Monday, September 21, 2020

දිලිසෙන තරුවට සෙනෙහසින්

මතකද 

ඒ තෛයි පොංගල් දවස 

දකින්නට  පෙරුම් පුරමින්  උන්නා 

අපි අපිව .... 

ගාලු කොටුව පෙනෙන මායිමේ 

සමනළ පාලමට එහායින් 

මං  හිටියා වරුවක් 

පරක්කුයි....

අසරණ උනා මං 

ලෝකයා ලඟින් යනගමන් 

මුමුණපු කතා වලට 

ඒ අතරම ආපු ඔයා 

බය උනා.... 

ලෝකයා දකිනවට 

අපි අපිව . 

මට කරන්න දෙයක් නෑ 

මං යන්නම් ... 

හිතකින් නෙමෙයි කිව්වේ 

තේරුනේ නෑ 

නේද.....?

එදා වගේමයි මං 

දන්නේ නෑ ගලපන්න කවි 

ඔය තරමට 

තනිකරම 

තනිවුන 

කඩාවැටෙන තරුවක් වෙලා 

තාමත් බලන් ඉන්නවා 

මම ... 

එදාට වඩා දුරින් 

ඔයා දිලිසෙනවා 

වෙනදාට වැඩියෙන් 

ඔව් .............. එදාට වැඩියෙන් ...... 



Monday, April 27, 2020

කෙල්ලෙක්

අද ආවේ කෙනෙක් ගැන කියන්න....ඇත්තම කිව්වොත් ඒක ඕපදුප නෙමෙයි.... හැමෝම කවදාවත් එකම විදිහට ඉන්නේ නෑ ජීවත් වෙන කාලේ අවුරුදු වලින් ගණන් කරන්නවත් තවත් කෙනෙක් එක්ක සමාන කරන්නවත් බැරි උනාට කොල්ලෝ කෙල්ලෝ විදිහට ලෝකෙට ආවට පස්සේ ඉන්න කාලේදී එක එක චරිත රඟපාන නිසා මට මේ කතාව කියන්න හිතුනා.... ගන්න තියෙන දෙයක් තියෙනවනම් ගනිල්ලා..... 

මං  මුළු ජීවිත කතාවක්ම කියන්න යන්නේ නැහැ... මොකද මං එච්චර දේවල් දන්නේ නෑ ... 

මං සාමාන්‍ය පවුලක කෙල්ලෙක්. එකම ළමයා මං ... ආයේ ඉතින් කියන්න දෙයක් නෑ සැපට හැදුනා එහෙම කියන්න පුළුවන් ... හැබැයි මට ඕනේ උන අම්මගේ තාත්තගේ ආදරේ වැඩිය දැනුනේ නෑ... තාත්තා හැබැයි මං ලඟින් හිටියා.අම්මා වැඩිය මාත් එක්ක හිටියේ නැහැ ඒ රාජකාරිය නිසාද මට වැඩි කැමැත්තක් තිබුනේ නැති නිසාද කියන්න පොඩි කාලේ මට තේරුනේ නැහැ. ගෙදර වැඩ හැමදේම වගේ හොයලා බලලා මාව කොහෙහරි යන එක්කන් එන ඒවායේ ඉඳන්ම කලේ තාත්තා. මං පොඩි කාලේ අපිට නෑදෑ වෙන සහෝදර සහෝදරියෝ සෑහෙන්න වැඩිමල් අය හිටියේ මොකද අම්මයි තාත්තයි බඳිනකොට ටිකක් වයසට ගිහින් තමයි බැඳලා තිබුනේ.... ඉතින් සහෝදරයෝ උන අයියලා  අක්කලා මට ගොඩක් ආදරේ කළා මොකද මං පොඩ්ඩා නිසා..

