ ආදර කතාව වෙනම කියන්න ඕනේ නෑ කියාස්"
හ්ම්ම්.... එතනින් එහාට මන් ඒ ගැන ඇහුවේ නෑ

ඉතින් ඔය අතරේ තමන්ගේ දුක එක එක විදිහට තුනී කරගන්න අය ඉන්නවා, ඒ තමයි හැටි. මොකද හැමෝම එකවගේ නෙමෙයි නේ? ඔන්න එකවගේ ප්‍රශ්න තියෙන හරි ටිකක් එක විදිහට හිතන පතන, යාළුවො දෙන්නෙක් හම්බ උනොත් තමන්ගේ හිතේ දුක දෙන්නට දෙන්නා කියාගන්නවා.

නැත්නම් සමහර අය ගෙදරට නැත්නම් තමන්ගේ ආදරවන්තයාට (ඒ කියන්නේ ඉතින් කොල්ලටනේ )
ඉඩක් ලැබුන ගමන් ම කෝල් කරනවා. නැත්නම් ටිකක් ඇති හැකි අය ඉන්නවා නම් ඒ අය ලැප ඕන් කරගෙන ස්කයිප් යනවා...

ඔහොම යනකොට ඉතින් බැඳීම් වලත් පොඩි පොඩි වෙනස් වීම් නොවෙනවත් ම නෙමෙයි. පව්ලක අම්මයි තාත්තයි එක්ක කතා කලේ නෑ කියලනම් කවදාවත් දෙමව්පියෝ ළමයා ව අමතක කරන්නේ නෑ තරහ වෙන්නේ නෑ. ඒත් මේ කියන ආදරේ වෙනයි. සමහරක් අය ඉන්නවා පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් ආදරේ විරහව වෙන කට්ටිය. නේවාසිකාගාර ජීවිතේට අපි ආපු ගමන් ගොඩක් අයගේ ආදර කතා වලට නැවතීමේ තිත වැටුනා. සමහරක් අයට කොමාවක්. ඔයිනුත් එකක් දෙකක් වගේ තමයි තාමත් බේරිලා තියෙන්නේ ඒ කියන්නේ ඉතින් ගෙවල් වලින් කැමැත්ත හම්බුන ටික තමයි නැත්නම් දැන් තියෙන්නේ මෙහෙ එන්න කලින් තිබුන සම්බන්දේ  නෙමෙයි අලුත් එකක්.

අන්තිමට ඉන්නවා ටික දෙනෙක් අන්න ඒ අය තමයි තමන්ගේ දුක කවි කතා වලට පෙරලන්නේ. හිතට එන දුක කොහේ හරි ලියනවා එක්කෝ කොලේක. කොලේක ලියන කවි වලට නම් වැඩි ආයුෂ නෑ. සමහරක් අය ලියන්නේ තමන්ගේ ඇද ළඟ බිත්තියේ. එතකොට නම් පරම්පරා ගානකට ඔය කවි මැකෙන්නේ නෑ තීන්ත ගෑවොත් මිසක්. ඕවයේ ඉතින් ආයේ තීන්ත ගාන්නෙත් නෑ ඒ නිසා හැමදාටම තියෙනවා ඒ කවි. අන්න ඒ කුරුටු ගී ටිකක් මන් එකතු කරගත්තා. ලිය ලියා ඉන්න විවේකයක් තිබුනේ නෑ ෆෝන් එකෙන්ම ගත්තා ෆොටෝ.

ගොඩක්ම තිබුනේ ආදරේ... විරහව ගැන ඒ අතරින් පතර සහෝදරකම ගැනත් තිබුනා...


මට හරිම පාළුයි අක්කේ ,
මේ කෙටි කාලෙට
මන් ඔයාට කොයි තරම් ආදරෙයි ද?
මට අක්කලා ගොඩයි
සතුටුයි....
ඒත් දුකයි
ඇත්තටම ඔයාට ආදරේ කල නිසා නේද
මේ තරම් දුකක්?

