Monday, December 31, 2012

ජිවිතේ විඳින්න


නිවසේ රේඩියෝව දමා ඇත. වර්තමාන තනි අකුරේ රේඩියෝ චැනලය විසින් විකාශය කරනුයේ ටකරමකට තඩිබාන්නාක් වැනි සංගීතයකි. තරුණ වියෙහි වූ දියණිය ඒ සංගීතයට අනුව ගෙය අතුගායි.



මේ අතර මඳ පමණකට සප්පායම් වූ පියා ගෙදර පැමිණෙයි. තනි අකුර චැනල නිවේදකයා ගීතයක් සඳහා එකතු වන පරම්පරා දෙක තුනක නම් රැප් කර නැවතත් ගල් බොරළු ගීතයක් විකාශය කරයි. සුළු වෙලාවක් මෙය අසා සිටි පියා හට යක් දෙවිදුන් හිස මුදුනටම නංවා ගැනීමට දෙයියනේ කියා හැකි විය.

“ ඈ යකෝ තොපි මේ මගුල් අහන්නේ මේ සින්දු ද? තොපි මේ කියන කුණුහරුප වල තේරුම දන්නවද?”

පියා කෑ මොර දෙන්නට විය, ගෙය අතුගාමින් සිටි දියණිය කොස්සත් සමඟ කාමරයටම ලිස්සා ගොස් දොර වසා ගන්නා හඬ ඇසින.

ටික වෙලාවකින් පැරණි සිංහල ගීයක් ඇසේ , තනි අකුරේ චැනලය ද කියවයි.... මේ අතර පියා උපදෙස් දෙනු ඇසෙයි.

“ඇහෙනවද මෙන්න සින්දු... අහපල්ලා මේවා... මේවා අහල හැදීයන්....”

කාටද මේ කියන්නේ දුවටද? නෑ දුවගේ හෙවනැල්ල වත් පෙන්න නෑ

කාටද කාටද ? ඇයි යකෝ මේ කියන්නේ අර නිවේදකයා  ට.

මේකයි මට කියන්න ඕනේ හොඳ රසවින්දනයක් එක්ක ජිවත් වෙනවනම් තමයි ජිවිතේ එක්තරා විදිහකට විඳින්න පුළුවන්.

ඒ එක්කම මේ ලැබුවා වූ නව වසර හිත සතුටෙන් පිරි සුභම සුභ නව වසරක් වේවා.............! 


Tuesday, December 25, 2012

හනුමා දොර ළඟ ...


මතකද මගේ පළවෙනිම කතාවේ හිටපු අර චුටි ඩොක්ටර් රශ්මි? මේ එයා ටිකක් ලොකු කාලේ වෙච්ච දෙයක්.

රශ්මි මේ සිද්දිය වෙන කාලේ කළුතර පැත්තේ රෝහලක තමයි වැඩ කලේ.ඉතින් නැවතිලා හිටියේ රෝහලේම තියෙන නිල නිවාසෙක. ඒ රෝහල නම් අවුරුදු බර ගානක් පරණ එකක් ඒ කියන්නේ ඉංග්‍රීසින්ගේ කාලේ හදපු එකක්  එතකොට ඉතින් කියන්න ඕනේ නෑ නේ අර නිල නිවාසෙත් එහෙමයි කියලා. ඒක ලොකු ගෙයක්  එක ඩොක්ටර් කෙනෙක්ට එක කාමරේ ගානේ තමයි දීලා තිබුනේ ඒ කාමරයක් දැන් තියෙන ගෙයක් තරම් ලොකුයි. ඔය කියන කාලේ ඩොක්ටර්ස්ලා  04 දෙනෙක් විතර නැවතිලා හිටියා. රශ්මිගේ යාළුවා උනේ උපුලි කියලා රශ්මි වගේම චුටි ඩොක්ටර් කෙනෙක් (ඒ වුනාට රශ්මි වගේ කට තියෙන කෙනෙක් නෙමෙයි හැමදේටම බයයි). 





ඔහොම ඉන්නකොට දවසක් රශ්මි ළඟ තිබුන රත්තරන් චෙන් එක නැති උනා. කාමරේ අනිත් පැත්ත පෙරලලා හෙව්වත් හම්බුනේ නෑ. වැඩේ කියන්නේ රශ්මි ට මතකත් නෑ කොහෙද මාලේ තිබ්බේ කියලා. ඉතින් ඒක ගත්තා කියල හිතන්න කෙනෙකුත් නෑ. ඉතින් හොයල හොයල වැඩක් උනේ නැති නිසා ඔහේ කල්පනා කර කර ඉන්නකොට සරත් කියලා ඉන්න රශිමිලගේම යාලුවෙක් වෙලාවේ හැටියට දුන්න හොඳ අයිඩියා එකක්! මොකක්ද?

“ ඇයි බන් අහපන්කෝ සාස්තරයක් ....”

ඔන්න දැන් ඉතින් කට්ටියම ඒකමතිකව අයිඩියා එක සභා සම්මත කළා. එත් කොහෙන්ද සාස්තරයක් අහන්නේ? ටික දවසකින් ඔන්න එකටත් උත්තරේ හම්බුනා රෝහලේ වැඩ කරන කෙනෙක් දන්නවා කිව්වා හොඳ තැනක්.

“ නෝනාම ගිහින් බලන්නකෝ.. හරිම හාස්කම් තියෙන තැනක්... ගිය කිසි කෙනෙක්ට වැරදුනේ නෑ... අඳුන බලලා සාස්තරේ කියන්නේ...”


දැන් ඉතින් පාරත් අහගත්ත රශ්මි එහෙටවත් ගිහින් බලනවා කියලා හිත හදා ගත්තේ උපුලි ගේ කන්දොස් කිරියාව නවත්තගන්න. මොකද කියනවනම් සාස්තර ගැන රශ්මිට නම් මෙලෝ විශ්වාසයක් නෑ.  

ඔන්න උදේ පාන්දරම යාලුවෝ දෙන්නා ගියා ඒ කියපු තැන හොයාගෙන. හප්පේ උදේම ගියා උනාට හෙන සෙනගක් ඉන්නවා ඒ වෙනකොටත්.

“ සාස්තර අහන්න ඉන්න අය පඬුරැ වශයෙන් රු.25ක් තියාගන්නවා හොඳයි...... ( ඒ කාලේ හැටියට රු 25 හෙන බර ගානක්)” දේවාලේ කපුවාගේ ගෝලයා ඇවිත් කියලා ගියා.