ඉතින් ඔහොම ඉන්නකොට මට අවුරුදු 16 දී මගේ තාත්තා නැති වෙනවා... 
ඊට පස්සේ මාව නිකම් අතරමන් කරලා දැම්මා වගේ උනා... මොකද තාත්තා නැති උනේ හදිස්සියේම වගේ හිතාගන්නවත් බැරි විදිහට ... එතන ඉදන් තමයි මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ.. මොකද කොහොමත් අම්මා රාජකාරි වැඩ එක්ක ඉන්නකොට මං ගැන බලන්න විදිහක් නෑ දැන් ඉතින් රස්සාවෙන් අයින් වෙන්නත් බැරි නිසා මන් ගැන බලාගන්න එක මටම බාර උනා... ඇත්තම කිව්වොත් තාත්තා මාව කොච්චර පරිස්සමට බලාගත්තද කියනවනම් කොහෙවත් තනියම යැව්වේ නැහැ. 

තාත්තා නැතිවෙනකොට මං තනියම පාර පනින්නවත් දන්නේ නෑ ... තාත්තා තමයි වැඩට ගිහින් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්න කලින් ගෙදර ඇවිත් දවල්ට උයලා මන් එනකම් කන්නෙත් නැතුව බලන් ඉන්නේ... ඉතින් ඒ කාලේ අම්මා කියල චරිතයක් මගේ ජීවිතේ තිබුනේ නෑ... කොටින්ම මං ලොකු ළමයෙක් උන වෙලාවේ මන් ඒක කිව්වේ තාත්තට.... තාත්තා තමයි මගේ ළඟ හිටියේ... චාරිත්‍ර වාරිත්‍ර කෙසේ උනත් තාත්තා තමයි මගේ හොඳම ආරක්ෂකයා වෙලා හිටියේ.... ඉතින් එහෙම කෙනා නැති උනාම අතරමං වෙනවා කියන්න ඕනේ නැහැනේ...?

තාත්තා නැති උනා විතරයි අර මගේ සහෝදරයෝ කියලා කියපු අයියලා වෙනස් වෙන්න ගත්තා.... වැඩිය අපේ ගෙදර ආපු නැති එයාලා අපේ ගෙදර එන්න පටන් ගත්තා... එතකොට මං සාමාන්‍යපෙළ ලියලා ගෙදර හිටියේ තනියම... එතකොට එයින් එක්කෙනෙක් බැඳලා හිටියේ එයා තමයි ඉස්සෙල්ලම මන් විතරක් ගෙදර ඉන්න වෙලාවට එන්න පටන්ගත්තේ... මන් ගෙදර දොර වත් අරින්නේ නැතුව හිටියට පස්සේ එයා අම්මා එන වෙලාව ලං කරලා ගෙදර ආවා එතකොට කොහොමත් එන්න පුළුවන්නේ... අම්මා කොහොමත් මාව ගණන් ගන්නේ නැති එක එයාලට ලොකු වාසියක් උනා... මාව අල්ලනකොට මන් එයාගෙන් ඈත් උනා ගෙදර ආවට කාමරෙන් එලියටවත් ආවේ නෑ... ඒ දේවල් වලට නම් අම්මගෙන් අනන්තවත් බැනුම් අහල ඇති... 

"තාත්තා නැති උනාට පස්සේ උදව්වකට හරි ඉන්නේ ඒ ළමයි විතරයි..... ගෙදරට ආවාම කාමරේට රිංගගෙන ඉන්නේ නැතුව එලියට වරෙන්... " 
අම්මා ඔහොම තමයි මට කතා කලේ.... 
පස්සේ බැරිම තැන අම්මට විස්තරේ කිව්වාම ඒකට වැරදි කාරයා උනෙත් මම 
"ඌ එහෙම ආවනම් උඹට තිබුනේ අයින් වෙලා ඉන්නනෙ...."
එත් අදටත් එයාලත් එක්ක කොහේ හරි යන්න උනොත් අම්මා මාව දෙපාරක් නොහිතාම ඉස්සරහට දානවා....

ඒ එක්කෙනෙක් විතරයි.... 

මන් දන්නේ නැහැ තාත්තා නැති අඩුව මට අදටත් දැනෙනවා .... ඕනෙම කෙල්ලෙක්ගෙ පලවෙනි සහ හොඳම ආරක්ෂකයා වෙන්නේ තාත්තා ඒක ගැන කියන්න දෙයක් නැහැ.. 

