Sunday, May 23, 2021

අධ්‍යාත්මික සුවය

 කාලෙකට පස්සේ කියාස් ආවා... මේ කොරෝනා කාලේ කරන්නත් දෙයක් නැතුව හෙන ගහන  හවස් වරුවක මනෝ ලෝකෙක තනිවෙලා සක්මන් කරන ගමන් ඉන්න වෙලාවක ඔලුවටම ගැහුව අකුණක් වගේ මතක් උනා දෙයි හාමුදුරුවනේ මට බ්ලොග් එකක් තියෙනවා නෙහ් කියල... කියන්න දෙයක් නෑ සියවස් ගානකට අතෑරලා  දාපු ගෙයක් වගේ භූත, පෙරේත, පිසාච බැල්මත් වැටිලා ඇති කියලත් හිතුනේ නැතුවාම නෙමෙයි... මොනවා උනත් මගෙනේ කියල බය සැක පැත්තකින් තියල තිබ්බා දකුණු කකුල බ්ලොග් එක පැත්තට... 


කොහොමින් හරි මා ප්‍රිය රසික රසිකාවියනි ..... හැමෝම පරිස්සමෙන් ගෙදර ඇති කියල හිතන ගමන් මන් කියන්න යන්නේ මට වෙච්චි සන්තෑසි තුනක් ගැන තමයි. වෙන කාටවත් නෙමෙයි මේ කියාස් වන මා හටම වෙච්චි හදි තමයි... තුනක් එකපාර මොකෝ කියල හිතන්නේ නැද්ද එතකොට? ඇත්තටම හිතෙන්වනේ? ඕන් මේ මටනම් හිතෙනවා... මේකයි කාරනාව වෙච්චි හදි තුනක් උනත් වස්තු බීජය එකයි.. ආන්නේකයි කාරණාව. තේරුනයි දැන්?

එහෙනම් ඔන්න පටාන් ගත්තා ඉස්සෙල්ලම වස්තු බීජය ......


අපි දෙයියනේ  කියල රස්සාවක් කරගෙන ජීවත් වෙන අයනේ බහුතරයක් ඉන්නේ නේද? නැතුව බෑනේ ඉතින් කොහොමද ජීවත් වෙන්නේ. පඩි හම්බවෙන දවස වෙනකම් ජීවිතේ ප්ලෑන් කරලා ගානට තියාගන්න එක කරන්න බැරි වැඩක් උනත් අපිත් දෙවිවරු වගේ වෙලාවකට ඒකත් සකලවිධ දහන්  ගැට දාලා අටවගන්න එක ටික කාලයක් යනකොට ඉබේටම පත්තියම් වෙන දෙයක්. ඔන්න ඔහොම වෙන එක සාමාන්‍ය රටාවකට යන දෙයක් පඩියක් අරගෙන ජීවත් වෙන අයගේ. ඉතින් ඔහොම අයගෙන් වෙනස් වෙන තව කොට්ටාශයක් ඉන්නවා මේ කතාවට අයිතිවෙන ඒ තමයි ලේසි සල්ලි හොයන අය ඒ කියන්නේ මේ ඔන්ලයින් අනම් මනං නෙමෙයි කෙලින්ම තියෙන එවුන්ගෙන් ඩිරෙක්ට් ගන්න එක. ඒ මොකක්ද්ද කිව්වොත් තේරෙන සිංහලෙන් පික් පොකට්!

ඉතින් මේ පලවෙනි සිද්දිය වෙන්නේ කියාස් නමෝ විත්තියෙන් රස්සාවට ගිහින් අවුරුද්දක් ගෙවිල ගිය වෙලාවක ඒ කියන්නේ 2017 දී. එදා හරියටම ඔක්තෝම්බර් 6 වෙනිදා කියාස්ගේ අම්මගේ උපන්දිනේ දවසේ. මේ වෙනකොට කියාස් සෑහෙන අරපරිස්සමෙන් තමයි ජීවත් උනේ. වැඩි වියදම් කිසි දෙයක් නැති ජීවිතයක්. ඒ දවස් වෙනකොටම වගේ කියාස් වැඩ කරන තැන ලොකු උත්සවයක් ඕගනයිස් කරනගමන් තිබුනේ කියාස්ටත් සෑහෙන වැඩ කන්දරාවකට ඇත ගහන්න වෙලා ඒ නිසාම කියාස්ගේ නමින්  රුපියල් 30000ක වවුචරයක් දාලා සල්ලිත් ගන්න උනා. දවල් කාලේ එහෙට මෙහෙට දුවලා අදාළ තැන වලට ඕඩර් කරපු දේවල් වලට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරලා හරියටම 30000න් 15000ක් ඉතුරු වෙලා තිබුනා අතේ. ඒ දුවන අතරම ඒටීම් එකකට ඔලුව දාලා අම්මට රස්සාවකට ගිහින් අරන් දෙන පලවෙනි උපන්දින තෑග්ග විදිහට ටිකක් ලොකු දෙයක් අරන් දෙන්න ඕනේ කියල හිතලම එකවුන්ට් එකෙන් 15000ක් ගත්තා. ඔන්න ආයේ මන් ළඟ 30000ක් තියෙනවා. 


ඉතින් හවස වැඩ ඇරිලා එන්න කෝච්චියට දුවන්න කලින් ටිකට් එක ගන්න රුපියල් 20ක් එළියේ පොකට් එකට ඔබලා බෑග් එක වහල එතන ඒ වෙනකොට මාත් එක්කම වැඩ කරන මිස් කෙනෙක් ගාවින් තියල කිව්වා මං අත්සන් කරලා එන්නම් පොඩ්ඩක් බෑග් එක බලාගන්න කියල. 

" හරි පුතා මන් බලාගන්නම් ගිහින් අත්සන් කරලා එන්න...." 


පුතා කිව්වේ ඇත්තටම එතන හිටපු සීනියර් කෙනෙක් එයා ඉතින් කියාස් පුතා ගානට තමයි දාල තියෙන්නේ. 


ඔහොම අත්සන් කරලා ඇවිත් කියාස් බෑග් එක අරගෙන ඔරේ රන් එකක් තිබ්බා මරදාන ස්ටේෂන් එකට. ත් වෙනදා වගේ එළියේ පොකට් එකේ දාපු රුපියල් 20 ගන්න කලින් බෑග් එක වෙනස් වගේ දැනුන නිසා හිතේ සැකේට ද මන්දා බෑග් එක බලන්න ඕනේ කියල හත්තිලව්වයි අත්සන් කරන්න කලින් වහපු බෑග් එක ඇරලා බලද්දී පර්ස් එක නැහැ!


ඔන්න ඒ වෙලාවේ තමයි තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලා මතක් වෙලා හීන් දාඩිය දැම්මේ.! 

එහෙම්මම වෙන මොකවත් නෙමෙයි බැලුවේ මගේ පර්ස් එක. වෙන මොනවා නැතිවෙන්නද පර්ස් එක නෑ....

හරිනේ?

දෙයියනේ 30000ක් ! 

කාට කියන්නද? 

මොකද කරන්නේ ?

 කොතනින්ද හොයන්න පටන් ගන්නේ? 


ඔන්න ඒ වෙලාවේ ඔලුවට ආපු දේවල්.. ඔච්චරක් නෙමෙයි ඔලුවට ආවේ. දාහක් දේවල් මතක් උනා 


ආපස්සට පාර දිගේ ගිහින් ඇති වැඩක් නෑ වෙලාවේ හැටියට එහෙම්මම ස්ටේෂන් එකේ  කෝල් එකක් ඔෆිස් එකට. අරන් මන් හිටපු තැන් වල බලන්න කියල මාත් එක්ක වැඩ කරන මගේ ෆිට් එකට කිව්වා. විනාඩි 15ක් විතර බලන් හිටියා පොර මට කෝල් කරනකම්.. කියල වැඩක් නෑ ඒ වෙලාවේ මන් ඉවසුවද නැත්නම් මගේ සිහිය  කියල. 


ඔෆිස් එකේ සල්ලි මට අතින් වෙනවා 15000ක්... අම්මගේ උපන්දින තෑග්ග? ඒ අස්සේ මගේ සර්විස් අයිඩී එකේ ඉදලම තිබ්බ දේවල් දෙය්යෝ මන් මොකක්ද්ද කරන්නේ කියල හිත හිත ඉන්නකොට පොර කෝල් කරලා කිව්වේ මොකක්ද්ද? 


" අනේ සොරි බං... මන් උබ කියපු තැන වල විතරක් නෙමෙයි මුළු ඔෆිස් එකේම බැලුවා බං... හම්බුනේ නැහැ..." 


දැන් ඉතින් මක් කරන්නද අතේ තියෙන්නේ රුපියල් 20ක් විතරයි.


එහෙම්මම මනෝ විකාරෙන් වගේ කෝල් කළා බැංකුවට මගේ කාඩ් එක කැන්සල් කරන්න. ඊට පස්සේ  පොලීසියට  ගියා. වැඩි දුරක් නැහැ ස්ටේෂන් එකට එහාපැත්තෙ තමයි පොලිස් ස්ටේෂන් එක තියෙන්නේ. 


ඉතින් මන් දැන් ඔන්න එන්ට්රී එක ලියන කොන්ස්ටපල් ඉස්සරහ  දිගාරිනකොටම එතනට ආපි තරුණ එස්.අයි කෙනෙක්. කොහොමින් හරි දැන් අර එස්.අයි කොන්ස්ටපල් ට වැඩක් පවරන සීන් එකක් යන්නේ. මට දැන් මල විකසිත වේගෙන එනවා. යකෝ එතකොට මගේ එන්ට්රී එක  උදේටද?


එතකොටම වගේ මන් හිතපු දේ මගේ කටෙන් පිටවුනාද මන්දා ඒ එස්අයි මගේ දිහා බලලා 

"මෙයා ඇයි.... ?"

එතකොට කොන්ස්ටපල් 

"සර් එන්ට්රී එකක් දාන්න කියල..."

"ආ... ලිව්වද?..."

"නෑ .. සර්"

"හරි.. මන් ඒක ලියන්නම්... ගිහින් මන් කිව්ව වැඩේ බලන්න...." 


ඔන්න ඉතින් ඒ දෙන්නා මාරු උනා දැන් එස්අයි සර් මං ඉස්සරහ පෑනත් අරගෙන පොතේ පිටු පෙරලන ගමන් අහනවා..


"මොනවා සම්බන්ධව ද දැන් පැමිණිල්ල...?"

"සර්... මගේ පර්ස් එක නැති වෙලා... චෙක් උනේ ඔෆිස් එකේ ඉදන් ස්ටේෂන් එකට ආවාම... ඔෆිස් එකේ බැලුවා... තිබුනේ නෑ.. එකයි එන්ට්රී එකක් දාන්න ආවේ .."

"හ්ම්ම්ම්... මේ වෙලාවේ ඉතින් දන්නවගේ පික් පොකට් ආරයෝන්ගෙන් ගැලවෙන්න ලේසි නැහැ... බෑග් එකේද තිබුනේ...?"

".ඔව් සර්... එත් මන් බෑග් එක වහල තිබුනේ.. එකයි ප්‍රශ්නේ..."

" එහෙනම් පික් පොකට් ගැහුවා වෙන්න බැහැ වගේ... පර්ස් එක ගත්තට පස්සේ බෑග් වහන්න යන්නේ ..නැහැනේ .... කෝකටත් බලන්න හෙට දවසෙත් ආපු එකේ දැන් කොහොඅත් එන්ට්රී එක ලියමු... පළපුරුදු එකෙක් ඔය වැඩේ කළා නම් සල්ලි නැතත් ඉතුරු ලියකියවිලි ටික හරි තැපැල් කරලා එවනවා... අයිඩී එහෙමත් තියෙන්න ඇතිනේ... ආයේ හදාගන්න යන්න හදිස්සි වෙන්නේ නැතුව සතියක් විතර බලමු... හරි මට විස්තරේ කියන්න..." 


එහෙම කියල එසඅයි මහත්තයා පෑන පිටුව උඩින් තියාගෙන  හරිබරි ගැහිලා මගේ විස්තර දැන් එකින් එක  ලියාගෙන .. යනවා.


" දැන් මොනවද පර්ස් එකේ තිබුනේ...."

" මුදලින් රුපියල් 30000, ජාතික හැදුනුම්පත, සේවා හැඳුනුම්පත, විශ්වවිද්‍යාල හැඳුනුම්පත, ආදිශිෂ්‍ය හැඳුනුම්පත, බැංකු කාඩ් එක, රියදුරු බලපත්‍රය, පෙන් එක....."


මං ඉතින් ඔය ටික කියාගෙන  යද්දී මේ මනුස්සයා මන් දිහා බැලුවේ ඇයි යකෝ තව  හට්ටි මුට්ටි වලං පිඟන් ටිකකුත් තමුසෙට ඕකට ඔබා ගන්න බැරි උනාද කියල  වගේ. මොනවා උනත් එන්ට්රී එක ලියල මගේ අයිඩී ටික හදාගන්න ඕනේ පිටපත් ටිකත් ෆොටෝකොපි කරලා සහතික කරලා දීලා මගෙන් අනිත් පැත්තට ඇහුවේ රාජකාරියට එහා ගිය මනුස්සකමින් පිරුන ප්‍රශ්නයක්. 


" දැන් ගෙදර යන්න සල්ලි තියෙනවද....?"


ඇත්තටම ඒ වෙලාවේ හිටිය මානසික මට්ටමත් එක්ක ඒ ප්‍රශ්නෙත් හිතට පුදුමාකාර හැගීමක් ගෙනාවේ. 

කොහොමින් හරි එන්ට්රී එක දාලා සතියක් බැලුවා මොන පිස්සුද පර්ස් එකේ තිබ්බ බිලක් වත් ආවේ නෑ.


ඉතින් හිත හදාගෙන ඔක්කොම දේවල් ටික හදාගත්තා මගේ අතින් ඔෆිස් එකට ගෙවන්න උනා ඔක්කොම පාඩුව මගේ 30000ට වැඩි උනා මිසක් අඩු උනේ නෑ  නිවාඩු වලටත් එක්ක. 


ඇත්තම කිව්වොත් මේ දේ උනේ විශ්වාසෙ නිසා එදා මං අත්සන් කරලා ඇවිත් බෑග් එක බලලා එලියට ආවනම් කියල අදටත් හිතෙනවා. කරන්න දෙයක් නෑ එකට වැඩ කරන්න ඉන්න මිනිස්සුත් එක්ක ප්‍රශ්න දාගන්න බැරි නිසා කට වහගෙන ඉන්න උනා මිසක්. එදා ඉදන් ඒ මිස් උනත් මාත් එක්ක වැඩිය කතා බහකට ආවේ නැති එක ගැන ඉතින් මට හිතන්න දෙයක් නැත්තෙමත් නැහැ... ඕක තමයි නන් ඔෆීෂියල් පික් පොකට් ප්‍රහාරය කියාස්ගේ ජීවිතේ පලවෙනි පික් පොකට් අත්දැකීම. 


කතාව දිග වැඩි උන නිසා පිළිවෙලට දෙවෙනි තුන් වෙනි සිද්ධි වෙනම දාන්නම්... ටූ බී කන්ටිනිවූ... ස්ටේ විත් මී... කතාවක් කියවගෙන කමෙන්ට් එකක් දාලා මේ දවස් ටිකේ පරිස්සමෙන් ඉන්න හැමෝම.... 










 


No comments:

Post a Comment