Monday, February 18, 2013

තනි හිත.....................




පැය ගානක් තිස්සේ හිතේ තිබුන දුක කියලා තවත් ඉවර උනේ නෑ වගේ හිටියට එයා කතා කලේ නෑ... මන් එයාගේ මුණ දිහා බැලුවේ ඇයි කතා කරන්නේ නැත්තේ කියලා අහන්න. ඇස් දෙකෙන් එලියට පනින්න ඔන්න මෙන්න තියෙන කඳුළු බින්දු දෙක පිහදාන්න කියලා මන් හැරෙන්න හැදුවත් හිත කිව්වා ඒ කඳුළු වලට ගලාගෙන යන්න ඉඩ දෙන්න කියල...

“එයා ඇයි මට මෙහෙම කලේ... ?”

ඇය එසේ කියමින් ඉකි ගසමින් අඩන්නට වූවාය. මම මුනිවත රකින්නට වීමි.

“ සැබෑ පෙම්වතුන්
කිසිදාක එක නොවේ
එක වූ කිසිවෙකුත්
සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ...
වෙන් වී ගියවුන්
සදාකල් පෙම්වතුන් ලෙස ජීවත් වේ ......”

මෙහෙම දෙයක් කොහේ හරි මන් කියවලා තියෙනවා කියල හිතුනට මන් එයාට කියන්න ගියේ නෑ.

මොකද කියනවනම් ....

“ඔයාට මගේ දුක තේරෙන්නේ නෑ ... ආදරේ කරන්නම ඕනේ මේ දුක කොච්චරද කියල තේරුම් ගන්න... ඔයාට වගේ ගල් හිතක් මට නෑ ...”

කියල.  මේ දේ ආයෙත් තව කෙනෙක් ගෙන් අහගන්න තරම් හිතට වාරුවක් ගන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. අද මන් ඇය එක්ක දුක බෙදාගන්න ඉන්නවා වගේ එදා මගේ ලගින් ඉන්නවත් කව්රුත් හිටියේ නැති එකට මට දුක හිතුනේ නෑ ඒ ලැබීම වෙන්න ඇති මන් ඒ වෙනකොටත් හිත හදාගන්න වෑයම් කලේ එහෙම හිතාගෙන.  ඒ අතීතෙට මාව ඉබේම වගේ ඇතුල් උනා. මන් ළඟ හිටපු එයා ගැන හිතන එක මට අමතක උනා...

අපි අන්තිමටම හම්බුන දවස ....

“ හසී.. මන් තීරණයක් ගත්තා....”

“මොකක් ගැනද...?”

“අපි දෙන්නා ගැන හසී...”

“ අපි දෙන්නා ගැන මොකක්ද....”

“ අපි ගැලපෙන්නේ නෑ හසී.. ඔයා හොඳ කෙල්ලෙක් .. ඒත් මන් වගේ කෙනෙක්ට ඔයාගැලපෙන්නේ නෑ ... “

“මොකක්ද ඒ කිව්වේ..මට තේරුනේ නෑ .. ඇයි ඔයා එහෙම දෙයක් දැන් කියන්නේ...?”

“ අපි වෙන් වෙමු හසී.. දැන් තේරුම් ගන්න බැරි උනත් කවදා හරි ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි මන් අද ගත්ත තීරණේ හරි කියල...”


“හ්ම්ම්....”

“ඇයි තමුසේ හ්ම්ම් කියන්නේ...? තමුසේ වගේ ගල් හිතක් තියෙන කෙල්ලෙක් මන් දැකල නෑ ජීවිතේට...”

මන් තිගැස්සුනා ඒ ආවේගෙට .... මට අඩන්න හිතුනේ නෑ.... හිත ඊයම් බරු එල්ලලා වගේ ..... බර වෙලා කඩන් වැටෙයි කියල හිතෙන තරමට .... ඇයි මට මෙහෙම කියන්නේ ....?  අපි වෙන් වෙමු කිව්වම මන් එයාගේ කකුල් දෙක පාමුල වැටිලා මාව දාලා යන්න එපා කියලා අඩන්න ඕනෙද?

“හසී හසී.... ඇයි ඔයා කතා නැත්තේ...? “

“අහ්හ්........ න්..නෑ .. මන් ටිකක් කල්පනා කළා...”

“ වැඩක් නෑ හසී එයාට මාව එපා නම් මන් අඩන එකේ තේරුමක් නෑ මන් හිත හදාගන්නවා...”


Thursday, February 14, 2013

බෝට්ටු පැදීම .....


ඔන්න ඉතින් ගෙදරට වෙලා කල්පනාවක් දාගෙන ඉන්නගමන් කියාගන්න බෑ ට මතක් උනා ඉස්කෝලේ ගිය කාලේ.... ඒ ලෙවල් කරපු කාලේ තමයි කියාගන්න බෑ ටිකක් වැඩිපුර පිස්සු නැටුවේ. ඒ වගේම තමයි කියාගන්න බෑ ගිය ටියුෂන් ක්ලාස් ටිකත් ඔන්න ඉතින් ඔහොම කියනකොට හිතන්න එපා කියාගන්න බෑ ක්ලාස් ගිහින් තියෙන්නේ පිස්සු නටන්න විතරයි කියල හරිය?

ඔන්න ඔහොම කල්පනා කරගෙන යනකොට මට මතක් උනා අපේ යසිත් සහෝදරයා ට බස් එකක් අයිති උන සිද්දියක් ගැන කියලා තිබුනා. ඒ වගේ ටිකට් සිද්දියක් දවසක් මේ කියාගන්න බෑ ටත් උනා ක්ලාස් ගිහිල්ලා ගෙදර බලා යනකොට. 





මන් ඉතින් මහරගම බස් ස්ටෑන්ඩ් එකටම ගිහින් බස් එකකට නගින්නේ අයිනේ ශීට් එකක ඉඳගෙන් වටපිට බල බල යන්න තියෙන ආසාවටම තමයි. ශටර් එක පුළුවන් තරම් ඇරගන්නවා ඔලුව එලියට දාගෙන යන්න පුළුවන් සයිස් එකට. ඔන්න ඒක මගේ එක විනෝදාංශයක් තමයි. එදත් එහෙම  බස් එකට නැගලා ශටර් එක හොඳට ඇරගන්න පුළුවන් ශීට් එකකින් වාඩි වෙලා පොඩි කල්පනාවක් දාගෙන ඉන්නකොට බස් එකේ කොන්දා මාමා ආවා ටිකට් දෙන්න. ඉතින් ඔන්න දඩි බිඩි ගාලා බෑග් එකට ඔලුව ඔබලා ටිකට් ගන්න සල්ලි හොයාගත්තා. ඔන්න කොන්දා මාමා මන් ලඟට ආවාම ඉතින් මාත් සිලින් බිලින් ගාලා මගේ අතේ තිබුන රුපියලේ , දෙකේ, සත පනහේ කාසි ටික කොන්දා මාමාගේ අතට හැලුවා.

පන්සලේ පින් කැටේ කඩපු එකා අහු උනා කියන්න වගේ බැල්මක් දාලා කොන්දා මාමා මට ටිකට් එකක් කඩලා දුන්නා. ඉතින් ඔහොම කල්පනා කොර කොර ඉන්නකොට ඉබේම වගේ අතේ තිබුන ටිකට් එකෙන් මන් හැදුවා බෝට්ටුවක්. 



 ඉතින් දැන් බස් එක යනවලු... ලංකාවේ බස් ඉතින් යන්න පටන් ගත්ත වෙලා වේ ඉදන් අඩුම තරමේ විනාඩි 15 ක් වත් යන්නේ හන්ගොල්ලා ව අනුස්මරණය කරමින්නේ. හරි ඉතින් ඔහොම යන්කෝ කවද හරි ගෙදර යයිනේ කියලා හිත හදාගෙන බස් එකෙන් එලිය බලාගෙන හිටියා.ඔන්න ඉතින් එක පාරට ටිකට් දෙන්න ටිකට් දෙන්න කියලා කව්ද කෑ ගහනවා. යකෝ හරිනම් කියන්න ඕනේ ටිකට් ගන්න සල්ලි දෙන්න කියලනේ ?! මන් ඉතින් කල්පනා කලේ අපේ ඩ්‍රයිවර් මාමා ගහපු බ්රේක් පාරකට කොන්දා මාමා කොහේ හරි ගිහින් ඔලුව හප්පගෙන පැත්ත මාරු වෙලා වෙන්ට ඇති කියලා.

ඔන්න ටික වෙලාවකින් මගේ කන ලගිනුත් ඇහුනා ටිකට් දෙන්න කියනවා වගේ. ඉතින් මන් ඒ පැත්තට ඔලුව හැරෙව්වේ ඇයි යකෝ ටිකට් ගත්තේ කියන්න. හප්පේ හොඳ වෙලාවට කිව්වේ නැත්තේ. බොලේ මේ ටිකට් ඉල්ලන්නේ කොන්දා මාමා නෙමෙයිනේ ටික්කා මාමා කෙනෙක් නොවැ !

හුටා! මන් ටිකට් එකෙන් බෝට්ටුවක් හැදුවනේ.  මේ පාරනම් විනාසයි තමයි දඩ ගෙවන්න තියා ටොපියක් කන්නවත් රුපියලක් තිබ්බේ නෑ ඒ වෙලාවේ. කලබලේට බෝට්ටුව ලේහාගන්නවත් බෑ හයියෝ....

ඉතින් අර ටික්කා මාමා ත් මාව ගිලින්න වගේ බැල්මක් දාගෙන ඉන්නවා මන් ටිකට් එක දෙනකම්. ඔන්න ඔහේ කමක් නෑ කියලා මන් ඉතින් අර බෝට්ටුව ටික්කා මාමා ට දුන්නා.

“මේ මොකක්ද...?”

“ටිකට් එක...”

“ හහ්හ් ... හහ්හ් ... හා.... කම්මැලි කමටද ටිකට් එක දුන්නම බෝට්ටු හදන්නේ...”

හයියෝ හෙන චාටර් ය. බස් එකේ සියල්ලෝම ටිකට් නැතුවම සජීවී වේදිකා නාට්ටිය නරඹති. කුමක් කරන්නද නරක කලට...? 



එහෙම ඉතින් යාන්තම් ටිකට් ප්‍රශ්නෙන් බේරුනා විතරයි මන් ළඟ වාඩි වෙලා හිටපු කොල්ලෙක් මෙන්න මෙහෙම් අහනවා


“ නංගී ඔයාගේ නම මොකක්ද...? මට දැකලා පුරුදුයි ඒකයි ඇහුවේ ”

මේ මොන දෙබසක්ද

“ ආ මගේ නම ඔයාගේ අක්කා ගේ නමට අකුරක් වැඩි උනාම එන නම... මන් ඔයාව දැකලා නෑ...”

දෙබස ඉවරයි...
  
මන් ආයෙත් සුපුරුදු පරිදි බස් එකෙන් එලිය බලාගෙන හිටියා....




Monday, January 28, 2013

කියාගන්න බෑ ගේ ගම්පහ ආගමනය ...






ඔන්න ඉතින් මන් කියන්න හදන්නේ නම් මේ ඊයේ පෙරේදා ඒ කිව්වේ ඉතින් හරියටම කියනවනම් ජනවාරි 27 තිබුන අපේ බ්ලොග් යාළුවොන්ගේ ගෙට්ටුව ගැන නෙමෙයි මොකද ඒක ගැන කියන්න මන් ඒකට අන්තිම මොහොතේ ගියේ නෑනේ. ආපු නැති එකට ඉතින් මාත් එක්ක  “ මතක වස්තුව ” තරහ වෙලා ....

 “ඔයා කීයට හරි එන්න වෙන්නෙ නෑ කියල මැසේජ් එකක් දැම්ම නම් දුක නෑ... මම කෝල් කරල ගෙන්නවගත්තු කීප දෙනෙකුත් බෑ බෑ කිය කිය හරි ආවම මෙච්චර බලාපොරොත්තුවෙන් හිටපු ඔයා අවෙ නැති එකට මට ගොඩක් දුකයි..”

ඔන්න ඔහොම තමයි මගේ දැකපු නැති අක්කණ්ඩියා:D  මට දොස් කිව්වේ. මාත් ඉතින් හෙන ශෝක මුඩ් රිප්ලයි එකක් යැව්වා එත් ඒකට නම් තාම උත්තරයක් නෑ.

දැන් ඉතින් කියන්න යන කියාගන්න බෑ ගේ ගම්පහ ආගමනය සිද්ධ උනේ එකෝමත් එක කාලෙක කිව්වොත් හරි ඒ කියන්නේ 2010  ඔක්තෝම්බර් 03 වෙනිදා. එහෙම එන්න  උනේ  අපිට ඉස්කෝලේ ඒ ලෙවල් වලට සිංහල උගන්වන්න ආපු සර් කෙනෙක් . සර් ගැන මතක් උන එකේ ඉතින් සර් ගැන ටිකක් හරි නොකියා හිටියොත් හරි නෑ නේද කියල ඉතින් මන් මෙහෙම පොඩි හැදින්වීමක් කරන්න හිතුවා....

අපේ සිංහල සර් වනාහි සමාජ සේවාවට ඉතා ලැඳියාවක් දක්වන්නෙකි. පාසලේ අවුරුදු උත්සවයක්, ක්‍රීඩා උත්සවයක් ,බණක්, දානයක්, මළගෙදරක් වැනි කටයුතු වලදී ඉතාමත් වෙහෙස වී වැඩ කටයුතු සදහා සහාය වන්නෙකි. එහෙත් අවාසනාවට පන්ති කාමරයේදී අහෝ ඛේදයකි ! ඇත්ත වශයෙන්ම අපේ සර් සමාජ සේවා කටයුතු කෙරෙහි කෙතරම් නැඹුරුතාවක් දක්වන්නේද යත් අප වැනි පෙර පව් කොට මෙම පන්තියට වැටුණු අහිංසක අසරණයින් රොත්තකට උගන්වන්නට තිබෙන බැව් ඔහු හට මතකයට නැගෙන්නේ මසකට දෙතුන් වතාවක් පමණි.   එසේ හෝ මතක් වූ දවසට අප හට අබ සරණය! එසේ වන්නේ දුක් විද ටියුෂන් පන්තියකට රිංගා මාසයක් පමණ ගෙන සම්පුර්ණ  කරන පාඩමකට අපේ සර් ගත කරනුයේ එක් පරිච්චේදයකිනුත් හතරෙන් එකකි.

ඒ මොනවා උනත් අපේ පන්තියෙන් සමහරක් සර් පිලිබදව ඉතා පහන් සිතිවිල්ලෙන් සිටියෝය. ඒඅතරින් වාසි අතට හෝයියා පිරිස හෙනට සිටියෝය වෙන මොකටද පේපරේට ලකුණු ටිකක් වැඩිපුර දමා ගැනීමට මෙන්ම දෙමාපිය රැස්වීමේදී සර් ගෙන් ප්‍රශස්තියක් ගායනා කරගැනීම පිණිසය. තව පිරිසක් සිටියෝය එක එක නොසන්ඩාල වැඩ හෙවත් පොදුවේ කියන පරිදි දඟ වැඩ කිරීම නිසාවෙන් සර් ගේ මෙමරියේ සනිටුහන් වූ දඟ කාරයෝය. කියාගන්න බෑ මේ කිසිවකටත් අයිති වුයේ නැත. එය වෙලාවකට කියාගන්න බෑ ගේ නරකටද හිටියේය. ඒ දෙමාපිය රැස්වීම් වලදී සර්  කියාගන්න බෑ ගේ මව් තුමිය හට සෑම විටම කිව්වේ එකම ගාථාවකි “ මෙයාටනම් එස් එකක් තමයි”.  ඒ ලෙවල් කර ප්‍රතිපල කියනා තුරු හා ඉන් පසුවද කියාගන්න බෑ ගේ නම සර් හට නම මතකම නැත්තේය. 


ඔන්න ඔහොම ඉන්නකොට ඉතින් ඒ කියන්නේ අපි ඒ ලෙවල් කරන්න පටන් ගත්ත අවුරුද්දේ සැප්තැම්බර් මාසේ අපේ සිංහල සර් ගේ තාත්තා නැති උනා. ඉතින් දැන් මොනවා කරන්නද මල ගෙදරවත් යනවා කියලා කස්ටිය කතා වුනා ඉතින් ඔක්කොම හා කියලා හොයලා බැලුවා කොහෙද මල ගෙදර තියෙන්නේ කියලා.

“ හප්පේ මළගෙදර යන්න වෙන්නේ නෑ බන්.....”

“ ඇයි මොකෝ වෙලා තියෙන්නේ....?”

“ මලගෙදර තියෙන්නේ ගම්පහ ලු....”

“ හුටා...!”

ඉතින් ඔහොම කිව්වා විතරයි මුළු පන්තියම යන්න ලැස්ති වෙලා හිටපු මළගෙදරට යන්න ඉතුරු උනේ 8 දෙනයි. කමක් නෑ සැලෙන්න එපා අපි යමු කියල ඉතින් ඔන්න පටන් ගත්තා මිෂෝන් එක... කොහොමින් කොහොමින් හරි අපිට සතියේ දවස් වල මළගෙදර යන්න ගෙවල් වලින් අවසර හම්බුනේ නෑ කියමුකෝ. ඒ අස්සේ මල ගේ ත් ඉවර උනා. දැන් ඉතින් මොනවා කරන්නද දානේට වත් යනවා, ඔන්න ඔහොම ඉන්නකොට අපේ කස්ටිය යන්න සෙට් උනේ සෙනසුරාදා දවසක එනම් 03 වනදා ය. හරි එහෙනම් කට්ටියම 9ට කොටුවට එන්න.

ඔන්න ඔහොම ඉතින් මගින් අහුලගන්න පුළුවන් උන දෙන්නෙක් එක්ක කියාගන්න බෑ ත් කොටුවට ගියා. උදේ 9 යි ගානට උනත් අපේ දිගා හිටියා සුපුරුදු පරිදි කුඩේකුත් ඉහලගෙන. කට්ටිය ගණන් කරලා එහෙම එක්කෙනාට 25 ගානේ ටිකටුත් අරගත්තා කියමුකෝ ඊට පස්සේ හෙන ගේමක් දුන්නා කෝච්චිය එන්නේ මොන වේදිකාවටද කියලා හොයා ගන්න. මොකද ඉතින් අර දුම්රිය ඉස්තානේ ඉන්න නිවේදකයෝ කියන එකේ අනිත් පැත්ත නේ වෙන්නේ.

හරි ඔන්න දැන් අපි ගම්පහට ආවා. මිෂන් 2 . සියඹලාපිටිය බස් එකක් හොයාගෙන එයට නැගීම. ඔන්න ඉතින් ඒකත් සාර්ථක කරගත්තා. කට්ටිය ඉතින් ටිකට් අරගෙන ඉන්නවා බස් එක යනවා. අපි ඉතින් මළගෙදර යන කට්ටියනේ. ඒ උනාට තාම යන ගමන් නිසා අපේ කට්ටියට සින්දුවක් නොකියා ඉන්නම බැරි උනා. ඔන්න බහින්න ඕන තැනටත් ආවා බස් එක නතර කළා අපේ කට්ටිය බහිනවා . අපි බස් එකෙන් බැස්ස විතරයි බස් එක හිස් තව ඉන්නේ මිනිස්සු 4 දෙනයි ඒ හතරදෙනත් ඔළුගෙඩි එලියට දාගෙන අපි දිහා බලනවා. කමක් නෑ බලපුදෙන් කියලා අපි ගමන ආරම්භ කොලා. හප්පේ යනවා යනවා ඉවරයක් නෑ යන පාර අහන්න කෙනෙකුත් නෑ . සර් ට කෝල් එකක් දෙන්න විදිහකුත් නෑ සිග්නල් එක කණුවක් වත් නෑ. ඉතින් ඔහොම පයින් ගෑටුවා කියමුකෝ. හප්පේ ඔන්න මනුස්ස පරානයක් හම්බුනා. එයාගෙන් ඇහුවාම කියපි ආ තව ටිකක් දුරයි ඔහොම්මම කෙලින් පාර.

හප්පේ ඇවිද්ද ඇවිදිල්ල කියාගන්න බෑ ඉස්සෙල්ලම බැලුවේ කකුල් දෙක ගෙවිලද කියල පෙර පින් මහිමයෙන් එහෙම වෙලා තිබුනේ නෑ. ඔන්න ඉතින් සර් ආවා.

“ කට්ටියට මහන්සිත් ඇතිනේ...? ආ මේ දිගා ත් ඇවිල්ලා ඉන්නේ .. ආ සෝඩියම්... ආ නද්දා... ( හැමෝම අඳුර ගන්න අතරේ අන්තිමට වත් ඉතින් කියාගන්න බෑ ගේ නම කියවුනේ නෑ ලු..) ඉතින් බස් එකෙන් බැහැපු ගමන් කෝල් එකක් දෙන්න තිබුනා නේ මන් වාහනයක් එවනවනේ...”

ඒවායින් වැඩක් නැත ඉතින් දානේ හෙට නිසා දානෙට කරන්න උනේ ඉවුම් පිහුම් වැඩ වලටයි වත්තේ වැඩ වලටයි උදවු උනා කියමුකෝ කස්ටියම. එහෙම උදවු වෙලා 4 ට විතර එන්න ආවා. එදා එනකොට කියාගන්න බෑ ට ඉතින් අර ගම්පහ ඉස්ටෙශන් එකේ පාලම අදටත් අමතක කරන්න බෑ ලු.. ආ තව කොටුව පැත්තට යන්න ටිකට් අරන් ඉන්නකොට එහා පැත්තේ තියෙන වේදිකාවත් අමතක වෙන්නේ නෑ ලු... ;)

එහෙම තමයි කියාගන්න බෑ ගම්පහ ආවේ. ආවා ආවම තමයි ආයේ ඒ පැත්තට ගියේ නෑ. මේ 27 යන්න හිටියට එකටත් හෙනහුරා ලැබුවා. ඒකනම් කියාගන්න බැරි හෙනෙම හෙන දුකක් උනා.  

Sunday, January 27, 2013

හිස් කොලය...........


මැදියම් රැයත්  ගෙවී ගොස් ය . මගේ චිත්ත සන්තානය තුල කැළඹෙන ඇඹරෙන පෙරලි කරන්නාවූ අදහස් තුලට නිදිමත කාන්දු නොවූ සැටියකි. හිත පෙරලි කරන සැටියට මරණය සැපතකි. එක්වරම කිසියම් ආකල්පයක් විත් අඳුරු කාමරයක සිටියදී එකවරම ආලෝකයක් එල්ල වූවාක් වැනි ක්ෂණික හැගීමකින් මා හිස බිත්තියෙහි කිහිප වරක්ම ගසා ගත්තෙමි.  ජීවිතය සුන්දරව විඳින්නට පෙරුම් පිරූ  හිතින්ම මරණයට අත වනමින් සිටින්නෙමි. මා අසලට විත් මා වැළඳ ගන්නේ නම් ............

මා වීදුරුව බිඳී ගිය ජනේලය තුලින් අහස තුල ඇති අන්ධකාරය තුල ගිලීමට වෑයම් කරමි. පාසල් භුමිය තුලින් පිටවන වී එනවිට මා සිත  තුල පැවති  රික්තකය දෙගුණයක් තුන් ගුණයක් සිව් ගුණයක් ඉක්මවා මා ගත පුරාවටම පැතිරී විහිදී ඇති සෙයකි.

හිස හිරිවැටී ඇත. අන් සරණක් නොමැතිව මගේ හිස මමම පිරිමැදගතීමි. කෙහෙරැලි තුලින් ඇඟිලිතුඩු යවා පිරිමදිනවිට දහඩිය මුහු වී එකට ඇලුණු කෙස් රොදවල් කිහිපයක් අතෙන් ඇද්දෙමී ඒ වේදනාවද මාහට ප්‍රිය ජනකය. කාමරයද තරු නැති අහස මෙන් අඳුරේ ගිලී ඇත. මා හිස පිරිමැදි අත නහයට ලං කලෙමි දහදිය සමග මුසු වූ ලේ සුවඳක්! ඔලුව තුවාල වන්නට ඇත. මා තුවාලයට ඇඟිල්ලක් තබා එය සෙමෙන් නැවත  පෑරුවෙමි. කෙතරම් සුවදායක හැගීමක්ද ...........

අතෙහි තැවරුණ ලේ බිදු කිහිපයක් මා දෙතොලට ගෙන රහ බැලුවෙමි තුඃ    නොදකින් මලකඩ රහක් එන්නේ මන්ද? මා සිත යකඩයකි . කෙසේ හෝ තෙතමනය ලැබී ඇත. හිත තැලී පොඩි වී කඳුලින් තෙත් වී මලකඩ කා ඇත. එය මොලය දක්වා විත්  ඔලු  කට්ට පසාරු කල තුවාලයෙන් එලියට පැන ඇත.




Thursday, January 17, 2013

සිරිපාලගේ නයා.......


අපේ සර්ප සෙට් එක ගැන කියපු එකේ නයෙක් ගැනවත් කතාවක් කිව්වේ නැත්නම් නිකම් නෑ නෑ වගේ කියලා හිතුනා......




මේක රෝහලක වෙච්ච සීන් එකක් හරිය? දැන් ඉතින් මේ සීන් එකේ වීරයාට ඉන්නේ සිරිපාල කියලා වොචර් කෙනෙක්... අපි කෙලින්ම කතාවට බහිමුකො එහෙනම්.

“අම්මෝ...... මිසි.... මිසි.... නයෙක්.....”

එහෙම කියාගෙන ලෙඩෙක් දුවගෙන එනවා වාට්ටුව ඇතුලට.... ඔන්න එතකොට ඇඳන් වල ඉන්න ලෙඩ්ඩුයි වෙන කෙනෙක්ගේ ඇඳකට හේත්තුවක් දාගෙන කයියක් ගහගෙන ඉන්න කස්ටියයි  ඔක්කොම බැලුවේ වාට්ටුවේ මැදින් වැටිලා තියෙන කොරිඩෝව දිහා. ඇත්ත තමයි සිරා ගති සර්ප රාජයෙක් එනවා කොරිඩෝව දිගේ.. 



දැන් ඉතින් කස්ටියම නයාට බය වෙලා පුළු පුළුවන් කස්ටිය ඇඳවල්  උඩ, පුටු  උඩ , බංකු උඩ නැග ගෙන. වයසක උදවිය ඇඳවල් උඩම වාඩිවෙලා ඇස් දෙකත් දොට්ට දාගෙන  බලන් ඉන්නවා. සමහරු දන්නකියන යන්තර මන්තර මුමුණනවා...

ඔන්න ඔය අතරේ වාට්ටුවේ හිටපු සේවකයෙක් ගිහින් සිරිපාල ව එක්කගෙන එනවා නයාව එළවලා දාන්න... කොහොම හරි සිරිපාල එදා මඳ පමණට සප්පායම් වෙලා හිටපු දවසක්.. අර අඩියක් විතර දිග ටෝච් එකක් අරන් සිරිපාල එනවා.

“බය වෙන්න එපා මිසී... ඔන්න බලන්නකෝ මන් මේකාව අල්ලන හැටි...”

“සිරිපාල ඕකාව මරන්නේ නැතුව අල්ලලා බෝතලේකට දාලා කොහේ හරි ගෙනිහින් දාන්න මූ නයෙක්...”
“අරේ මිෂි... මිෂිලා බය වෙන්න එපා ඔන්න බලන්න නයා අල්ලන හැටි...”

ඔන්න ඉතින් එහෙම කියලා සිරිපාල නයාගේ බෙල්ල ලඟින්ම අල්ලලා නයාව ඉස්සුවේ නැතෑ !

දැන් ඉතින් මේ නයි සීන් එක ආරංචි වෙලා එතනට ආපු   රෝහලේ වෛද්‍යවරුයි වෙන වාට්ටු වල ලෙඩ්ඩුයි එකී මෙකී නොකී අය අතරේ කියන්න බෑ ත් හිටියා...

දැන් තමයි සිරිපාලට මතක් වෙලා තියෙන්නේ බෝතලයක් හොයන්න ඕනේ කියලා. ඉතින් නයාවත් ඇඳගෙනම සිරිපාල බෝතලයක් හොයනවා. ඔන්න දැන් ඉතින් කට ලොකු  බෝතලයක් හොයලා නයාව දැම්මා කියමුකෝ වැඩේ කියන්නේ ඒ බෝතලේ මූඩිය නෑ.

ඔන්න ඊට පස්සේ කව්ද ගෙනාව ගෝනියකට නයාව දාගෙන සිරිපාල ගියා නයාට අභය දානය දෙන්න.
ඔන්න ඔහොමලු සිරිපාල නයාව ඇල්ලුවේ.......


ප.ලි.............

මේ දවස් වල කියාගන්න බෑ හෙන බරපතල මිෂන් එකක ඉන්නේ. මොකක්ද දන්නවද? කියාගන්න බෑ ට හෙන ආසාවක් තියෙනවා ගම්පහ  ගෙට්ටුවට යන්න. ගිහින් යාළුවො කාරිය එහෙම දැන අඳුන ගන්න.  ඉතින් මේ දවස් වල කියාගන්න බෑ ගේ අම්මා ට කියාගන්න බෑ පොඩි ඉල්ලීමක් කළා. ඉතින් ඒකේ ප්‍රතිපලයක් හැටියට අම්මා රහස් පොලිස් පරීක්ෂක තනතුරක් වහාම පිහිටුවලා කියාගන්න බෑ ගෙන් ප්‍රශ්න කරනවා මොකක්ද බ්ලොග් කියන්නේ? කව්ද මේකට එන්නේ? ඔන්න ඔහොම එකී මෙකී නොකී හැම විදිහටම හරස් ප්‍රශ්න අහනවා.

ඉතින් අර සෑමා අයියා කිව්වා වගේ මේ කියාගන්න බෑ කොටුවෙන් එහාට ගිහින් නැති හින්දා. කියාගන්න බෑ ගේ අම්මා තීරණය කරනවා “ හරි බලමුකෝ යන්න... හැබැයි මාත් එනවා... ඔයාගේ යාලුවෙක් එක්ක යන්න තියෙනවනම් එයාලත් එක්ක යවන්න තිබුනා...” ඔන්න දැනට හම්බ උන තීන්දුව. කියාගන්න බෑ ඉතින් තව දවස් තියෙනවනේ කියල ඉතින් මේ දවස් වල දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවලු. 




Saturday, January 12, 2013

අන්න නයා .........



මේ කතාව මට කිව්වේ කියාගන්න බෑ ගේ අම්මා. මේක ඇත්ත සිද්දියක් කියලා තමයි අම්මා කිව්වේ මොකද මේ සිද්දිය වෙලා තියෙන්නේ කියාගන්න බෑ ගේ සීයාගේ නංගී  දීග දුන්න ගමේ. ඉතින් එහෙම කියනකොට කියාගන්න බෑ ත් පිළිගත්තා මේක පරම සත්‍ය කියලා.

මේකයි කතාව......





යට ගිය දවසක දරිද්‍ර තාවයේ යටිපතුලටම ගිය පවුලක්  ජිවත් උනාලු ගම කෙලවරේ අටවගත්ත කටුමැටි ගේ පොඩ්ඩක . ඉතින් මේ  පවුලේ හිටියේ අම්මයි තාත්තයි කෙල්ලෝ දෙන්නයි එක කොල්ලයි. දවසක් හැන්දෑ යාමේ  මේ අම්මා ලිපට දාන්න දර ටිකක් එකතු කරගන්න ගියා.  ගියා ගියාමයි රෑ ත් වේගෙන එනවා එත් දර එකතු කරන්න ගිය මනුස්සයා නෑ ඉතින් බලන් ඉන්න බැරි නිසා. ළමයින්ගේ තාත්තා ගියා අම්මව හොයාගෙන.

දෙයි හාමුදුරුවනේ මෙන්න මේ මනුස්සයා ඉන්නවා බිම දිගාවෙලා. ඉතින් කොහොම හරි ගෙදරට උස්සගෙන ඇවිත් වෙද මහත්තයා ව එක්කන් ආවා කියමුකෝ. වෙද මහත්තයත් ලෙඩාව බල එහෙම ඔලුව දෙපැත්තට වැනුවේ “ වැඩක් නෑ මැරිලා...” කියන්න.

“ සර්ප දෂ්ටනයක්...... දැන් ඉතින් මොනවා කරන්නද....”

කරන්න ඉතින් දෙයක් නෑ නේ මළගම ගන්නත් එහෙමයි කියලා සල්ලි තිබුන මිනිස්සු නෙමෙයි. එත් ඉතින් මිනියකට උනත් වෙන්න ඕනේ යුතුකම තියෙනවා නේද කියලා  සල්ලි දීලා මිනී පෙට්ටියක් ගන්න බැරි නිසාම වත්තේම තිබුන රුක් ඇත්තන ගහ කපලා මිනී පෙට්ටිය හදලා පහුවදාම  මිනිය වැලලුවා.

ඔන්න දැන් ඉතින් දරුවන්ට අම්මා නැති වෙලා මිනිහට තමුන්ගේ ගෑනි නැති වෙලා. කොහොමද මේ දරුවෝ තුන් දෙනාත් එක්ක ඉස්සරහට ජිවිතේ ගෙනියන්නේ දෙයියනේ ...... කියලා හිත හිත ඉන්න මනුස්සයට එක පාරටම මතක් උනා

“දෙයියන්නටම ඔප්පු වෙච්චාවේ! ගෑනි ගේ කනේ තිබුන කරාඹු ජෝඩුවත් එක්කම නේද මිනිය වැලලුවේ ........”

දැන් මොකද කරන්නේ

 ඔයාලා හිතන්නේ මොකක්ද? දැන් ඉතින් කරන්න දෙයක් නෑ කියලා ඒක අමතක කරලා දැම්මා කියලද?
නැහැ ඔන්න මේ මනුස්සයා ටිකක් හැන්දෑ වෙද්දී මල්ලිත් එක්ක මිනිය වල දැම්ම තැන හාරන්න පටන්  ගත්තා. ඔන්න දැන් පෙට්ටිය මතු කරගෙන පියන ඇරියා කියමුකෝ......... ඉතින් කරාඹු දෙක ගලව ගන්න මේ මනුස්සයා වලට පාත් උනා............


මෙන්න මිනිය එක පාරක් කැස්සා.......

අර මනුස්සයා බය වෙච්ච පාර වල ගාවම ඉන්දුනා........

ඔන්න ආයෙත් කහිනවා.......

ඒ එක්කම මිනිය ඇස් දෙක ඇරියා.... ටිකකින් මිනි පෙට්ටියෙන් නැගිට්ටා .........

හත්තිලව්වයි.........! මේක දැකපු අයියයි මල්ලියි කකුල් දෙකට පින් දිදී ගෙදරට දුවලා දොරවල් ජනෙල් වහගෙන දැන් ඉන්නවලු.. ගෙදර අනිත් අයටත් නිවුස් එක කියලා දැන් කස්ටියම අන්තෙටම බය වෙලා....
ඔන්න ඔය අතරේ ඉතින් වලෙන් නැගිටපු මේ ගෑනු මනුස්සය පරානේ ගෙදරට ඇවිදගෙන ඇවිත් දොරට තට්ටු කරනවලු....

“අනේ මේ දොර අරින්න....... මන් මැරුනේ නෑ........”

පිස්සු හැදෙනවනේ කොහොම කිව්වත් ඉතින් ගෙදර මිනිස්සු දන්නවනේ දෙයියනේ මේ ඉන්නේ මැරිලා භූමිදානය කරපු මළමිනිය කියලා. ඉතින් කොහොම කොව්වත් දොර නම් ඇරියේ නෑ දැන් රෑත් වෙලා.... 

සද්දයක් නැති නිසා ජනේලෙන් එලිය බැලුවාලු දැන් ඉතින් ගිහින් ඇති කියලා. කොහේ යන්නද මේ ඉන්නේ ඉස්සරහ පිල උද නිදාගෙන!

ඔන්න ඉතින් එලි උනාම හොල්මන් පෙන්නේ නෑ කිව්වට මේ හොලමන නම් යන පාටක් නෑ. බැරිම තැන දොර ඇරලා බලලා..

ඔන්න ඉතින් මේකයි සිද්ද වෙලා තියෙන්නේ. මැරිලා කියලා වැලලුවට සිහි නැති වෙලා තිබිලා තියෙන්නේ. අනික රුක් අත්තන කියන ලීය සර්ප විෂ උරාගන්නවලු.

දැන් ඉතින් හිතාගන්න පුළුවන්නේ වෙච්ච දේ..........?

මේ කියන මනුස්සයා මේ සිද්දියෙන් පස්සේ ගොඩක් කල් ජීවත් වෙලා ඉඳලා ලු මැරිලා තියෙන්නේ.
ඕන් ඔහොමයි ලු උනේ.........

සැ.යු :- මේක ඉතින් කටින් කට ආපු කතාවක් හොඳේ .........?

ඉතින් කතාවෙන් කතාවෙන් සර්පයෙක් ගැනත් කියපු එකේ තව දෙයක් කියන්න හිතුනා. මේ මම ඒ කියන්නේ කියාගන්න බෑ ටිකක් විමසිලිමත් කස්ටියක් තමයි මේ සර්ප යාලුවෝ . 

ඔන්න ඉතින් ටිකක් සර්පයෝ ගැන කියපු එකේ එයාල ගැන පොඩ්ඩක් හදුන්වලා දුන්නේ නෑ කි කියලා තරහ වෙයිද දන්නේ නෑ.



මන් ලඟට ඇවිත් මෙහෙම ඇහුවොත්.....?

“ ඇයි යකෝ අපි ගැන කිව්වේ නැත්තේ ඇයි අපි කළු ද......?”

ඉතින් කියාගන්න බෑ ටිකක් එයාලා ගැනත් හිතන නිසා පොඩ්ඩක් එයාලා ගැන කියමු නේද?

අපේ පුංචි රටේ සර්ප යාලු විශේෂ 94 ක් විතර ඉන්නවා. ඒ යාලුවෝ විශේෂ 94 රෙන් 35කගෙ තමයි විෂ කියන දේ තියෙන්නේ එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන සෙට් එකට.මේ  විෂ තියෙනවා කියා සෙට් එකෙන්( 35න්) 20ක් තමයි මාරාන්තික විෂ තියන සෙට් එකට අයිති වෙන්නේ. මේ 20නුත් 13න් දෙනෙක්ම ඉන්නේ මුහුදේ ඉතින් ගොඩබිම ඉන්න මාරාන්තික විෂ තියෙන සර්ප යාලු කස්ටිය ගෙන අඩුයි ඒ කියන්නේ 7 දෙනයි.

ඉතින් ගොඩ ඉන්න 7 දෙනා ගැන බලබුකෝ කව්ද මේ කියලා

0  01. ඔන්න මේ කස්ටියගෙනුත් උග්‍රම විෂ තියෙන කෙනා විදිහට ෆස්ට් ප්ලේස් ගන්නේ තෙල් කරවලා නැත්නම් මඟ මරුවා කියන පොර.   Indian krait blue krait (Bungarus caeruleus)


මෙයාගේ මතුපිට තෙල් ගාලා වගේ දිලිසෙනවා. රෑට තමයි පොර ඇක්ටිව් වෙනවා කියලා කියන්නේ. මිනිස් වාසස්ථාන ළඟ වේලිච්ච  කොලරොඩු ගොඩවල් වල තමයි මෙයා ඉන්නවා කියන්නේ. එතකොට මෙයා වැඩිපුරම ඉන්නේ වියලි කලාපිය ශුෂ්ක ප්‍රදේශ වල කියලා කියන්න ඕනේ නෑ නේ හිතාගන්න පුළුවන්නේ....?
ඇත්තටම පොර වගේ හිටියට බය උනාම හරි කලබල උනාම හරි මෙයා ගුලි ගැහිලා ඔලුව හංග ගන්න  එකලු කරන්නේ. මෙයාගේ විෂ වලට මිනිස් ස්නායු පද්ධතිය විනාශ කරලා දාන්න පුළුවන් හැකියාවක් තියෙනවලු.

02.  ඊට පස්සේ ඉන්නේ අපි කව්රුත් දන්නා කියන නයා   Cobra (Naja Naja) 

 

මෙයාව ඉතින් අපි දන්නේ පෙනේ නිසයි එකේ තියෙන “ ප ” කියන හැඩේ නිසානේ මොනවා උනත් එහෙම හරි දන්නවනේ අන්න නයා කියන්න. අපේ රටේ මධ්‍යම කඳුකරේ ඇරුනාම හැම තැනම ඉන්නවලු. මෙයාගේ විෂ වලටත් මිනිස්සුන්ගේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය නතර කරන්න පුළුවන් තරම් පවර් එකක් තියෙනවලු. පොර හරියටම දෂ්ට කලොත් පැය 36ක් ඇතුලත රෝගියා මැරෙනවා ලු. මේ පොරගේ පොරී ( මන් පොරී කිව්වේ ගෑනු සතාට :D කොල්ලා පොර නම් කෙල්ල පොරී වෙන්ට එපැයි :P) එකවරකට බිත්තර 20ත් 30ත් අතර ප්‍රමාණයක් දානවලු.

03.   ඊට පස්සේ ඉන්නේ වැලි පොළගා සහෝදරයා Saw-scaled Viper (Echis carinatus carinatus) 



මෙයාගේ ඔලුව ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා ටිකක් විතර ඒ  ශේප් නැතුව ඉතින් සමමිතිකද කියලා බලන්න එපා  ;) මෙයාව හම්බවෙන්න පුළුවන් වැඩිපුරම වියලි කලාපේ වෙරළබඩ පැති වලදී තමයි. රෑට තමයි ඇක්ටිව්. දවල්ට නිවාඩු පාඩුවේ කොළ රොඩු ගොඩක් ඇතුලේ, පඳුරක් අස්සේ,  බුරුල් වැලි පසේ හැංගිලා ඉන්නවලු ( මගෙන් අහන්න එපා හැංගිලා මොනවද කරන්නේ කියලා ඒවා මම දන්නේ නෑ :P). ලෝකේ සර්ප විෂ ශරීර ගත වීමෙන් සිද්ද වෙන ගොඩක් මරණ වලට වග කියන්න ඕනේ මේ පොර ලු.

0  04.   දැන් ඉන්නේ තිත් පොළගා මිත්‍රයා  Russell's Viper (Daboia russelli)


 මෙයාව අපිට උස කඳුකරේ ඇරෙන්න වෙන ඕනෙම තැනකදී හම්බවෙන්න පුළුවන්. ඔන්න මෙයාවනම් රෑ ට වගේම සමහරක් වෙලාවට දවල්ටත් දකින්න පුළුවන් ලු. මෙයාගේ  විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිද්ධ වෙන්න පුළුවන්. ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිද්ධ වෙන්න වග කියන්න ඕනේ මෙයා ලු.

   05.   දැන් කියන්නේ පොළොන් තෙලිස්සා නැත්නම් කුණ කටුවා ගැන  Merrem's hump-nosed Viper (Hypnale hypnale)


 මේ කස්ටියගේ එක එක පාට තියෙන කස්ටිය ඉන්නවලු.  අවුලක් නැතුව ලංකාවේ හැම පළාතකම ඉන්නවලු. රෑට තමයි ඇක්ටිව් දවල්ට  කුණුගොඩවල් , ගල් යට වගේ තැන් වල ලු හැංගිලා ඉන්නේ.  ලංකාවේ සර්ප විෂ වලින් සිද්ධ වෙන මරණ වලින් 02% කට වග කියන්න ඕනේ මෙයා ලු.

0  06.   තව එක්කෙනෙක් තමයි මුදු කරවැලා Ceylon krait (Bungarus ceylonicus)



ඔන්න මෙයානම් අපේ රටටම ආවේනික කෙනෙක්. මේ යාළුවා තද දම් නැත්නම් කළු පාට ඒ වගේම ඇගේ හරස් අතට සුදු පාට ඉරි තියෙන කෙනෙක් ( එකනේ  මුදු කරවැලා කියලා කියන්නේ නිකමට යෑ ).  මේ මුදු කරවැල් යාළුවා  දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වෙනවා කියලා තමයි කියන්නේ.

0  07.   අන්තිමට කියන්න යන්නේ දෙපත් කළුවා  Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)




මෙයා වැලි පැහැයට හුරු කහ පැහැයක් ගන්නවා. රාත්‍රී කාලයේදී තමයි වැඩ. දවල් වෙලාවට  කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වෙනවා ලු. ප්‍රධාන වශයෙන්ම ඉන්නේ  වියළි කලාපයේ තමයි ලු. එත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්‍රදේශ වලදීද දැක ගන්න පුළුවන් ලු. ඔන්න මෙයා උග්‍ර විෂ සහිත සර්පයෙක්  උනාට ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා මිනිසුන්ට දෂඨ කරන්න බැහැ කියලා තමයි කියන්නේ නම්.


ඔන්න ඉතින් මේ සෙට් එක තමයි ලංකාවේ උග්‍ර විෂ කියන සෙට් එකට අයිති වෙන්නේ. කියාගන්න බෑ ආස සබ්ජෙට් එකක් නිසා ඉතින් පොඩ්ඩක් එයාලා ගැන ලියන්න හිතුනා ටිකක් හරි. විකිපීඩියා සීයා ත් ගොඩක් කියාගන්න බෑ ට උදවු උනා වැඩේ ට . :D