ටික වෙලාවකින් රශ්මිලගේ වාරෙත් ආවා.

“ ම්ම්ම් හා... තමුන් ආවේ නැති උන දෙයක් ගැන විමසන්න.... එහෙමද...?”

“එහෙමයි....”

ගුරා මද වෙලාවක් අඳුන දෙස බලා සිටියි...

“ ඔව්... මට පෙන්නුම් කරනවා.... දොරක්...”

රශ්මි බලා සිටියි... උපුලි බය වී මද පමණට වෙව්ලමින් සිටියි...

ටික වෙලාවක් අඳුන දෙස බලා සිටි ගුරා....

“ ම්හු මෙතන මොකක් හරි දෝෂයක් තියෙනවා.. හනුමන්තා දේවතාවුන් වහන්සේ දොර ළඟ ඉන්නවා එත් ඇතුලට යන්න බෑ... ඔක්කොටම කලින් ගෙදර තියෙන  දෝෂය ඉවත් කරන්න වෙනවා...”

දෝෂය කෙසේ වෙතත් රශ්මිගේ යකා නම් හිස මුදුනටම පැමිණි සෙයකි! එක පාරටම නැගිට දුන් පඬුරු ද ගෙන

“ ඔව්නේ හනුමා කොහෙද ගෙට යන්නේ යතුර මගේ අතේ නේ....?




Wednesday, December 19, 2012

පාර හරිද???


මාසෙකට විතර පස්සේ මාත් ගියා අනේ ක්ලාස් එකට.ඔක්කොටම කලින් කියලා ඔෆිස් එකට ගියා අලුතෙන් ටියුට් එහෙම දීලද බලන්න යන්තම් ඇති පරණ එකම තමයි තාම කොරනවා කිව්වේ. එත් ලෙක්චර්ස් තියෙන හෝල් එක මාරු කරලා. ඔඩිටෝරියම් එක ලගින් උඩට යන්නලු. මදැයි කොලා දැන් ඉතින් හොයපන්කෝ ඔඩිටෝරියම් එකක්! ඔන්න ඉතින් විනාඩි ගානක් ඇවිදලා ඇවිදලා එහෙ මෙහෙ ඇවිදින අක්කලා අයියලාගෙන් පාර අහගෙන ඔඩිටෝරියම් එක ළඟ ට ආවා එත් කෝ උඩට යන්න පඩිපෙලක් තියා ඉනිමගක් වත් නෑ නොවැ.


ඉතින් ඒ පාර මං අහල පහල ඉන්න අක්කලා දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා E4 හෝල් එක කොහෙද තියෙන්නේ කියලා.

 අදහන්න වටිනවා ඉතින් කියලා වැඩක් නෑ “එහෙම එකක් දන්නේ නෑ නංගියෝ “ එහෙම නැත්නම් අනිත් කෙනාගේ මුණ දිහා බලලා

 “ එහෙම එකක් තියෙනවද බන්..?” කියලා අහල මං දිහා මුණ බේරී කරන් බලන ගමන්  “ අනේ අපි දන්නෑ දන්න කෙනෙක්ගෙන් අහන්න”

ඔන්න ඉතින් අන්තිමට කියපු එකට නම් මට යකා නැග්ගා ඇයි යකෝ මුනේ ලියලා තියනවයෑ මං පාර දන්නවා මගෙන් අහන්න කියලා....?

ඇවිදලා ඇවිදලා කකුල් දෙකත් රිදෙනවා ඔන්න ඔහේ  ක්ලාස් එකේ ළමයෙක් එනකම් ඔෆිස් එක ලඟට වෙලා ඉන්නවා කියල ඉතින් එතන තිබුන පුටුවක වාඩි  වෙලා ඉන්න ගමන් පොඩි කල්පනාවකට වැටුනා.

ඔන්න එතකොට මගේ ඉස්සරහට පොල් ගහක් වගේ උස සහෝදරයෙක් ඇවිත් මගෙන් මොනවද ඇහුවා. ( මොනවද ඇහුවා කියල කිව්වේ ඉතින් ඇත්තටම මොකක්ද ඇහුවේ කියලා මට ඇහුනේ නෑ) මං ආයේ ඇහුවා මොකක්ද කියලා ( ඔන්න ඉතින් ආයේ මොකක්ද කිව්වා එකත් මට ඇහුනේ නෑ.) තව සැරයක් ඇහුවොත් ඉතින් මොකක්ද කියලා අනිවා මං චාටර් වෙනවා කියන එකනම් වෙනවා ඒ හින්දම මං ලේසිම උත්තරේ කිව්වා “ සොරි මං දන්නේ නෑ..”

“තෑන්ක්ස් නංගී...” කියාගෙන එයත් යන්න හැරුනා. ඔන්න එතකොටම ඔලුවට ආවා මේ මනුස්සයා ඇහුවේ ෆස්ට් ෆ්ලෝ එකට යන්නේ කොහෙන්ද කියල නේද! පව් අප්පා කතා කරනවා කියලා බලද්දී සෑහෙන දුරක් ගිහින්නේ නමක් දන්නෙත් නෑ ඔන්න ඔහේ කමක්නෑ කියලා ෆස්ට් ෆ්ලෝ කියලම කෑගැහුවා. අනේ ඇති යන්තම් මාව බේරලා එයා හැරුනා. ඉතින් ඒ උදව්වත් කළා .( හැබැයි අද නම් බොරු කිව්වේ නෑ)

ඉස්සර ඉදන් මගේ පොඩි අවුලක් තියෙනවා එහෙම කිව්වම ඉතින් ලොකු දේවල් හිතන්න එපා මේකයි අවුල. කවුරු හරි මගෙන් පාර ඇහුවොත් ඉතින් පාර දන්නවා උනාට පෙන්නලා දෙන්නේ වෙන පාරක්. ඇත්තටම ඉතින් ඒක හිතල කරන දෙයක් නෙමෙයි. ඔන්න ඔහොම පාර නොදැන පාර අහපු ලිස්ට් එකේ දන්න අඳුරන අය වගේම නොදන්න අයත් ඉන්නවා ඒ අය අතරේ අම්මා, නැන්දා, නේවී එකේ සහෝදරයෝ දෙන්නෙක්, මල ගෙදරක යන කස්ටියක් වගේ අය ඉන්නවා. 


දවසක් මෙමා බස් හෝල්ට් එකේ බස් එකක සම්ප්‍රාප්තිය බලාපොරොත්තුවෙන් ඇස් දල්වාගෙන බලන් ඉන්නකොට මෙමා ඉස්සරහා නැවැත්තුවේ නැතෑ හෙන සිරා හයිබ්‍රිඩ් කුලේට අයිති කාර් රාජයෙක්! මෙමා ත් ඉතින් බැලුවා කව්ද කියලා වාව් ආ.... ( ඒ වෙලාවේ එහෙම කියවුනේ නෑ එත් හිතුනා ) හෙන සිරා අයියලා දෙන්නෙක්නෙ.

“ නංගී  මේ ඇඩ්රස් එකට යන්නේ මොන පැත්තෙන්ද............?”

“ ආ.. ඔය ඉස්සරහ හම්බවෙන හන්දියෙන් දකුණට හැරෙන්න ....”

“තෑන්ක්ස්.... ඔයාත් යන්නේ ඒ පැත්තට නම් නගින්න.. අපි ඩ්‍රොප් කරන්නම්...”

ඔන්න එතකොට මෙමා ට පොඩි කාලේ ඉගන ගත්ත පාඩමක් මතක් උනා.නන්නාදුනන අය කතා කලවිට ඔවුන් සමග නොයන්න. හප්පේ සිරා උනාට කමක්නෑ බස් එකේම යනවා.

“ නෝ තෑන්ක්ස් මං ඒ පැත්තට නෙමෙයි යන්නේ..”

ඉතින් එකත් ගියාට පස්සේ මෙමා ආයේ බස් කටුවක් එනවද කියල පාර දිහා බලන් ඉන්නකොට තමයි දෙයක් මතක් උනේ! 7 ඉලව්වයි ! පාර කිව්වේ වැරදියට නේ!

දැන් ඉතින් මොනවා කරන්නද පාර වැරදුනාට කමක්නෑ බස් එක එන්න කලින් මෙතනට නම් ආපහු එන්න නම් එපා කියලා දෙයියන්ට කිය කිය ඉන්නකොට ඔන්න බස් එක ආවා.

මෙමා බස් එකෙන් බැහැලා ගෙදර ගේට්ටුව ඇරගෙන ආවා. අහ්හ්....... කව්ද ඇවිත් වගේ යකෝ අද දකින්නෙම හයිබ්‍රිඩ් නේ කියලා හිතාගෙන ගේ ඇතුලට ආවා.

හුටා! ( ඒකනම් ලාවට වගේ කටින් පිට වුනා) මෙන්න අර ජෝඩුව අපේ ගෙදර!

මට නම් දැන් මාන්දවිකයි  වගේ තාම මෙමා එකම තැන හිටගෙන. අර ජෝඩුවත් එහෙමයි ( මෙමා දිහා හැරිලා බලාගත්ත ගමන් මයි ) එතකොට තමයි මෙමා ගේ මව් තුමිය සබයට ආවේ.

“ ආ පුතේ තේ බොන්න... ඔයා දැන්ද පුතේ ආවේ..? ඔයාට මතකද මේ අයියලා දෙන්නව...?”

අප්පේ මේ මොකක්ද මේ වෙන්නේ මගෙන් මෙයාලව අදුරනවද අහන්නේ...?

“නෑ අම්මේ..”

“ඇයි ළමයෝ අපි ක්වාටස් වල ඉන්නකොට ඒ කාලේ ඔයාත් එක්ක සෙල්ලම් කරපු ළමයි දෙන්නව අඳුනගන්න බැරිද...?"

හපොයි මේ ඒ රිලව් දෙන්නද?  ඔන්න ඒ අස්සේ අර මෙමා ගෙන් පාර  අහපු සහෝදරයා  කටහඩ අවදි කොලා.. ඉතින් කියන්න දෙයක් නෑ කාලා හමාරයි තමයි.

“ හානේ අපිටත් අඳුනගන්න බැරි උනානේ මෙයාව. මෙයා නිසා තමයි ආන්ටි පාර වැරදුනේ...”

  



Sunday, December 16, 2012

මුන් ලොකු වෙනකොට කොහොම වෙයි ද?


මේ කතාවත් පොඩි එවුන් ගැනම තමයි. මගේ මාමට ඉන්නවා පොඩි කොල්ලෝ දෙන්නෙක්. මේ සිද්දිය වෙන කාලේ ලොක්කා මොන්ටිසෝරි යනවා.පොඩි එකා තාම ගෙදර. 



ඔහොම ඉතින් කාලේ ගෙවිලා ගියා ලොකු කොල්ලගේ මොන්ටිසෝරියේ කොන්සට් එකත් ළඟ ළඟම එනවා මේකා වැදි නැටුමකටයි තව මොකක්ද සින්දුවකටයි ඉන්නවලු තව ඉතින් අන්තිමට ජාතික ගීය හැම ළමයාම කියන්න ඕනේ  ඒකට ඉතින් ජාතික ගීය පුරුදු වෙනවා “ශ්‍රී ලංකා මහතා....” කොච්චර කිව්වත් අහන්නේ නෑ මහතා කියලමයි කියන්නේ මාත් ඉතින් කට වහගත්තා .අනික තමයි  මූ ගෙදරදීත් වැද්දෙක් වගේ නටන එක. හූ කියනවා එකම විකාරයි.අපි ඔක්කොම වගේ ඇඟිලි ගැන ගැන හිටියේ මේක කවදා ඉවර වෙයි ද  කියලා.ඔන්න දවසක් අක්කයි ( ලොකු අම්මගේ දූ පොඩ්ඩ) මමයි පොඩි කයියක් දාගෙන ඉන්නකොට මාමා එතනට ආවා.

“ ආ ළමයි දෙන්නා....”

“කොහොමද මාමේ...”

“ මට දෙන්නගෙන්ම පොඩි උදව්වක් ඕනේ....”

“මොකක්ද මාමේ අපි කරලා දෙන්නම්...” ඔන්න අක්කා මැදට පැන්නා. ඕකනේ ඉතින් මගේ ප්ලෑන අක්කා කයි වගේ.. ( මන් හිතුවේ ඉතින් අද කාලේ කව්ද උදව්වක් උනත් නොමිලේම කලේ නේද?) වැඩේ තව කන්න කලින් මන් කතාවට අවතීර්ණ උනා.

“ හරි මාමේ දැන් ඕක කලාම අපිට මොනවද දෙන්නේ...? ඔන්න අඩුම තරමේ චොක්ලට් එකක් වත් ඕනේ....”

“ මොකටද චොක්ලට් ? මන් ගානේ දෙන්නටම එදාට ලන්ච් එක...”

හප්පේ කව්ද එහෙම එකක් හිතුවේ මරු  මරු ඔන්න අක්කයි මම යි දෙන්නම වැඩේ මොකක්ද කියලවත් අහන්නේ නැතුව කොන්ත්‍රාත්තුවට සයින් කොලා. ඔන්න ඊට පස්සේ තමයි අපි ඇහුවේ මොකක්ද දැන් කොරන්න තියෙන්නේ කියලා.

“ ආ... වැඩි දෙයක් කරන්න නෑ.... අනිද්දා ලොකු  මල්ලිගේ  කොන්සට් එක ඉතින් ඔයාල දෙන්නට තියෙන්නේ එයාගේ අයිටම් එකට කලින් එයාට ඇදුම් ටික අන්දන්න විතරයි..”

අපොයි කාලා හමාරයි !

ඔන්න ඉතින් ඔය කියන කොන්සට් එක දවසත් උදා උනා.....

ඔන්න දැන් වැදි  නැටුමට ඉන්න ළමයි ලෑස්ති කරන්න කියලා මොන්ටිසෝරියේ චුටි ටීචර් කෙනෙක් දුවගෙන ඇවිත් කිව්වා දැන් ඉතින් අක්කයි මායි වැඩේ පටන් ගත්තා ඔන්න අනිත් ළමයින්ටත් එයාලගේ කස්ටිය අන්දනවා කොළ අතු ඉන වටේ ගැටගහනවා එකම විකාරයි. ඔන්න එතකොට තමයි ඉතින් තරු පේන වැඩක් උනේ.

කෝ මේකා ට අන්දන්න කොළ අතු?!

“එයි කෝ ඔයාට අන්දන්න කොළ දෙනාවේ නැද්ද තාත්තා....?” මන් ඇහුවා

“මන් දන්නේ නෑ....”  මල්ලි කියපි

ඔන්න ඒ වෙලාවේම මාමා ත් එතනට ආවා වැඩේ හරිද බලන්න

“ මාමේ කෝ මෙයාට කොළ...?”

“ හුටා! මට අමතක උනානේ! ඔහොම ඉන්නකෝ මන් පටාස් ගාලා එනවා ....”

එහෙම කියලා මාමා එලියට ගියා එත් ඇතුලට ආපු දොරෙන් නම් නෙමෙයි එලියට ගියේ ජනේලෙන්! හපොයි මාමට මොකද මේ උනේ කලබලේට සිහිය වත් විකල් උනාද දන්නෙත් නෑ! අනික අපි හිටියේ දෙවෙනි තට්ටුවෙනේ! අක්කයි මමයි ජනේලේ ළඟ ට දුවගෙන ගියා.

ජනේලේ ළඟ තිබුනේ රඹුටන් ගහක්. මෙන්න මාමා රඹුටන් ගහ දිගේ බඩගානවා. ඔන්න ටික වෙලාවකින් රඹුටන් අතු ටිකක් කඩාගෙන ශේප් එකේ ජනේලෙන්ම  ඇතුලට ආවා. කොහෙන්ද මන්දා හොයාගත්ත ලණුවකින් අර රඹුටන් අතු ටික කොල්ලගේ ඉන වටේ ගැටගැහුවා. 


මේ වගේ නම් නෙමෙයි ඒකා හිටියේ මොකද පින්තුරේ ඉන්න එකා කලුයිනේ අපේ කොල්ලා සුදු වැද්දෙක්
ඔන්න ඉතින් සිරාවට වැඩේ යනවා ඒ කියන්නේ මුන් ටික වැද්දෝ වගේ නටනවා අපිත් උඩ  තට්ටුවේ ඉදන් බලාගෙන ඉන්නවා.  ඔය අතරේ ඉතින් අර ස්ටේජ් එකේ නටන සුදු කැකුලා ගේ පොඩි කැකුලා හිටියේ අපිත් එක්ක ඒ කියන්නේ අක්කයි මායි එක්ක. පොඩ්ඩාගේ එහා පැත්තෙන් හිටිය පොඩි කෙලි පොඩ්ඩක්. ඔන්න එක පාරටම අපේ එකා අර කෙලි පොඩ්ඩ ව ලඟට ඇදලා අරගෙන කිස් කොලා !


හුටා! මොකක්ද ඒ උනේ! අක්කටයි මටයි එලොව මෙලොව නෑ.... ඔන්න ඒ එක්කම අර කෙලි පොඩ්ඩ හූ තියල අඩන්න පටන් ගත්තේ නැතෑ 


හපෝ තව ටිකක් මෙතන හිටියොත් කන්න වෙනවා ආයේ ඇඩ්රස් නැති වෙන්නම ඔන්න ඒ අස්සේ අර කෙලි පොඩ්ඩ ගේ තාත්තා වගේ කෙනෙක් මේ පත්ත්තට එනවා.  ආයේ හිතන්න දෙයක් නෑ අර අපේ බිං ඌරාවත් ඇදගෙන අක්කයි මායි එතනින් මාරු...





Friday, December 14, 2012

හෙට දවසේ ලොක්කන්ගේ අද කාලේ පොඩි වැඩ....


අදකාලේ පොඩි එවුන් ගැන ඉතින් කුමන කතාද කියලත් හිතෙනවා වෙලාවකට අර කියනවා වගේ පැහිලා හොදටම පැහිලා විතරක් නෙමෙයි ඉදිලා. ඒක එක අතකට ඒ පොඩි එවුන්ගේ වැරැද්ද නෙමෙයි දැන් කාලේ වැරැද්දනේ.




ඔන්න දවසක් මං  ක්ලාස් ඇරිලා බස් එකේ ගෙදර යනගමන්. මං  වාඩි වෙලා හිටියේ  පිටිපස්සෙම ෂිට් එකට ඉස්සරහා ෂිට් එකේ මේ බස් එක කොච්චර හොඳ ද කියනවනම් මහරගම ඉඳන් පන්නිපිටියට යන්න විනාඩි 20ක් ගියා ඒ මදිවට හවස වැඩ ඇරිලා යන, ක්ලාස් ඇරිලා යන අපි වගේ ළමයි වගේ එකී මෙකි නොකී හැමෝම බස් එකේ ඇත්තම කිව්වොත් බස් එකේ කට කපලා සෙනඟ. බස් එක තාම ගාටනවා මොකට මෙහෙම ගාටනවද මංදා කොහොම උනත් මන් ඉතින් එක දන්න නිසාම බස් ස්ටෑන්ඩ් එකටම ගිහින් බස් එකට නගින්නේ නැත්නම් මේ වෙලාවට මගින් නැගලා යන්න වෙන්නේ අනිවා  හිටගෙන කියලා දන්න නිසාමයි.

හවස බස් එකේ යනවා කියන්නේ ඉතින් නොමැරී මැරෙනවා වගේ තමයි. ඔන්න වෙලාවකට එනවා දොඩම් සුවඳක් ටික වෙලාවකින් මාළු ම්ම්ම් තව පාන් සුවඳක් ඒ වගේම තමයි දාඩිය ගඳ හම්මේ වැස්ස දවසකට  එහෙම හවස බස් එකේ යනකොට සැප නහයේ

ඔහොම බස් කොට කොට යනවා මන් හිටපු ෂිට් එකට පිටිපස්සේ ෂිට් එකේ හිටියේ අම්මෙකුයි අවුරුදු 04 ක විතර පොඩි කොලු පැටියෙක් ඔන්න ටික වෙලාවකින් ඒ පොඩි එකා කතාව පටන් ගත්තා....




“ අම්මේ ඇයි අම්මේ මේ බත්  එක යන්නේ නැත්තේ......?”

“මේ යන්නේ පුතේ බස් එක...”

“ නෑ අම්මේ ඇයි හිමින් යන්නේ........”

අම්මා කතා නැත පොඩි එකා නැවතත් එයම අසයි

“ ඇයි අම්මේ මේ බත්  එක හිමින් යන්නේ...? මේක කැඩිලා ද..?”

අම්ම කතා නැත. පොඩි එකා නැවතත් කට හඬ අවදි කළේය.

“මේ බත්  එක කැඩිලාද යකෝ........?”


                      ඔන්න ඔහොමලු ඉතින් උනේ...................





තව දවසක් එත් මං ක්ලාස් ඇරිලා එද්දී බස් එකට නැග්ගා ඉදගන්න ඉඩ තිබුනේ නම් නෑ ඉතින් මන් හිටගත්තා ෂිට් එකේ අයිනේ ඉඳගෙන හිටියේ තාත්තේකුයි චූටි කොලු පැටියෙකුයි. පොඩ්ඩා නම් තාත්තගේ අතේ හිටියේ අවුරුදු 03ක් විතර ඇති පොඩ්ඩට . ටික වෙලාවකින් තාත්තගේ අතේ හිටපු පොඩ්ඩා හිටගෙන අනිත් පැත්ත හැරුනා. පිටිපස්ස ෂිට් එකේ ඒ කෙලින්ම  හිටියේ ඕ ලෙවල් ක්ලාස් යන නංගී කෙනෙක්(එයාගේ අතේ තිබුන ටියුට් එකෙන් තමයි හොයාගත්තේ:D කොහොමද මගේ රහස් පරීක්ෂක වැඩ:P). මෙන්න පොඩ්ඩා අර නංගී දිහාට අත් දෙකම දික් කරගෙන සින්දුවක්  කියන්න පටන් ගත්තා. 


“මත ඔයා මගේ පණ වගේ... ළඟ නැතත් මගේ ළඟ වගේ....”

හප්පේ මාරයි ලස්සනටම කියනවා එච්චරයි කියන්න දන්නෙත් (අර තරු තරගේකට ගියානම් අනිවා තේරෙනවා)  අර නංගී නම් රතු වෙලා ලැජ්ජාවටම. බස් එකේ අය හිනා වෙනවා තව කට්ටියක් බනිනවා ඒ අස්සේ අර පොඩි එකා තාම සින්දුව කියනවා.......

“මත ඔයා මගේ පණ වගේ............”



Thursday, December 13, 2012

12.12.12 දා


අද මාත් ගියා පොඩි වෙනසකටත් එක්ක සූ එකට. කියාගන්න බෑ මෙලෝ රහක් නෑ ශිකේ ආපු ගොන් කම කියලා හිතුනා එත් මොනවා කරන්නද ටිකට් එක ආපහු දීලා සල්ලි ඉල්ලන්නද ....? ඉතින් ඔන්න ඔහේ රුපියල් 100 ට හරියන්න ඇවිදලා එනවා කියලා හිත හදාගෙන ගියා.

මන් ඉතින් කවද්ද පිළිවෙලකට වැඩක් කලේ අංක 1 ඉදන් බලන්නම කියලා නීතියක් නෑ නේ කියලා මින් මැදුරට යන්නැතුව මන් ගමන ආරම්භ කලේ අර පාට 2 කේ සත්තු ඉන්න පැත්තෙන් අහ්හ් ඒ කිව්වේ අර සීබ්‍රා  කියන කළු සුදු කෙනා. මාත් ඉතින් ඔහේ ඇවිදගෙන යනවා  එක සතෙක් වත් කෑ ගහන්නේ නෑ මට එතකොට තමයි තේරුනේ  අපි ඉස්කෝලෙ ඉන්නකොට එහා පන්තියේ මිස් ඇවිත් අපිට කෑගහන්නේ....... “ මේක හරියට සත්තු වත්තක් වගේනේ .......”  කියන එකේ තේරුම ( ඒ කියන්නේ කිසි සද්දයක් නෑ කියලනේ :P මේකේ හැටියට එහෙම තමයි වෙන්න ඕනේ)

ඇවිදින ගමන් මැකෝ සෙට් එකක් දැක්කා හ්ම්ම් තව උකුස්සෝ සෙට් එකකුයි මුහුදු රාජාලියෝ නඩේකුයි. ඔන්න ඔය අස්සේ තමයි මන් දැක්කේ කලින් දැකපු නැති සතෙක්ගේ නමක් තියෙන කූඩුවක් “කොමොඩෝ ඩ්‍රැගන් (Komodo dragon) මොකෙක්ද අප්පේ ඒ ! කෝකටත් පස්සට වෙලා ඉන්න ඕනේ මොනවා උනත් ඩ්‍රැගන් කෙනෙක්ලුනේ  කව්ද දන්නේ ගිනි පිඹින මකරෙක්ද කියලා. මන් ඉතින් බැලුවා කෝ කියලා ම්හු... කෝ නෑ නේ ......!  මූ කොහේ ගිහින් ද? අපි එයාව බලන්න යනකොට එයා වෙන කෙනෙක් බලන්න ගිහින්ද මන්දා ( එහෙම වෙන්නත් බැරි නෑ නේ නේද?) වැඩක් නෑ ඔන්න ටික වෙලාවකින් කොහෙද මුල්ලක ඉදන් සතෙක් ආවා ආ හරි මෙන්න ආවා  කොමොඩෝ ඩ්‍රැගන්..! මොකක්...! මේ මොකෙක්ද...? මූ මේ කොහෙද යන ලේනේක්නේ  ශිකේ දෙවෙනි පාරටත් මගේ බලාපොරොත්තුව දියවුනා.

කමක්නෑ  ඔන්න ඔහේ බෝඩ් කෑල්ලේ ලියලා තියෙන ටිකවත් කියවලා යනවා කියලා බැලුවා. මූ වඳ වීගෙන යන සතෙක් ලු! හුටා ඒ කියන්නේ මෙතන හිටපු එකාට මොකද උනේ ...


මේ ඉන්නේ ඒ කියපු එකා තමයි

ඉතින් මන් රිලව් , බැබුන් ,ඔරන් ඔටන් ලා කට්ටිය බලන් එනකොට එනවුන්ස්මන්ට් එකක් දෙන්න ට්‍රයි දෙකක් දෙන සද්දේ ඇහුනා ආයේ ඕක මොකක්ද ඉතින් ෂුවර් එකට අහවල් අය සමග පැමිණි අහවලා මගඇරී ඇත අහවල් අය අහවල් තැන මගබලා ගෙන ඇත වහාම අහවලා එතනට වාර්තා කරන්න කියල තමයි කියන්න යන්නේ.

වැඩේ කියන්නේ එහෙම එකක් නෙමෙයිනේ කිව්වේ ...

“අහවල් තැන , අහවල් පාරේ, අහවල් ප්‍රදේශයේ සිට පැමිණි අහවල් මහතා අද පළමු ප්‍රශ්නයට පිළිතුරු දී ජයග්‍රාහකයා බවට පත්ව ඇත.....”

ඒ මොකක්ද ඒ.. වෙනදා එහෙම එකක් තිබුනේ නෑ නේ! මන් වැරදිලා වෙන සත්තු වත්තකට වත් ආවද මන්දා. නෑ මට වැරදිලා නෑ ඒ කියන්නේ අලුත් වැඩක් සූ එකේ කට්ටිය පටන් අරන් වගේ. මොනවා උනත් හොදයිනේ. මට ඊළඟට කල්පනාවට ආවේ මොනවද දන්නෑ තෑග්ගට දෙන්නේ කියලා.  ගිෆ්ට් වවුචරයක් වගේ දෙනවනම් දෙවෙනි ප්‍රශ්නේ අහනකොට මටත් උත්තර දෙන්න බැරියෑ කියල හිතනකොටම ආයේ නිවේදකයා කෑගහන්න පටන් ගත්තා



“අද ජල ජීවී දිනය වෙනුවෙන් අසන ලද පළමු ප්‍රශ්නයේ ජයග්‍රාහකයා වන අහවල් මහතා හට මුහුදු සිංහයා සමග සජීවී ඡායා රූපයක් සදහා පෙනී සිටීමේ අවස්ථාවක් හිමි වේ. කරුණාකර ඒ මහතා පස්වරු 3 වනවිට මින් මැදුර වෙත පැමිණෙන්න.......”



මරුනේ අද ජල ජිවී දිනේ ලු ..... මරු දවසකනේ මාත් ඇවිත් තියෙන්නේ. ඒ වැඩෙත් මරු තමයි එත් ඉතින් කෝ දෙවෙනි ප්‍රශ්නේ? මන් වෙලාව බැලුවා. හපෝ තාම 12.30 යි අර මනුස්සයා ඉතින් හිටපන්කෝ 3 වෙනකම්. මාත් දෙවෙනි ප්‍රශ්නෙයි එකට උත්තර දීමයි අතැරලා ඉතුරු සත්තු ටික බලන්න ගත්තා.

ඒ ටිකේ හිටියේ සිංහයෝ, වලස්සු වගේ කට්ටිය එත් එකෙක්වත් ඇහැරිලා නම් හිටියේ නෑ බීලා වගේ වැටුන වැටුන තැන ඔක්කොම නිදි. මොනවා වෙලාද මන්දා... කොටියෙක්නම් ඇහැරිලා හිටියා එත් නිදි වගේ තමයි වැඩි වෙනසක් නෑ..


මන් ඒ ඔක්කොම බලලා 2 වෙද්දී එලියටත් ආවා. අර ප්‍රශ්නෙට උත්තරේ දුන්න මනුස්සයා 3 වෙනකම් ඉන්නවා ඇති හොද වෙලාවට දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියේ නැත්තේ. 


ප.ලි .....කැමරාවක් නැති දුක ඊයේ මට ආයේ දැනුනා කොහෙද ඉතින් මගේ කෑලි දෙකේ ජංගමයගේ වත් කැමරාවක් නෑ නේ.

ප.ලි  02......මට තව දෙයක් හිතුනා කැලේට වෙලා නිදහසේ ජිවත් වෙච්ච සත්තුන්ට  මේ සත්තු වත්තේ  නිදහස විතරක් නෙමෙයි හැමදේම සීමා කරලා නේද කියලා.  

Friday, December 7, 2012

හීනය බොඳ විය..............



07/12/2012

               


            අද මොන දවසක් ද කියන්න මන් දන්නේ නැහැ මොකද දවස පටන් ගත්ත වෙලාවේ ඉදන් මොකක් හරි දෙයක් හින්ද මගේ ඔලුව රිදෙන්න පටන් අරගෙන තිබුනේ. එත් මන් හිතුවේ නැහැ මගේ ජීවිතේ තිබුන ලස්සන හීනයක් නැති උනා කියන පණිවිඩේ අහන්න ලැබෙයි කියලා. අපේ ඉස්කෝලේ ප්‍රයිස් ගිවින් එක කියන්නේ අපේ පාසල් ජීවිතේ ලබන්න තියෙන උසස්ම අත්දැකීම් වලින් එකක් කිව්වොත් මන් හරි. මොකද කියනවනම් ප්‍රයිස් එකක් තියෙන ළමයෙක්ට ඇරෙන්න වෙන ළමයින්ට ඒක බලන්න වත් හම්බවෙන්නේ නැති අවස්තාවක් නිසා. ඔන්න ඉතින් පොඩි පන්ති වල ඉන්නකොට පන්තියේ පලවෙනියෝ ටික හරි සබ්ජෙක්ට් වලට මුළු ශ්‍රේණියෙන්ම වැඩිම ලකුණු ගත්ත යට ඔය ප්‍රයිස් ගිවින් එකට යන්න අවස්ථාව හම්බවෙනවා ඕක හැමදාම වගේ තිබුනේ ඉස්කෝලේ ඉවර උනාට පස්සේ ඉතින් අපි පහුවෙනිදට ප්‍රයිසස් ගත්ත ලමයින්ගෙන් අහනවා කොහොමද? මොකද උනේ? කොයි විදිහටද තිබුනේ ? ඔන්න ඔය වගේ ප්‍රශ්න. මටත් ආසාවක් තිබුනා ප්‍රයිස් එකක් ගන්න ඒ දැකලා නැති අත්දැකීම විදගන්න.අවාසනාව කියන්නේ පන්තියේ වැඩිම ලකුණු මිසක් ශ්‍රේණියේ වැඩිම ලකුණු අතරට යන්න බැරි උනා 10 වසරට එනකන්ම. එත් ඉතින් කොහොම හරි 10 වසරේ ඉදන්ම එක විෂයකට 12 වසරට එනකන්ම ප්‍රයිස් එක ගන්න මට පුළුවන් උනා. අර කියනවා වගේ ලැබෙනකොට තන්හාව වැඩිවෙනවා වගේ 13 වසරේත් ප්‍රයිස් එක ගන්න හීන මැවුවට ටර්ම් ටෙස්ට් එකට යන්න උනේ නෑ ඩෙංගු හැදුන නිසා. ඔන්න ඔහේ කමක්නෑ කියලා හිත හදාගත්තා. එත් තව දෙයක් හිතේ තිබුනා එත් මන් හිතුවේ නෑ එච්චර දුරකට මට යන්න පුළුවන් වෙයිද කියලා.  
           
            අපි ප්‍රයිසස් ගන්න ඉන්නකොට ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් සිලෙක්ට් උන අක්කලා එනවා ප්‍රයිස් ගිවින් එකට සුදු සාරියක් හරි ඔසරියක් හරි ඇඳලා කොන්ඩෙ බැඳලා  නැත්නම් ගොතලා. එකත් මාර ලස්සනයි පොඩි කාලේ ඉදන්ම අපේ හිතේ තිබුනේ ඒ තැනට යන්න නම් සුපිරිම මොළයක් තියෙන්න ඕනේ කියන එක ඒ කියන්නේ ඉතින් වැඩේ ලේසි නෑ කියන එක. අපේ ගුරුවරුත් ඒ දේ හැමතිස්සෙම කිව්ව නිසාමද මන්ද අපිටත් අසාවක් තිබුනා ඒ ලෙවල් කරලා ඒ වගේ තැනකට ඇවිත් ප්‍රයිස් ගිවින් එකට එන්න. අනිත් එක තමයි අභියෝගතා කුසලානේ එකනම් ඉතින් හීනයක්ම තමයි බන් කියල අපි කිව්වේ.

            ඔන්න ඉතින් අපි ඒ ලේවලුත් කළා හිතාගන්නත් බෑ අපතයා වගේ මහ අපත විදිහට එක්සෑම් කරපු මටත් කැම්පස් යන්න පුළුවන් ඒ දවස් වල නම් පුදුම සතුටක් තිබුනේ. මටත් අන්තිම පාරට ප්‍රයිස් ගිවින් එකට යන්න පුළුවන් කියලා.

            අද ලියුමක් ආවා මගේ නමට ඉස්කෝලෙන් එවලා තියෙන්නේ කියලා අම්මා මගේ අතට දුන්නා.  ලියුමේ උඩින්ම තිබුනේ මෙහෙම  

                        “............. විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2011”

මට ඉතුරු ටික කියවන්න තරම් සිහියක් තිබුනේ නෑ මන් අම්මව බදාගෙන කෑ ගහනවා මටත් ප්‍රයිස් එකක් කියලා.

“ඉතින් ඉතුරු ටිකත් කියවන්න ළමයෝ කවද්ද තියෙන්නේ කියල  බලන්න.....”   අම්ම කිව්වා

ඒ ටික කියවනකොට තමයි මගේ ඇස් වලට කදුළු ආවේ

“අප විද්‍යාලයීය 2011 වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2012 දෙසැම්බර් මස 04 වන අගහරුවාදා ප.ව 1.30 ට .............................................. මැතිනියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ත්‍යාගලාභිනියක  ලෙස එම උත්සවයට සහභගී වන මෙන් .................................. මෙයින් ඇරයුම් කරමු.”

මොනවා කරන්නද ලියුම පරක්කු වෙලා ආවට. පස්සේ ඉතින් ඉස්කෝලේ මට උගන්නපු මට ලගින්ම හිටපු මිස් ට කෝල් කළා

“ඇයි ළමයෝ ඔයා ආවේ නැත්තේ.....? ප්‍රයිසස් 2කක් එක්ක අභියෝගතා කුසලානයක් ගන්න ළමයෙක්ට හම්බවෙන්නේ කොච්චර කලාතුරකින්ද.....? මන් කොච්චර කතා කලාද ඔයාගේ ෆෝන් එකට එකත් වැඩ නෑ.....”
ඔහොම කියනකොට මගේ හිත තවත් රිදුන එක ඇරෙන්න තව මුකුත් උනේ නෑ.



ප.ලි ........ මේ ලිපිය මගේ හිතේ දුකට ලියවුන දෙයක් පමණි. මගේ ආඩම්බරකමක් හෝ වෙනත් දෙයක් අරභයා ලියුවක් නොව. කියාගන්න කෙනෙක් අන්තිමට නැති විය හිතේ දුක මෙසේ අකුරු විය.  මේක කියවනකොට හිතෙයි මේකත් මොකක්ද කියල එත් මගේ පුංචි ලෝකෙට මේක මහා ලොකු දෙයක්:(



Thursday, December 6, 2012

රජ කකුල


මංගල යෝජනා කිව්වම ඉතින් මොනවද මතක් වෙන්නේ කියල අහන්න දෙයක් නෙමෙයිනේ වෙන මොකක්ද ඉතින් යෝජනාවට පස්සේ එන්නේ මගුල නේ ?

 මගුල කිව්වම හිතන්න එපා අර ටිකක් තද උනාම ඕනේ මගුලක් කරගන්න කියනවා කියලා. මේ කියන්නේ ඔරිජිනල් මගුල් ගැන. ඒ කිව්වේ සිංගල් දිවියට සමු දීලා යුග දිවියක් පටන් ගන්නවා කියන එක හරිය?




මේ මංගල්‍ය ගැන කියනකොට ආදර සහ යෝජිත විවාහ කියලා දෙකක් තියෙනවලුනේ? ආදර විවාහ වල නම් ගොඩක් ප්‍රබේධ තියෙනවලු එත් යෝජිත විවාහවල මුලිකව තියෙන්නේ දෙකයි ලු.

එක තමයි බඳින්න කල වයස ආවාම ඔය දන්නා කියන කට්ටියගෙන් එන යෝජනා

දෙක තමයි කල වයස පහු උනාම බැරිම තැන මංගල දැන්වීම් තීරුවේ සහය පතන එක

(මන් නම් ඉතින් ඉහත කී කරුණු නම් වැඩිය දන්නේ නෑ කියන්නෝ තමයි කිව්වේ )

දැන් තමයි ඉතින් කතාව කියන්න යන්නේ........

අපි ඉතින් ඒ ලෙවල් කරන කාලේ ඔය ලන්ච් බොක්ස් ගෙනියන පුරුද්දක් තිබුන කට්ටිය එහෙම නෙමෙයි බත් මුලක් ගෙනිච්චා  මොකද කියනවනම් කෑවා අත හොද ගත්තා වැඩේ ඉවරයිනේ ? ආයේ ගෙදර උස්සගෙන යන්න දෙයක් නැනේ?


ඉතින් දවසක් සෝඩියම් ( මගේ අඹයෙක් ) බත් එක ඔතාගෙන ආවේ මංගල යෝජනා තියෙන පත්තර පිටුවක. කට්ටිය ඉතින් පත්තර පිටුව දැක්ක ගමන් කෑම පැත්තක තියල පත්තරේ පොඩ්ඩක් බැලුවා (ඉස්සරහට අපිටත් ඕවගේ එකක් ලියන්න උනොත් එහෙම දැනගෙන ඉන්නත් එපැයි) ඔන්න එතකොට තමයි මේක දැක්කේ.

“මහනුවර බොදු  රජ    කකුල. අවු: 29 ක් වන උස අඩි 5’6ක් වන ව්‍යාපාරික පවුලක ව්‍යාපාරික පුතුට මනාලියක් මව සොයයි. “




තේරුනාද බලන්නකෝ...........:P




Sunday, December 2, 2012

උණ...... උණ......... උණ.......


උණ කිව්වම එක එක ජාතියේ උණ මතක් වෙනවනේ? මේ කියන්නේ මට උණ හැදිලා ඉන්න දවස් වල මන් නටපු නාඩගමක් ගැන පොඩි කතාවක්,





ඔන්න ඉතින් මන් ඉස්කෝලේ යන කාලේ උණ හැදිලා ගෙදරට වෙලා ඉන්නවා. වෙලාවකට උණ හැදෙනවා කියන එකත් ඒ කාලේ හැටියට හෙන වාසියක්. මොකද කියනවනම් ඉතින් පොඩි නිවාඩුවකුත් හම්බ වෙනවා අනික තමයි ඉතින් ඔක්කොම මාව බලන්න එනකොට කන්න ආස මොනවහරි උස්සන් එනවනේ. මාත් ඉතින් ඕවා කකා පොතක් කාරිය බලන් ඇඳට වෙලා විවේක සුවයෙන් පසු වෙනවා.

මන් 10 වසරේ ඉන්නකොට ඉතින් ටර්ම් ටෙස්ට් එක ළඟ ලගම එද්දී ඔන්න මට හැදුනා උණ මටත් හෙන හැපී මොකද ඉතින් උණ පිටින් දාලා ටර්ම් ටෙස්ට් එක කට් කරගන්න පුළුවන්නේ. එත් මේ පාර නම් වැඩේ අල උනා මොකද මේ උණ නම් මොකක්ද මන්දා  ගානටම වැටෙන්න හොදටම අමාරු උනා පොතක් බලන්න තියා ඇහැක්  ඇරගෙන ඉන්නවත් බෑ.... ඉතින් ඔන්න ඔහොම ඉන්නකොට මන් දැක්කා අම්මා මට තෙකකුත් හදාගෙන එනවා... එච්චරයි  මතක............... දඩි බිඩි ගාලා මාව කව්ද මන්ද හොලවනව!

දෙයියනේ ලෝක විනාසේ වත් ද? භූමි කම්පාවක්ද? නෑ ...... නෑ... එහෙම වෙන්න විදිහක් නෑ.. ඔහ්..! නෑ නෙමෙයි වෙන්නත් බැරි කමක් නෑ හයියෝ

“පුතේ ... පුතේ ... මොකද මේ කතා කරන්නකෝ....”

ඔන්න තේරුනේ දැන් තමයි වගේ. බොලේ මේ අපේ  අම්මනේ! තාම මගේ අත් දෙකෙන් අල්ලගත්ත ගමන්

“ ඇයි අම්මේ ......?”

“මොනවද ළමයෝ මේ කියවන්නේ........? මාවත් භය කරනවා .... පිස්සුද.....?”

“ඈ...හ්! මන් මොනවද කලේ......?”

“කලේ තමයි ඒ කෑ ගහපු කෑ ගැහිල්ලට තාමත් මාව ගැහෙනවා.......?”

“කෑ ගැහුවේ නෑ...? එතකොට මමද ළමයෝ කෑ ගැහුවේ.... අම්මේ ඔය මලේ කරන්ට් එක තියෙනවා අල්ලන්න එපෝ කියලා.......”

ඔන්න ඔහොමයි ඉතින් උනේ.........

ඒ එක කතාවක්නේ මේ තව මන් කරපු තව  විකාරයක් ___________________________________

මේකෙදිත් ඔන්න මන් උණ හදාගෙන විවේක සුවයෙන් ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් රෑ අම්ම මන් නිදාගෙන ඉන්නකොට ඇවිත් කිව්වා

“පුතේ උදේ 2 ට බෙහෙත් බොන්න තියෙනවා එලාම් එක තියන්න ....”

ඉතින් මගේ ෆෝන් එක තිබුනේ ඇඳ උඩ. ඒ එක්කම වගේ මගේ ඔලුවට දාන්න ගෙනාපු ඕඩි කොලොන් බෝතලේකුත් තිබුනා.මන් ඉතින් ෆෝන් එක අරගෙන එලාම් එක තියනවා. එතකොටම වගේ අම්මා ඇවිත් මගේ අතින් ෆෝන් එක අරගෙන මට බනිනවා හෝ ගාලා...

“මොකෝ අම්මේ ෆෝන් එක ගත්තේ...? මන් එලාම් එක තියන්නනේ හැදුවේ.....”


“හොද එලාම් එක.. මොකක්ද ළමයෝ මේ කරන්නේ ඕඩි කොලොන් බෝතලේ ඇඳ පුරාම හලාගෙන...?”