සියල්ල වෙනස් වෙමින් පවතී
මා ද වෙනස් වෙමින් පවතී
මටද වෙනස් වීමට සිදුව ඇත්තේ
සියල්ල වෙනස් වෙමින් පැවතින නිසාය


ප්‍රේමය නම් කුසුමක් වේ...
රිසි වූ කෙනෙකුට
පිදුව මනා වේ
ලෝභ සිතින් තොරව
පිදුවමනා වේ
පෙරලා ලබන්නට
නොසිතා බිඳක දුක් ......






කල්ප කාලෙකට පස්සේ 
නුඹ ඇවිදින් මගේ සිතට
අනේ ඔහොම බලන්නෙපා 
දරාගන්න බෑ මසිතට

කතා කරන ඔය ඇස් ළඟ 
සිනා සලන තොල් පෙති අග 
රැදී ඉන්න කවියක් ලෙස 
මොන තරමක් පැතුවද මම 

නුඹ පිටුපා ගිය දවස 
පිරුණු කඳුළු රැඳී දෙනෙතට 
එබෙන්නේ ඔය විදිහට 
නුඹත් අඩයි මං වාගේම 





මිලාන වූ 
ආකාසේ 
අපේ පැතුම් පාවී
මගේ පැලේ තනිවී
මා සුසුම් හෙලන වෙලේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා .....








Thursday, December 19, 2013

හා උඹ රත්ගමද ???

මන් ඉතින් ඔහේ ඉන්න ගමන් ගෙදරට වෙලා කල්පනා කරද්දී මතක් උනා මේ කියාස් විසින් ඉල්ලගෙන කාපු වැඩක්. 

කියාස්ව තෙරුනාලු උසස් අධ්‍යාපනේ ලබාදෙන තැනකට. ඉතින් එහෙට ගිය පලවෙනි දවසේ ඉතින් කට්ටිය එක්ක අදුනගෙන කාලේ ගත කළා. දෙවෙනි දවසේ  දවල්ට කන්න ගියා කියමුකෝ. ඔන්න ඉතින් පොලෝ තලේ වැලි කැට ගණන් කර කර අපි කෑවා. කාලත් ඉතින් එලියට ආවා කියමුකෝ. කියාස් වෙච්ච මම අහිංසකයා වගේ තව යාළුවො වෙච්ච දෙන්නෙකුත් එක්ක බිම බලාගෙන ගියා. 

පසුබිමින්- ඒයි ඔහොම නවතිනවා 
මම- ඒ මධූ අපිටද? 
මධූ- දන්නෑ බන් ඇහුනේ නෑ වගේ යමු 
පසුබිමින්- තොපි තුන්දෙනාට කන් ඇහෙන්නැද්ද ? නවතින්නයි කිව්වේ 

 ඔන්න ඒ වෙලාවෙනම් ඉබේම කකුල් ටික නැවතුනා 

හා දැන් ඉතින් කියමුකෝ බලන්න පිළිවෙලට නම් ටිකයි ගමයි

අපි -( කතා නැත) පොළව තුළ ගිලෙන්නට මෙන් ඔලුව නමාගෙන 

1- ඈ බන් මොකෝ නංගි වෙලා තියෙන්නේ අපි ගිලින්නේ නෑ පොඩ්ඩක් ඔලුව උස්සලා කතා කරපන් බන් 
2- මුන් එකසිය ගානට බයවෙලා බන් ඔන්න ඔහේ යන්න දෙමු 
3- හා හා පලයල්ලා පලයල්ලා 

හප්පේ අපි ඉතින් පෙර කුසල් මතක් කර කර යන්න අඩිය තිබ්බා විතරයි ඔන්න ආයෙත් 

පසුබිමින් - ඒ... පොඩ්ඩක් හෝව්... ඔය මැද ඉන්න කෙනා 

 ඒ මධූ ය. ඔන්න ඉතින් සුදුවට හිටපු මධූ සුදුමැලි වෙලා...

මධූ- මමද අයියේ 
1- ඔව් ඔව් උඹ තමයි 
2- ඈ බන් මොනවද ඔය නියපොතු වල ගාලා තියෙන්නේ ඈ? 