ඒ තැන නැති උනාම වටේම ඉන්න මිනිස්සු බලන් ඉන්නේ ඒ කෙල්ලව පාවිච්චි කරන්න ... ඒකට වයසක් අදාළ වෙන්නේ නැහැ කියන්න ඕනෙම නැහැ 

හැබැයි මට ආඩම්බරෙන් කියන්න පුළුවන් මට පුළුවන් මාව බලාගන්න අදටත් මන් කෙල්ලෙක් .... මගේ වයසේ නෙමෙයි මට වැඩිය වැඩිමල් කෙල්ලෙක්ට නැති හයියක් මට තියෙනවා... කිසි කෙනෙක් බය නැහැ ඒ අයට අයිති කෙනෙක් මාත් එක්ක කොහෙ  යන්න වුනත් එවන්න... ඇත්තම කිව්වොත් මගේ යාලුවෙක් මැරි  කරලා ඉන්න කොල්ලා උනත් බය  නෑ මාත් එක්ක එයාගේ එක්කෙනාව එවන්න... හැමෝම කියන්නේ මන් ආඩම්බර චරිතයක් කියල වැඩිය කාවවත් ගණන් ගන්නේ නැති විදිහේ චරිතයක් විදිහටයි  ප්‍රසිද්ධ .... කිසිම හිතක් පපුවක් නැති එකෙක් විදිහට.... 

ඒත් .... කවුරුවත් දන්නේ නැහැ එහෙම වෙන්න හේතුව.... 

මන් ඉගෙනගත්තා..... ඒ විතරක් නෙමෙයි මන් කරන්න ආස දේවල් වෙච්ච .... ෆුට්බෝල්.. බාස්කට්බෝල්... කැඩෙට්.. එනවුන්සින්..ඩ්‍රාමා ...මියුසික්... හැමදේම... 

මන් අදවෙනකොට තැනක ඉන්නවා... ඒ හැම ජයග්‍රහණයකටම සමාජේ මිනිස්සු ක්‍රෙඩිට් එක දුන්නේ තාත්තෙක් නැතුව නිසිම කතාවක් අහන්නේ නැති විදිහට මේ විදිහේ දුවෙක්ව හදපු අම්මට....  මං ඒ තැන් වලදී නිහඬයි... මගේ ජයග්‍රහණ බලන්නවත් ආපු නැති එයා එක්ක මගේ තරහක් නැහැ.... ඒත් ... කොල්ලෙක් බලාපොරොත්තුවෙන් හිටපු ඔයා ළඟට කෙල්ලෙක් වෙලා ආපු එකට සමාවෙන්න අම්මේ.... පුලුවන්නම් මං එකත් හරිගස්සනවා.... කරුමේ කියන්නේ ඒක මට කරන්න විදිහක් නැති එක... 

හැබැයි මං දැනුවත්ව ඔයාගේ කිසි දෙයක් නැති කරලා නෑ... කොල්ලෙක්ගේ ආදරේ ඕනේ කාලෙත් මන් හොයන්නේ අම්මට තුරුල්වෙලා ඉන්න පුළුවන් විදිහක් ගැන... ඒ දේවල් මට උරුම නැතුව ඇති... කමක්නැහැ අම්මේ.... මං තරහ  නැහැ .... 




කාලෙකට පස්සේ ලිව්වේ අකුරු හිරවෙලා වගේ... මොකද වෙන කෙනෙක්ගේ හැගීම් වචන කරන එක කාලෙකින් කලේ... නොගැලපීම් තියෙනවනම් පොඩ්ඩක් නිවැරදි කරලා යන්න ඉතිං 

Monday, December 2, 2019

පොලිස් රිපෝර්ට්

මෙන්න මෙහෙම ඉතින් එක ඉන්ටර්විව් එකක් ඉවර වෙද්දී හදිස්සියෙම ඉන්ටවිව් ගිය කියාස්ට පොලිස් රිපෝර්ට් එක පලවෙනි පාර ගෙනියන්න බැරි උනා කල් මදි උන නිසා. එහෙව් එකේ ඊලග ඉන්ටර්විව් එකට කෝල් කරන්න කලින් පොලිස් රිපෝර්ට් එක අරන් තියාගන්න කියපු නිසාම කියාස් පහුවෙනිදම දත කට මැදගෙන ලක ලෑස්ති උනා පොලීසිය පැත්තේ ගොහින් එන්න. එහෙම ලෑස්ති වෙනකොට කියාස්ගේ මෑණියන් කියාස්ව ආමන්ත්‍රණය  කළා... 

"කොහෙද මේ උදේ පාන්දර යන්න හදන්නේ.....?"



"පොලීසියට..."




" ඒ මොකටද .... මොනවද නැතිකරගත්තේ.... පර්ස් එක ද?"




" නෑ ... පොලිස් රිපෝර්ට් එක ගන්න ....."




" දැන් තනියමද යන්න හදන්නේ ඔය ....."




"හ්ම්ම්...."




" උඹට පිස්සුද තනියම යන්න පොලිසි ගානේ...? ඉන්න මාත් එනවා ....."




" හා... එන්න යං.."




 ඔන්න ඔහොම වෙලා කියාස්ගේ සදාදරණීය මව් තුමියත් ගමනට එකතු උනා. 

දැන් ඉතින් අදාළ පොලිස් ස්ථානයට ගිහින් එතන වැඩ පටන් ගන්නකම් පුටු දෙකක වාඩි වෙලා දෙන්නත් එක්ක අවට සිරි නරඹන ගමන් ඉන්නවා. ඩබ්.පී.සී  අක්කලා ලස්සනට එහාට මෙහාට යනවා. මල් වලට සමනල්ලු වහනවා. ෆෑන් එකෙන් සීතල හුළං හමනවා. ඒ අස්සේ පොලිස් කූඩුවේ ඉන්න නසරානියෙක් බලන්න ලස්සන රෝසමලක් වඩාගත්තු අසරණ ගෑනු කෙනෙක් ඇවිත් අඩනවා. ඔන්නොහොම පරිසරයක් මැවිලා තියෙන වෙලාවේ කියාසේ එහාපැත්තෙ පුටුවෙන් ඇවිත් වාඩි උනේ නැතැයි ගෑනු පරානයක්! ඔහොම ඉතින් සාමදානයෙන් ඉන්න උනේ ටික වෙලාවයි..! අර කට වැඩ කරන්න පටන් ගත්තා කියාස් දිහාට හැරිලා...



" පුතාගේ නම මොකක්ද්ද....?"




" කියාස්.."




"ආ... එහෙම නමක් මන් ඇහුවමයි..."


"ම්ම්ම්..."



" පුතා ඇයි මෙහෙ...."




" පොඩි වැඩකට ආවා..."




"මොකක් හරි ප්‍රශ්නයක්ද....? මන් ලෝයර් කෙනෙක්..."




" නෑ.... "




"එහෙනම් අයි ඩී එක නැති උනාද....?




 දැන් ඉතින් කියාස්ට ඇතිවේගෙන එන්නේ මොන මගුලක්ද කියල නැගිටලා යන්න හිතෙනකොටම තමයි මතක් උනේ මේ පොලිසිය කියල නෙමෙයි පින්වතුනි කියාස්ගේ මව් තොමෝ එහාපැත්තෙ ඉන්නවා කියන එක. මේ දෙන්නගේ මැද්දෙන් ඉන්න එක හොදයි එකට තියන්නේ නැතුව කියල එතනම ඉන්න හිත හදා ගත්තා... ඔන්න ඉතින් ආයේ...




"නෑ... පොලිස් රිපෝර්ට් එකක් ගන්න..."




" ඒ ඇයි දරුවෝ පොලිසියට එන්නද හදන්නේ....?"




" නෑ... දියතලාවේ...." ( කියනකොටම මේ ගෑණි මැද්දට පැන්නේ නැතැයි)




" අහ්.... දියතලාවේ යන්නද....? ඔය දන්නවද ඒක කොච්චර අමාරුද කියල... එක ඔයාට හරියන්නේ නැහැ... මේ ඉන්නේ අම්මද?..."  




           ( කෙලියේ නැතැයි තාප්පෙටම ලෝයර් වොයිස් එකෙන්ම කියවන්න පටන් ගත්තා දැන් පොලිසියේ ඇස් ඔක්කොම මගේ ළඟ කොටින්ම කිව්වොත් අර කූඩු ගත වෙලා ඉන්න තුන්දෙනත් මන් දිහා බලාගෙන ඉන්නේ එතනට එන්න ඕනේ එකෙක් එළියේ ඉඳගෙන ඉන්න ගානට වගේ..)




" ඔව් අම්මා..." 




( එතනින් එහාට කියන්න හම්බුනේ නෑ ලෝය ගත්තා මයික් එක අතට. දෙසාගෙන දෙසාගෙන ගියා දියතලාවේ ආදීනව ගැන ...)




අන්තිමට මෙච්චරයි උනේ මව් තුමිය බැලුවා මං දිහාව... 




" පොලිස් රිපෝර්ට් ඕනේ නෑ .... යමන් ගෙදර..." 




අල්ලගත්තා කියාස්ගේ අතින් ඇදගෙන ආවා එලියටම.  


A                                          

Saturday, November 9, 2019

එහෙමත් වැඩ ....

කියාස්ට ජීවිතේ සෑහෙන අලකලංචි ටිකක් උනාට පස්සේ කියාස් තීරණයක් ගන්නවා දියතලාවේ පැත්තේ යන්න. ඉතින් ඉල්ලුම්පත්‍ර දාන්න බැලුවහම බාරගන්න අවසන් දවසත් පහු වෙලා. ඒ උනාට මෙදා පොටේ නම් අතාරින්නෙ නෑ කියලම හිතල ගත්තා කෝල් එකක් යන්තම් දුක කියල කියල ඉල්ලුම්පත්‍රරේ එහෙටම ගිහින් දීලා පලවෙනි  සම්මුඛ පරීක්ෂනේටත් දවසක් එදාම අරගෙන ආවා . හරි කියමුකෝ ඉතින් යන්න සතියක විතර ඉදන් පන කඩාගෙන කඩ්ඩ පොලිෂ් කළා අන්තිමට ගෙදර ඉන්න බල්ලෝ පුසොන්ටත් කඩ්ඩ පුරුදු කරලා තමයි ඉවර කලේ. 

ඔන්න ඉතින් සම්මුඛ පරීක්ශනේ දවසට කලින් දවසේ ගේන්න කියල තියෙන ලට්ට ලොට්ට සහතික හදන ගමන් ඉස්කෝලේ යනකාලේ ගත්ත සහතික වල සිගිති සහතික ටික ඔක්කෝම අයින් කළා. ඇයි ඉතින් අරකට චිත්‍ර ඇන්දා ඩ්‍රිල් ඩිස්ප්ලේ හිටියා කියල එව්වා උස්සන් ගිහින් බැරි වෙලාවත් චිත්‍රයක් එහෙම අදින්න කිව්වොත් බඩුම තමයි අඩුම තරමේ පෙති පහේ මලක් වත් ඇඳගන්න බැහැ එක පෙත්තකට ඉඩ මදිවෙනවා. ඔව්ව ඔහොම වෙන එකේ එව්වා ඔක්කොම තියල ඇඩ්වාන්ස් කියන එව්වා ටික ඔය උප්පැන්න සහතික ග්‍රාමසේවක සහතික අනම් මනං ටික ආ.... පොලිස් සහතිකේ ගෙන්න කිව්වට එච්චර ඉක්මනට ගන්න බැරි නිසා පස්සේ ගෙනත් දෙන්න කිව්වනේ ඒ නිසා අනිත් ඔක්කොම පිළිවෙලකට  ෆයිල් එකට දාලා නිදාගත්තා.

ආයේ ඉතින් උදේ ඇහැරිලා දත් මැද්ද එව්වා කියන්න ඕනේ නෑනේ .... කියාස් පොදු ප්‍රවාහන සේවයට පින් සිද්ද වෙන්න ගියා සම්මුඛ පරීක්ශනේ තියෙන තැනට....

අප්පටසිරි ගියාම තමයි තේරුනේ කියාස් යනු කුරා කුහුඹියෙකු බව. ඇයි හත්තිලව්වේ එතන හිටිය කෙල්ලොත් හෙන හයේ හතරේ කෙල්ලෝ. මගේ උසට ලගින් වත් යන එකෙක් හිටියේ නෑ  පේන තෙක්මානෙක. කමක් නෑ ආයේ හැරිලා යන්නද පිස්සුද ඔන්න ඔහොම ