Friday, August 5, 2016

තෙවසරක නිමාව .....




යොවුන් වසන්තේ සිහින අතරේ  
ඔහේ ගෙවුනත් ජීවිතේ  
සුවඳ තවරා අගය දුන්නේ  
රුහුණ කුස යට මේ බිමේ  
තුන් වසරකට පෙරදී මාපිය හැරදමා මෙහි ආ දිනේ 
ඊයේ වාගේ දැනුනමුත් මේ  
ඉගිලගොස් කාලය ඉබේ  
නැටුම් කෙළි ගී මැදදී කිසිදා  
දැනුනේ නෑ සංකා සිතේ 
සොඳුරු මිතු දම් රහස් පෙම් දම් 
මැදදී ගෙවුනා ජීවිතේ  
සතුට දුක ළඟ එකට සිටියා  
කවුරුවත් නෑ තනි වුනේ  
ජීවිතේ සුන්දරම කාලය  
එයයි සැකයක් නෑ සිතේ

කියාස් උසස් අධ්‍යාපනේට ගිහිල්ලත් අවුරුදු තුනක් ගෙවිල ඉවරයි. ඉතින් පින්වත්නි කියාස්ගේ බැච් එක විසිරයාම නිමිති කොටගෙන උත්සවේ සංවිධානය කරන්න  කියාස් ඇතුළු පිරිසකට  භාර උනා ඉතින් ඔතනින් මහා ලොකු වැඩ කොටසක් තිබුනත් ඒ ඔක්කොම කරන්න හිටියේ 5 දෙනයි. ඒ අතරේ කථිකාචාර්ය වරුන්ට දෙන්න තෑගි, පොල්තෙල් පහන සැරසිලි, වේදිකා අලංකරණ, ආරාධනා පත්‍ර සකස්කිරීම්, සංග්‍රහ කටයුතු, අවසාන දින උත්සවයේ අංග ගැන හොයල බලන්න උනා. ඒ අස්සේ තව පිස්සු හැදෙන වැඩක් අපේ පීඨාධිපති මැඩම් ගේ ඔලුවට ඇවිත් තිබුනා. ඒ තමයි අපේ අන්තිම දවසට සින්දුවක් එක්ක විෂුවල් එකක් හදන්න කියන එක. ඇත්තටම කොලේජ් ඉන්න කාලෙනම් අපේ සෙට් එකට ඒ අදහස ඇවිත් තිබුනා. ඉතින් කට්ටිය වද කර කර හිටියේ කියාස්ට එකට ගැලපෙන සින්දුවක් ලියන්න කියල. ඉතින් ඒ දවස් වල ටිකක් ඇග බේරාගෙන හිටියට මේකටනම් බෙල්ල මුලින්ම අහු උනා.
ඉතින් අර උත්සවේ වැඩත්  එක්ක සින්දුවක් අපේ එක්කෙනෙක් ලිව්වා. මෙලඩියත් අපේ සරිගමයා ට කියල කරගත්තා, සින්දුව කියන්න එක්කෙනෙක් ඇති කියල ඒකමතික තීරනේකට ආවේ වැඩක් කරන්න ගියාම කට්ටිය හොයාගන්න තියෙන අමාරුව දන්න නිසාමයි. ඉතින් සිංදුව කියන්න අපේ කොටී (ඒකා කොටයි අනික මගේ බෝඩිම් සඟයා ) තෝරගත්ත.
ඉතින් නමෝ විත්තියෙන් වැඩේට අත ගැහුවට මොකෝ සින්දුව රෙකෝඩ් කරගන්න කෝ සල්ලි? 36000ක් ප්‍රසන්ට් ගන්න ගියානේ කියාස් කියල කියනකොට හම්මේ ඉතින් කරපු සින්දුව කියල හිගාකන්න තමයි වෙන්නේ කියල හිතුනා කට්ටියට. ඊට පස්සේ අපේ සරිගමයා යෝජනාවක් ඉදිරිපත් කළා අපි දන්න අදුරන අයට කියල පොඩ්ඩක් හොයලා බලමු ස්ටුඩියෝ එකක් හොයාගන්න බැරි වෙන්නේ නෑ කියල. ඉතින් ෆීල්ඩ් එක දන්නා සරිගමයා නම්බර්ස් වගයක් හොයලා දුන්නා කෝල් කරපන් කියල. ඉතින් කියාසුත් යටහත් පහත් විදිහට කතා කරලා බැලුවා ඇත්තම කිව්වොත් කිසිම කොල්ලෙක් බෑ කිව්වේ නෑ හරි අපි බලමු මන් කොහොම හරි ඕක කරලා දෙනවා කිව්වා. මං හිතන්නේ තාම එයාලා ඒක කරලා දෙන්න නැකත් බලනවා වෙන්ට ඕනේ. මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවාම ඇත්තටම ඒ වෙලාවට විතරක් හරියන්න ප්ලාස්ටරයක් ගහලා වැඩක් නෑ බැරිනම් බෙල්ල ගහල ගියත් කමක් නෑ කියල බෑ කියන්න ඕනේ. නැත්නම් විශ්වාස කරලා වෙන විසදුමකට යන්නෙත් නැතුව ඒ මනුස්සයා ඒ දේ කරලා දෙනකම් බලන් ඉදලා බලාපොරොත්තු කඩ උනාම වෙන අලාබෙ ඊට වඩා වැඩියි. කියාස් නම් එදා හිතාගත්තා වනේ වන හතුරෙක්ටවත් බැරි දේකට හා කියලනම් කියන්නේ නෑමයි කියල.