විනාසය! මධුවා විසින් කියුටෙක්ස් ද මොකක්ද නියපොතු වල ගා ඇත. දැන් ඉතින් විනාසය 

1- හා කියපන් බලන්න මොකද උනේ උඹේ නියපොතු වලට? නිල් වෙලා තියෙන්නේ? උඹ මැරිලද බන් නංගි? 
මධූ- අ..අනේ නෑ.. අයියේ 
2- නෑ කියන්නේ කොහොමද මේ පාට බලපන්. ඒ මේ ඔතනට වෙලා ඉන්න නංගි මෙහෙ එනවා 

මලාය! ඒ පාර මම ? 

මම- ඇයි අයියේ 
3- උඹ කියපන් අර නියපොතු මොන පාටද? 
මම- නිල් පාට 
1- ආ ඇහුනා නේ නංගි ? යාලුවටත් පේනවා උඹ තමයි පාට අඳුරන්නේ නැත්තේ. හෙට එනකොට ඔවා මකාගෙන එන්න ඕනේ හරිද? 
මධූ - හරි අයියේ 
1- එතකොට මගේ නියපොතු මොන පාටද? 
මම- හිතෙන් කියමින් ( නියපොතු පාට)




ඔන්න ඔය වෙලාවේ තමයි කියාස් ගේ මතක පොත ක්‍රියාත්මක වෙලා ඉල්ලගෙන කන්න නියමිත උනේ. ඒ කිව්වේ ඉතින් කියාස්ට එක පාරට මතක් උනා මේ නියපොතු කතාවක් කොහේ හරි බ්ලොග් මුල්ලක කියෙව්වා නේද කියල. ඔන්න ඉතින් මතකේ පීරලා බලනකොට එක පාරටම ක්ලික් උනා රත්ගමයා අයියගේ බ්ලොග් එකේ එයා තාම චුටි කෙල්ලෙක් පෝස්ට් එක.( ඔය ටික මතක් වෙන්න එච්චරම වෙලා ගියේ නෑ) 

මම- රත්ගමයා ( මලා කටින්ම එහෙම කියවුනානේ)
1 - ඒ මොකක්ද කිව්වේ 

මම- කව්ද මමද අයියේ ?
1- ඔව් ඔව් උඹ තමයි 
මම- නෑ මුකුත් නෑ 
2- ඈ බන් උඹ හිතුවද අපිට කන් ඇහෙන්නැතුව මෙහෙ ආවා කියලා ඈ? 
මම- ( ගල් ගිල්ලා සේ ) 
1- උඹ එහෙනම් කියපු දේ කියනකම් උඹට යන්න දෙන්නේ නෑ 

මදැයි ඉතින් දැන් මොකද කරන්නේ? මොකෝ ඉතින් බ්ලොග් එකක පෝස්ට් එකක් මතක් උනා කියන්නයැ ? දැන් ඉතින් ඔහොම විනාඩි 5ක් විතර ඉන්න ඇති( ඒ උනාට අවුරුදු 5ක් විතර හිටගෙන හිටියද කොහෙද). ඇයි ඉතින් මොනා කියල කියන්නද. 

1- හා දැන් අපිට කියන්නේ නෑ නේද නංගි 
මම- නෑ අයියේ මම මේ කිව්වේ රත්ගම කියල ("ය" යන්න කැපුවා )
1 - හා උඹ රත්ගම ද? ඇයි අපි බයවෙයි කියල හිතුවද?  






Tuesday, December 17, 2013

ගිම් වෙතය....

කොහොමද ඉතින් පටන් ගන්නේ කොයි කාලෙන්ද ? හරි මතක් උනා ඒ 2005 අවුරුද්ද. කියාස් වෙච්ච මන් හිටියේ 7 වසරේ පන්තියක. අන්න ඒ පන්තියේ කියාස් ගේ යාලුවා උනේ වෙන කවුරුවත් නෙමෙයි ඒ තමා ගිම්. ඔන්න දැන් ඉතින් කියන්න යන්නේ ගිම් ගැන.

කියලා වැඩක් නෑ ඒ කාලෙනම් කියාස් ටම හරියන යාලුවෙක් නෑ ඒ කිව්වේ ඉතින් දෙන්නම එකම බෝට්ටුවේ කියන එක තමයි. ඒ කියන්නේ ආයේ සෙල්ලමම තමයි වෙන දෙයක් ඔලුවේ නෑ. ගෙදර වැඩ දුන්නත් කරන්නේ නෑ ඇත්තටම ඒ කාලේ ඉස්කෝලේ ආවේ සෙල්ලම් කරන්නද කොහෙද. ඉතින් අපේ පංති භාරව හිටියේ ඉංග්‍රීසි උගන්නන මිස් කෙනෙක් ඇත්තටම එයා මෙනෙවියක්. මාර නීට් එකට වැඩ කරන කෙනෙක් ඒ කිව්වේ ඉතින් අපි පැවරුම් කරලා දෙන කොළ ටිකත් ගෙදර ගිහින් බලලා අයන් කරලා තමයි ආපහු ගෙනත් දෙන්නේ. ආ කතාවෙන් පිට පැන්නා! මන් මේ කියන්න ගියේ පන්ති භාරව හිටපු නිසා අපිට ඉතින් හැමදාම උදේ පාන්දර ඉංග්‍රීසි හප්පේ කියල වැඩක් නෑ අපි දෙන්නට නම් පෙන්නන්නම බැරි උනා.

ඒත් ඔන්න තුන් වෙනි වාරේ අවසානේ වගේ වෙනකොට ඉතින් කාට කාටත් පේනවා වගේ අපි දෙන්නටත් තාරකා ග්‍රහ වස්තු පෙන්න පටන් අරගෙන තිබුනේ.  ඒ අස්සේ මේ ලෝක පුජිත ගිම් විසින් ප්‍රකාශයක් ඉදිරිපත් කළා " කරන්න දෙයක් නෑ රුවා මිස් කලේ අපිට ධාන්‍ය දුන්න එක, අපි තමයි ඒක වපුරලා අස්වැන්න නෙලාගන්න ඕනේ, දැන් ඉතින් පරක්කු වැඩියි"

හප්පේ එදා මගේ ඇස් දෙක නළලේ තියෙන්න ඇති ඒ ප්‍රකාශෙන් පස්සේ ( හරියටම බලාගන්න කන්නාඩියක් තිබුනේ නෑ නේ ). ඔන්න ඔහොම පණ්ඩිතකම ගෑවිලා තිබුනලු පොඩ්ඩා කාලේ ඉදලම ;)

ඉතින් මොනවා උනත් අපි 7 වසරේදී පොඩි කොන්සර්ට් එකකුත් කළා ලු. ආයේ කියල වැඩක් නෑ ඉතින් මොකද ඒ කාලේ රඟපාන පිස්සුවකුත් තිබුනනේ. ඉතින්න් ඊට පස්සේ ඔහොම කාලේ ගෙවිලා ගෙවිලා ගියා කියමුකෝ අපි ආයෙත් හම්බ උනේ 9 වසරේදී. ඒ කාලෙත් ඉතින් එහෙම්මම තමයි මතකද දන්නෙත් නෑ ටර්ම් ටෙස්ට් එකේදී ඒ කොනේ ඉදන් මේ කොනට කෑ ගහලා ඇහුවා කව්ද බන් නරිබෑනා ලිව්වේ කියල.

ආයෙත් හම්බුනේ 10 වසරේදී ඒ කියාස් ගේ යාලුවා වෙච්ච ඉරුවා ගේ මාර්ගෙන්. ඔන්න අපි ආයෙත් එකට. ඒ  එකම පන්තියේ නොවුනට සබ්ජෙක්ට් දෙකකදී හම්බ උනා.

එතනදිත් ඉතින් ආයෙත් කියන්න දෙයක් නෑ 7 වසරේදී වගේම තමයි. ඒ පුරවැසි වලදී. මොකද අපිට මුල් කාලේ හිටපු මිස් විශ්‍රාම ගත්තට පස්සේ අපිට උගන්නන්න ආපු මිස් කලේ නිදාගත්ත එක. ඔක්කොටම වැඩිය අපිට කිව්ව එකම දේ තමයි " මන් ඩිග්‍රී එක ගත්තේ පේරාදෙණියෙන් "

අපි ඡන්ද වියාපාරයක් කළා :) පාන් වල මිළ අඩු කරන්න කෑගහපු හැටි. ඡන්ද පත්‍රිකා  බෙදන්න ගිහින් පක්ෂ වලි දාගත්ත හැටි අමතක කරන්න බැරි මතක.

ඉතින් අපේ ගිම් තව සබ්ජෙක්ට් එකකදී හම්බ උනා කිව්වනේ ඒකත් ඉතින් මරු. ඒ ලෙවල් කාලෙත් ඒකටම ආවනේ ඉතින් මතකද පිස්සි වගේ නට නට ඇවිත් පුටුවෙන් ඉදගන්න ගිහින් ලෙස්සලා වැටුන හැටි?
තව අර වර්ක්ෂොප් එකේ ඉතුරු වෙච්ච සැන්ඩ්විච් කාලා අන්තිමට මට වග කියන්න උන හැටි ( යකෝ මට කෑල්ලක් වත් දුන්නේ නෑ තොපි)

ඉතින් ඔයින් මෙයින් ඉස්කෝලේ කාලෙත් ඉවර උනා. ඒත් යාළුකම ඉවර උනේ නෑ වෙන අය වගේ... තාමත් අපි යාළුවො. ඉරුවගේ බර්ත්ඩේ එක දවසේදී ආයෙත් හම්බුනා...

ඊට පස්සේ මන් ඉස්කෝලේ වැඩකට දවස් තුනක නිවාඩුවක් දාලා නොවැම්බර් 30 ගෙදර ආපු වෙලාවේ ගිම් මට කෝල් කරලා තිබුනා. ඉතින් මන් මොකද දන්නේ නෑ කියල මන් ආයේ ගත්තා.

මම- ගිම් මොකෝ කෝල් කරලා තිබුනේ
ගිම්- අනේ බන් මන් මේ කෝල් කලේ පොඩි දෙයක් කියන්න දැන් කොහෙද ගෙදරද ඉන්නේ?
මම- ඔව් මන් ගෙදර ආවා
ගිම් - ශා මරුනේ මන් මේ කතා කරන්න හැදුවේ ඔයා  එහෙ හිටියත් මන් මේක කියන්න ඕනේ. දැන් ඉතින් ගෙදර ඇවිත්නේ ඒ නිසා අනිවා මගේ බර්ත්ඩේ එකට අපේ ගෙදර එන්න ඕනේ හෙට හවස.
මම- ආ... හරි අනිවා මම එනවා

ඔන්න ඔහොම තමයි සංවාදේ සිද්ද උනේ.. ඒත් මට යන්න බැරි උනා. හේතු ගොඩක් එක්ක. ගිම් ට වැඩිය මට හිතට අමාරුයි ගිම්. මොනවා උනත් මගේ යාලුවනේ. හැමදේටම හිටියා. හිතුවේ නැති වෙලාවක හරි අපේ ගෙදරත් ආවනේ මන් 11 වසරේදී. මතකද?

පරක්කු වෙලා තමයි ඒත් කියන්නම ඕනේ

සුබ උපන්දිනයක් වේවා ගිම් .......



ගිම් චොක්ලට් කේක් කන්න කැමති නෑ :)




Sunday, December 15, 2013

බල්ලටම ගියා එහෙනම් ඈ.....

මෙන්න මෙහෙමයි ඉතින් අර කිව්වත් වගේ එහෙ ඉන්නකොට ගෙදර මතක් වෙනවා නැත්තෙමත් නෑ ඒත් හොස්ටල් ජීවිතේ පුදුමාකාරයි වෙලාවකට විවිධාකාරයි සම + හරක් වෙලාවට විෂමාකාරයි ( දන්නෝ දනිති) 
ඉතින් නිවාඩුවක් හම්බුන වෙලාවට ගෙදර ගෙනියන්න තියෙන හැම ලට්ට ලොට්ට ටිකම අර ට්‍රැවලින් බෑග් එකේ ඔබාගෙන ( වෙලාවකට ඉඩ මදි උනත් ඉතින් කරන්න දෙයක් නෑ කොහොම හරි ඒකටම තමයි දාගෙන එන්නේ) උදේ පාන්දර 2 ට විතර ඇහැරිලා බස් එකේ ඇඹරිලා තැලිලා පොඩිවෙලා කැරකිලා ( ලංකාවේ බස් ඉතින් වොෂින් මැෂින් වගේනේ ) පුළුවන් තරම් උදෙන් ගෙදර දොර ලඟට සම්ප්‍රාප්ත වෙන්නේ වෙන මොකටවත් නෙමෙයි කියාස්ගේ අම්මගේ මුණ බලාගෙන අම්මා උයපු මොනවම හරි ගිලලා ආයෙත් පොඩි නින්දක් දාන්න. 

ඔන්න ඔහොමයි කියලා මේ පාර කියාස් කුකුලත් අතේ අරගෙන(කියනවට කිව්වා මිසක් මන් ගෙනියයි කුකුලෝ, කුකුලෙක් කෙසේවෙතත් අර තඩි ට්‍රැවලින් බෑග් එක නම් තිබුනා) ගෙදර දොර ළඟටම ආවා කියමුකෝ. 

මම- ( ආදරණීය ස්වරයෙන්) අම්මේ මන් ආ...වා....
අම්මා - දොර ඇරලා තියෙන්නේ ඇරගෙන එන්න 

හපොයි මේ මොකද වෙනදට මොනවා උනත් ඇවිත් දොර අරින අම්මා. හා කමක් නෑ ඉතින් දොර ඇරගෙන ගේ ඇතුලට ගියා. හප්පේ ......... මේ මොකෝ මේ!!

අපේ ගෙදර බලු තඩියට අපේ අම්මා බත් කවනවා!

මම- මේ මොකෝ අම්මේ මේ?
අම්මා- මෙයා ඊයේ ඉදන් බත් කන්නේ නෑ 
මම- ඉතින් ? 
අම්මා- මන් කවනකොට කනවා 

මම- (ඇහෙන්න නෙමෙයි) හපොයි දෙයියනේ!

හා ඉතින් කමක් නෑ කියමුකෝ. මාත් ඉතින් මුණ හෝදගෙන ඇවිත් 

මම- අම්මේ මොනවද උදේට ඉව්වේ? 
අම්මා- ආනේ.... මට අමතක උනානේ මෙයාට විතරයි කෑම හැදුවේ. අනේ අදට විතරක් අර පාන් ඇති බටර් ට්කක් ගාගෙන කන්න. 
මම- හාකෝ ඉතින් 

හ්ම්ම් අනේ කාලේ ඉතින් මොනවා කරන්නද කියල පාන් පෙත්තක් හපන ගමන් මන් කල්පනා කලේ මේ බලු කුක්කා අපේ ගෙදරට ගෙනාව හැටි. 

කියාස් ගේ තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදරින් තමයි මේ කුක්කා ගෙනාවේ. ඒ වෙනකොට කියාස් 6 වසරේ විතර ඇති.මෙයා රිච්බැක්+ජ්ර්මන්ශේෆ්ර්ඩ් ලු අනේමන්දා ඉතින්.




තාත්තා වැඩ ඇරිලා ඇවිත් රෑ වෙලාවක තාත්තත් එක්ක බයික් එකේ ගිහින් ගෙනාව. එන ගමන් ඉතින් මේ කුක්කට දෙන්න කිරි පිටි ගන්න නැවැත්තුවා කියමුකෝ ෆුඩ් සිටි එකක් ලග. මොකෝ ඉතින් මුව මන් අර බඩු තියන රාක්කෙක තියල යන්නද ඔන්න ඔහේ යමු කියල මුව වඩාගෙන ෆුඩ් සිටි එකෙත් කරක් ගහලා ආවා.   

ඔන්න ඔහොම ගෙනාපු කුක්කා තමයි දැන් කකුල් දෙකෙන් හිටගත්තාම මගේ ගානට වගේ උස. අර ඉස්සර වගේ වඩාගෙන ෆුඩ්සිටි යන්න තියා වඩාගන්න හිතන්නවත් බෑ. හැබැයි ඉතින් මොනවා උනත් හොඳ එකා. ඌ ගැන කියන්න ගියොත් මේක හයිවේ එකටත් වැඩිය දික් වෙනවා. 

දැන් ඉතින් පාන් කෑවා කියමුකෝ. හප්පේ මෙන්න තියෙනවා සමපෝෂ පැකට් එකක්. අහා ! දෙන්නම්කො වැඩේ කියල අතට ගත්තා විතරයි අම්මා ආවා

අම්මා- හා හා ඕක කන්න එපා ඕක සුදු පුතාගේ 
මම- ඉතින් අම්මේ මමනේ සුදු පුතා 
අම්මා- නෑ නෑ මන් කිව්වේ බලු පැටියට 

මදැයි ඔය වෙලා තියෙන්නේ ඉතින් මන් නැති ටිකට මගේ නමත් බල්ලටම දීලා රෙජිස්ටර් කරලත් එක්ක. මන් ඉතින් පැත්තකට උනා සමපෝෂ සිහිනය බිදවැටුනා. 

අපේ එකා කන්නේ නෑ කියල අම්මා වැඩට යන්නේ නැතුව නිවාඩුවකුත් දාලා. බෙහෙතුත් ගෙනල්ලා. දෙයියනේ බතුත් කවනවා. ඒ මදිවට කැද හදලා, පෙඩිග්‍රී ගෙනල්ලා, සමපෝෂ ගෙනල්ලා. කවනවා කවනවා ආදරෙන් කතා කරනවා ( සුදු පුතේ මෙන්න ඔයාගේ ආසම කෑම පෙඩිග්‍රී) 

හනේ හපොයි මදැයි නිවාඩුවට ආව දැන් මට වෙන්නේ ඔය කොහෙට හරි වෙලා පෙඩිග්‍රී විස්කෝතුවක් හප හපා ඉන්න තමයි 

කියාස් බල්ලට ගියාද? නෑ.... කියාස්ගේ තැන බල්ලට දීලා.... 

Thursday, December 12, 2013

හුටා.........!

ඔන්න ඉතින් කාලෙකට පස්සේ කියාස් ආවා කියමුකෝ හප්පේ..........! කියල වැඩක් නෑ ලැපා ඕන් කළා කාලෙකට පස්සේ එයත් මට වෙල්කම් කිව්වා... ඉතින් මාත් ඔන්න වෙල්කම් කිව්වා ඈ... 

ආපු නැති මාස තුනට ඔලුව නිකම් කරකුට්ටන් වෙන්නම වේලිලා ගිහින් වගේ. ගෙදර නැති කාලේ ගොඩක් දේවල් වෙනස් වෙලා. වැඩිය කියන්න ඕනේ නෑ ගෙදර හිටපු බලු කුක්කට කියාස් ගේ අම්මා කියාස්ගේ නමින්ම කතා කරන්න පටන් අරගෙන " සුදු පුතා". ඒ කියන්නේ කියාස් බල්ලට ගිහින්ද? නෑ... කියාස්ගේ තැන බල්ලට දීලා!

කමක් නෑ කියාස් ඔව්වයින් සැලෙන්නේ නෑ කියාස්ට දැන් සාඩම්බර කාඩ් දෙක තුනක්ම තියෙනවා ;) 
හරි ඔන්න වල්පල් කියෙව්වා ඇති නැත්නම් මේක කියවන්න එන දෙතුන් දෙනාත් මට බැන බැන යයි :D 

ගෙදර ඇවිත් ඉතින් ඉන්නකොට මට මතක් උනා අපේ සයිකෝ සර් ව. ඒ කිව්වේ ඉතින් අපේ මනෝවිද්‍යාව සර් කියන එක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. මේ සර් අපිට ආපු පලවෙනි දවස......... 
එදා අපිව ඔක්කොම අඳුනාගන්න ඕනේ කියලා එක එක්කෙනා නැගිටලා තමන් ගැන අදුන්වලා දෙන්න පටන් ගත්තා කියමුකෝ...  මගේ නම, ගම ( ගමේ නම අහලා නෑ වගේ තේරුනොත් කොයි දිස්ත්‍රික්කේ ද) , ගෙදර ඉන්න කස්ටිය, එයාලා මොනවද කරන්නේ; ඔන්න ඔයාකාරයෙන් නා නාවිධ දේවල් කියන්න ඕනේ. 
ඉතින් ඔක්කොම ඔය ටික කියලා අන්තිමයට හිටපු කෙනත් කියල වාඩි උනා විතරය් දේශනේට තිබ්බ වෙලාව ඉවරයි. 

සර්- හරි ළමයි එහෙනම් අපි එන සතියේ හමු වෙමු.. ( එහෙම කියල සර් ගියා) 

ඔන්න ඉතින් ඔහොම වෙලා සති ගානක් ගෙවිලා ගියා. වැඩේ කියන්නේ සයිකෝ වලට නෙමෙයි සර් ආවේ. අපිත් ඔහේ සින්දුවක් කියාගෙන ඒ වෙලාව ගෙවලා දැම්මා. 

ඒත් ඉතින් ඔන්න එක සතියක අපේ සයිකෝ වෙලාවේදී මෙහෙම කතාවක් මතු උනා. 

1. මොකෝ බන් සර් ට වෙලා තියෙන්නේ?
2. අමතක වෙලාද බන්?
3. වෙන්න බෑ බන් එක දවසක් ආවනේ 
4. මෙහෙම ගියොත් එග්සෑම් එකට අපිට සයිකෝ පේපර් එක ඩෙස්ක් එක උඩ තියලා හීන ලෝකේ තමයි පා වෙන්න වෙන්නේ. 
5. එහෙනම් සර් ව හොයාගෙන ගිහින් කියමු 
6. හරි එහෙනම් යමු 

ඔන්න ඔහොම කියල සර් ව එක්කගෙන ආවා. සර් දැන් පුටුවෙත් ඉදගත්තා කියමුකෝ ( ඔව් බන් ඇත්තටම ඉදගත්තා)  

සර්- හරි ළමයි අපි දැන් ඔක්කොටම කලින් අපි අපිව අදුනාගමු. 

ඔන්න දැන් වෙනදා විදිහටම හැබැයි කෙටියෙන් කට්ටිය අදුන්වලා දුන්නා. 

සර්- ඔව් ළමයි අපි දැන් අපිව අදුනගත්තා. අපි මනෝ කරනකොට ඔක්කොටම කලින් අපි අනෙකා ව අඳුනගෙන ඉන්න ඕනේ. ඔන්න දැන් අපි එහෙම තමයි පාඩම පටන් ගත්තේ. 

අපි- සර් අපි කලින් ඕක කලානේ 

සර්- ආ එහෙමද ?! හරි එහෙනම් මන් ඉතින් අදනේ ඔයාලට ලෙක්චර් එකකට ආපු පලවෙනි දවස ඒ නිසා ඉතින් මන් ඔයාලව අදුනගන්න එපැයි 

අපි- සර් කලිනුත් සර් ම තමයි අදුනගත්තේ 

සර්- ඒ කියන්නේ මම කලින් ඔයාලට උගන්නලා තියෙනවද? 

අපි - ඔව් සර් 

සර්- එතකොට මම ද ඔයාලට මනෝ කරන්න දාලා තියෙන්නේ?

අපි- ඔව් සර් 

සර්- ආ මට මතක් නෑ නේ!!!!! 

අපි- ( ඇහෙන්න නෙමෙයි) හුටා! 




ප. ලි - පින්තූරය ඉස්සුවේ  අදිකාරමාගෙනි

  

Wednesday, December 11, 2013

බලා සිටිමි ...............

ජිවන පියගැටපෙළ 
ගලින් ගල තබා 
දිනෙන් දින 
වෙර වෑයමින් 
රත්තරන් දහදිය 
මුහු කර 
සාදා;
මුදු පා පොඩි 
තැලෙන්නට නොදී 
සුමට කොට 
වාරුවක් ලෙස 
අතින් අල්ලා 
පියගැටපෙලින් 
ඉහළට 
තවත් ඉහළට යන්නට
මහා ශක්තියක්ම වූ 
පියාණෙනි;
සිහිවනවිට අදටත් 
උණුසුම් කඳුළු බිඳු 
දෙකොපුල් මතින් රූරා ගොස් 
සුදු ඇක්ටේරියා පලස සිපගනිද්දී 
බලාසිටිමි මම ඈත 
නුඹගැබ දිදුලන එක් 
තාරකාවක් දෙස