ඉතින් ඔහොම ගිහින් සින්දුව රෙකෝඩ් කරගන්නම විදිහක් නැතුව අන්ත අසරණ වෙලා ඉන්නකොට අපිට හම්බුනා ඉස්කෝලෙක මීඩියා රූම් එක. ( සොයන්නාට සම්බවේ කියල කියනවනේ) ඉතින් ඔන්න සින්දුව රෙකෝඩ් කරගත්ත දවසේ අර කලින් සින්දුව රෙකෝඩ් කරගන්න ආත්මෙන්ම හෙල්ප් කරනවා කිව්ව අයියෙක් කෝල් කළා.
අයියා: කියාස්....
කියාස්: කියන්න අයියේ
අයියා: බලන්න කියාස් මේ මං වැඩ ගොඩක එරිලා හිටියේ... කොහොමද අර වැඩේ කරගත්තද?
කියාස් ඇතුළු පිරිස ( එකෙක් කොලේක හෝ ගාල ලියල මට පෙන්නනවා .... “ මූ බලන්නේ අපි වැඩේ කරගන්න බැරුව එරිලා ඉන්නවද කියල... කියපන් බැරි උනා කියල”)
කියාස්: අනේ නෑ අයියේ .... මේ ඔලුව ගිනිඅරන් ඉන්නේ මොනවා කරන්නත් තියෙන්නේ තව දවස් තුනයි විෂුවල් එකක් හදන්නත් ඕනේ
අයියා: එකනේ නංගි මං කියන්නේ.... ඔයාල ඕක ගිය මාසේවත් පටන් ගත්තනම් මං නිවාඩුවක් දාලා හරි ඕක කරලා දෙනවා. දැන් බලන්න විෂුවල් කරන්න වෙලාවක් තියෙනවද ? ඕක එදාට ස්ටේජ් එකේ ලයිව් කියලා දාන්න
කියාස් ඇතුළු පිරිස කොලේ කුරුටු ගායි... ( ඕකව මරමු බං .... කතා කරන හැටි විතරක්.... මුසලයා..... ඌට ඕනේ විදිහට ද දැන් අපි වැඩ කරන්න ඕනේ.... ඔන්න  ඕකට කියපම් මැරුම් නොකා තියෙන දෙයක් කාලා ඉන්න කියලා... ඊ.සී.ටී)
කියාස්: අයියේ මන් තියෙනවා
අයියා : අනේ තරහ වෙලාද නංගි?
කියාස්: Call end
ඉතින් ඒ සිද්දියෙන් පස්සේ කට්ටිය මං හිතන්නේ විනාඩි හතළිහක් විතර වෙන් කලේ ඒ කොල්ලගේ හත්මුතු පරම්පරාවට පිං පමුණුවන්න.
ඔහොම කරලා ඉතින් කෝ විෂුවල් කියල මතක් වෙනකොට හිත කීරී ගැහිලා ගියා... ඇයි ඉතින් කෝ නළු නිලියෝ? කෝ ස්ක්‍රිප්ට් එකක්?
ඉතින් ඒ වෙලාවේම සින්දුවට අදාළ වෙන අදහස් ටිකත් කතා කරලා එකතු කරගෙනම පහුවෙනිදා ඒ කියන්නේ සෙනසුරාදා කොලේජ් එන පොරොන්දුව පිට ( විෂුවල් එකට රඟපාන්න වෙන්නෙත් ඉතින් අපිටම තමයි) කට්ටිය ගාල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් විසිරිලා යනකොට වෙලාව රෑ  8.30 යි. ඉතින් මායි කොටීයි එකම බෝඩිමේ කියල කලිනුත් කිව්වනේ. හැබැයි කියාස් නම් වෙනදට හැම සිකුරාදාම ගෙදර දුවනවා. අද හිටියේ මේ උත්සවේ වැඩ නිසාමයි ඒත් සෙනසුරාදා හවස යන්න හිතාගෙන.
වැඩේ කියන්නේ ගිනි විජ්ජුම්බරයයි කියල දැනගත්තේ මායි කොටියයි බෝඩිමට හැරෙනකොට. බෝඩිමේ ඇන්ටියි, එයාගේ දුවලා දෙන්නයි ඔක්කොම ගෙයින් එළියේ මේ මහා රෑ ඔක්කොම එළියේ මොකෝ කියල අපි දෙන්නත් කතා වේගෙනම ගියා. සර්පයෙක් ගෙට ඇවිල්ලද දන්නේ නෑ නේ එහෙම වෙලා සර්පයාට ගේ දීලා මෙයාල පාරට බැස්සද දන්නේ නෑ නේ (කියන්න බෑ මොකද ඇන්ටි හතර පෝයටම සිල්ගන්නවනේ)
අපි දෙන්නව දැක්කා විතරයි හම්මේ ඇන්ටි නයා දැක්ක මුගටියා වගේ පැන්නේ නැතැයි අපි දෙන්නගේ මුණටම සොරි සොරි වැරදුනා නයා නෙමෙයි නයි දෙන්නා.
ඇන්ටි: හොඳයි එන වෙලාව... කියල යන්න දන්නේ නැද්ද ඇත්තටම? මෙතන අපි ඔලුව ගිනි අරගෙන හොයනවා... අන්තිමට මොකක් හරි උනොත් වගකියන්න වෙන්නේ අපිටනේ.... කොටී....
කියාස්: ඇයි ඇන්ටි අපි දෙන්නම උදේ කියලනේ ගියේ අද රෑ වෙනවා මාත් අද ගෙදර යන්නේ නෑ මෙහෙ එනවා කියල
ඇන්ටි: බොරු කියන්න එපා එහෙම  කතාවක් නෙමෙයි මට කිව්වේ... කොටී අද කිව්වේ කියාස් අද ගෙදර යනවා කොටී එන්න පරක්කු වෙනවා කියල
කොටී: අනේ බොරු කියන්න එපා ඇන්ටි දැන් කියාස් කිව්වේ මන් උදේ කිව්වා ටික තමයි.
ඇන්ටි: ඔව් දැන් එනගමන් දෙන්නත් එක්ක කතා කරගෙන එන්න ඇත්තේ. ඒ මදිවට කොටී ෆෝන් එකත් ඔෆ් කරගෙන.... කියාස් ගෙදර යනවා කිව්වා නිසා මන් කියාස්ට ගත්තේ නෑ. මන් කොටී ගේ ගෙදරටත් ගත්තා
( මලා ඔය ඇවිලිලා තියෙන්නේ තව ටිකෙන් හිරු නිව්ස් වලටත් යයි ද දන්නේ නෑ ) වැඩේ කියන්නේ මන් සිකුරාදා ගෙදර යන නිසා අපේ ගෙදරට ගින්න දීලා නෑ දැන් කොටියාගේ ගෙදර තොවිල් නටනවා ඇති. ඒ මදිවට ඒ අස්සේ තමයි අපි දෙන්නටම මතක් උනේ සින්දුව රෙකෝඩ් කරන වෙලාවේ ෆෝන් ඔෆ් කළා නේද කියල. හරිනේ දැන් ඉතින් කෑවයි.
කොහොමින් කොහොමින් හරි බෝඩිමට රිංගගෙන රෑට කන්න බැරි උනත් තව බැනුම් අහන්න බැරි නිසාම උයල තිබුන අල කොළ මාළුවත් කාලා අපි දෙන්නා වැටුනා ඇඳට. එච්චරයි මතක ආයේ උදේ පහට එලාම් එක වදින වෙලාවට ඇහැරුනා හෙන ලොබ කමින්. ඇයි යකෝ බැච් එකේ අනිත් එවුන් අද සෙනසුරාදා දවසේ තාම නිදි සුව විඳිනවා දැන් ඉතින් නැගිටලා පලයන්කෝ කොලේජ්. මොනා කරන්නද පෙර කල පව් ගෙවනවා  කියල හිතාගෙන ලැස්ති වෙලා ගියා.
දැන් ඉතින් කොලේජ් එකේ ගේට් එක ගාව අනිත් කස්ටිය එනකම් බලන් ඉන්නවා. පැය බාගයක් විතර දෑස රිදෙනකම් පාර බලන් ඉදලා යන්තම් ඉතින් කට්ටිය එකතු උනා. ඔන්න ඊට පස්සේ තමයි අපේ ගේට් එකේ කොමසාරිස් කටහඬ අවධි කලේ. (ගේට් එකේ කොමසාරිස් කියල කිව්වේ අලි ඔලුවෙන් ඉන්න පොරක් ඒකා දාන නීති රීති ආයේ ලොවෙත් නෑ)
ගේට් කොමා: ඒ කියාස්... කොහෙද මේ යන්නේ
කියාස්: අයියේ අපි මේ පොඩි වැඩකට ආවේ... මැඩම් ඉන්නවද ?
ගේට් කොමා : අද මැඩම් නම් නෑ.... ඔයාලට ඇතුලට යන්න අවසර ලියුමක් තියෙනවද?
(ඔන්න එතකොට නම් කට්ටියට යකා ආවේස උනා කියල පෙන්නුම් කරන්න ගත්තා)
කියාස්: ඇයි අයියේ අපි තාම ඉන්ටර්න් ගියා විතරයි ඒ ටිකට අපිව පිටුවහල් කරලා දැම්මද? අපි මැඩම් ව දැනුවත් කරලා ආවේ.
ගේට් කොමා: ආ මට එහෙම එකක් කිව්වේ නෑ මන් අහන්නම්කො එහෙනම්....
කියාස්: කොටියා ... ගන්න මැඩම්ට කෝල් එකක්
ගේට් කොමා: හරි හරි ඕගොල්ලෝ යන්න... හැබැයි මේන් හෝල් එකෙන් එහාට යන්න බෑ.... හොස්ටල් පැත්තට කොහොමවත් බෑ... ඩයිනින් හෝල් එකට යන්නත් එපා.
කියාස්: හරි හරි

දර්ශා: බලපන්කො බන් කතාව..... අපි නිකම් මේකට පිට එවුන් ගානට දාලනේ කතා කලේ. හිටපන්කෝ අද කරන්න. ඔය යන්න එපා කියපු හැම තැනකටම යනවා අන්තිමට ඩයිනින් එකෙන් දවල්ට කාලා එන්නේ
ඉතින් ඔන්න ඔහොම කියන ගමන් කොලේජ් එකට ඇතුල් උනා. අන්න එතකොට තමයි මතක් උනේ යකෝ රඟපාන්න  කියල ආවට ඇදුම් ගෙනාවේ නෑනේ කියල. ආයේ ඉතින් තව මොනවා කල්පනා කරන්නද හොස්ටල් එකට යන්න එපා කිව්වා එකේ හොස්ටල් එකට ගිහින්ම නංගිලා ගෙන් ඇදුම් හොයාගන්නවා මිසක් කියල පලවෙනි ගේට් කොමා ගේ නීතිය කඩලා දැම්මා. දැන් ඉතින් තියෙන්නේ මහා ගරු රගපෑම්. මොන ගරු ද බං අපිම සින්දුව හදලා අපිම මෙලඩිය දාලා අපිම කියල අපිම රඟපානවා. සික් සන්තෝසේ බෑ....
ඉතින් මේකයි සින්දුවත් එක්ක ගිය විෂුවල් කතාව.....
අපේ බැච් එකේ එක්කෙනෙක් වයසට ගිහින් ඉන්නකොට ගෙවල් අහල පහල ඉන්න පොඩි එකෙක් දුවන් එනවා ලියුමත් අතේ තියාගෙන. ඒකා අපේ කොලේජ් එකටම සිලෙක්ට් වෙලා.... ඉතින් කොල්ලා ලියුම දීලා ඉතින් කතාබහ කරලා යනවා...
ඊට පස්සේ ඉතින් අපේ එක්කෙනාට කොලේජ් කාලේ මතක් වෙන සීන් එක තමයි දිගටම තියෙන්නේ.
අපි කොලේජ් ආපු හැටි ( හොස්ටල් නවතින්න ලිස්ට් එකේ තිබිච්ච බඩු  හොයන්න කාපු කට්ට මතක් වෙනකොට හයියෝ කියල කියවෙනවා.) මොකද ඕකෙත් පොඩි පොඩි අතුරු කතා බොහොමයි. එකක් කියනවනම් අපිට කියල තිබුනා නිලුයි සුදුයි අගලේ ඉරි තියෙන බෙඩ් ශීට් ගෙන්න කියල. හම්මේ මොන අගලේ ඉරක් වත් හොයාගන්න බැරි උනා ඉතින් කමක් නෑ කියල නිලුයි සුදුයි ඉරි තියෙන බෙඩ් ශීට් ගෙනිච්චා. හම්මේ හොස්ටල් ගියාමනේ දැක්කේ සමහර එවුන්ගේ අගලේ ඉරි කපලා මහලා. සමහර එවුන් පේන්ට් කරලා. වැඩ කෝටියයි...
ආයෙත් විෂුවල් එකට ...
අපි ඇවිත් යාළුවො විදිහට හිටපු හැටි... වලි දාගත්ත හැටි.... ( ඔන්න ඔතනදි කියාස්ට පාට් එකක් කරන්න උනා ඒ තමයි වයසට ගිය නිළිය අතේ තියෙන තුවාලයක් දිහා බලාගෙන මතක් කරනවා එදා වෙච්ච දේ ඒ කියන්නේ වෙසක් වලට කූඩු තරඟෙට කූඩු හද හද ඉන්නකොට නිළිය ඇවිත් එතන නිවිහැනහිල්ලේ කූඩුව හද හද ඉන්න කියාස්ව අවුස්සලා කියාස්ගේ අතින් පිහි පාරක් කනවා. හම්මේ ඉතින් කවදා දාගත්ත වලිද ඒ නිසා ඒ ශුට් එක දෙපාරක් ගන්න උනා.)
ඉතින් ඒ එක්කම දැන් ඉතින් කිසාස් ඒ කූඩු සීන් එකෙන් පස්සේ තරහ වෙලා ඉන්නකොට දවසක් කියාස් වැටෙනවා ආයේ නෑ ගෙම්බා පොලේ ගැහුවා වගේ ඉහින් කනින් ලේ පෙරෙන්නම වැටෙන සීන් එකක් තියෙනවා එතනදී ප්‍රධාන නිළිය ඉබ්බෙක් වගේ දුවගෙන ඇවිත් අපොයි වැරදුනා....! කුරුල්ලෙක් වගේ කොහේදෝ ඉදන් දුවගෙන ඇවිත් කියාස්ව නැගිට්ටවනවා අන්න එදා අපි දෙන්නා සමාදාන වෙනවා.
ඔය සීන් එක ගන්න ගිහින් කියාස් තාත්වික රංගනයක යෙදුනා. කොච්චර තාත්විකද විදිහට ඒ සීන් එක අපේ ඩිරෙක්ට නෝනා ගත්තද කියනවනම් කියාස්ට තුන් පාරක් වැටෙන්න උනා ආයේ නෑ ඉතින් අලාබහානිත් උනා.
හම්මේ ඉතින් ඔය සීන් ටික ගන්න ඇදුම් කීයකට බහින්න උනාද එපා උනා ඇදුම් අදින එකත් එදානම්. ඒ අස්සේ අපේ නදියා කියනවා “ හනේ.... මම නම් කෝටියක් දෙනවා කියල චිත්‍රපටියකට කතා කලත් යන්නේ නෑ... බං”
දෙයියනේ කියල සීන් ටික ගත්තා ...
ඊට පස්සේ වීඩියෝ එක හැදුවා කියමුකෝ. ඕක අවසාන දවසේ පෙන්නුවා කියලත් කියමුකෝ. දැන් ඉතින් සති දෙකක් විතර ගියාට පස්සේ තුවාල එහෙමත් සනීපයි. ඒ අතරේ කියාස් යාලුවෙක්ගෙ පොඩි පාටි එකකට බීච් ගිහින් පණ්ඩිත වැඩක් කරන්න ඇත ගහලා කකුලේ ඉදන් හම ගහගත්තා. දැන් ඉතින් කට්ටිය බලයි මේ මොකටද මෙහෙම සීන් එකක් කියාගෙන යන්නේ කියලා. ඉන්ටකො....
දැන් ඉතින් ඒ තුවාල නිසා ප්ලාස්ටර් 4ක් විතර ගහගෙන කියාස් ඇවිදින ගමන්. දවසක හම්බවෙනවා අර උත්සවේට ආපු ලෙක්චර කෙනෙක්ව.
ලෙක්චර : ආ... කියාස්... කොහොමද ඉතින් දැන්...?
කියාස්: හොඳයි මැඩම් ....
ලෙක්චර: අනේ... එදා ඔයාලගේ උත්සවේ නම් හරි ලස්සනයි පුතේ... අපි කතා උනේ අපරාදේ අච්චර වියදම් කලේ තෑගී වලට... මතක හිටින පොඩි දෙයක් දුන්නනම් ඉවරයිනේ....
කියාස්: එහෙම බෑ නේ මැඩම් ...
ලෙක්චර: ඒක නෙමෙයි පුතේ... අර වීඩියෝ එකේ ඔයා ඇත්තටම වැටෙනවද?
 (යකෝ මාර කතානේ අහන්නේ නැත්නම් මං එතන පා වෙනවා වගේද පෙන්නේ කියලත් අහන්න ගිහින් කට වහ ගත්තා)
කියාස්; ඔව් මැඩම් ඕක ගන්න තුන් පාරක් වැටෙන්න උනා.... ( වැඩේ පොඩ්ඩක් තාත්වික කරලා ගන්න එපැයි)
ලෙක්චර : අනේ.... තුවාලත් උනාද කියාස්.... ඒ වැටෙන විදිහටනම් තුවාල වෙන්න ඇති
කියාස් : ඔව් මැඩම්
ලෙක්චර : අනේ... කෝ බලන්න
( හරිනේ ? ඔය හම්බුනේ... දැන් ඉතින් පෙන්නපන්කෝ තුවාල! ඒවා තිබුන තැන වත් මතක නැතිකොට. දැන් මොකද කරන්නේ? කියාස් ඕවයින් සැලෙනවද? නෑ පින්වත්නි .... කියාස් පෙන්නුවා බීච් ගිහින් කකුලේ ලෙලි යවාගත්ත එක.)
ලෙක්චර: ( ඇස් දෙක නළල්ගත කරමින්) දෙයියනේ පුතේ .... තාම සනීප නැද්ද .... අයියෝ ළමයෝ ඔහොම දේවල් කරනකොට පරිස්සම් වෙන්නත් ඕනේ.... ඔයිට වැඩිය දෙයක් උනොත් වීඩියෝ හැදුවා වගේ නෙමෙයි....
කියාස් : ( මුහුණේ මදහස)
ලෙක්චර : මන් එහෙනම් යන්නම් කියාස්.... ඕක සනීප කරගන්න ඉක්මනට....
ඔන්න ඔහොමළු නේ පින්වත්නි......


5 comments:

  1. මරු අත්දැකීම. මේ සිංදු හදන සීන් එක කටුබැද්ද කට්ටිය නිතර කරනවාලු.

    මේතියෙන්නෙ එකක්


    තව එකක්

    කියාස් ලගෙ සින්දුවත් දාන්න

    ReplyDelete
    Replies
    1. කියාස් හිතුවා වීඩියෝවත් අමුණන්න ඒත් එතකොට ඒකෙ කියාසුත් ඉන්න නිසා වැඩේ අතෑරලා දැම්මා

      Delete
    2. ඒකම තමයි දාන්න කිව්වෙ. රඟ පෑම ගැන විවේචනයක් දෙන්න. හැක්

      Delete
  2. වීඩියෝ youtube දාල ලින්කුව දාමු බලන්න. ත්‍රිවිල් එකක් උඩට උල්කාපාතයක් වැටෙනවා වගේද බලන්න.. හි හි

    ReplyDelete
  3. අපූරු කතාව..අදයි මේ පැත්තට ගොඩ වැදුනේ...කැප වීමෙන් වැඩ කරන ළමයි එහෙම තමයි, තුවාල උනත් වැඩේ කරනවා (අර ලෙක්චර ට එහෙම හිතෙන්න ඇති)...

    ReplyDelete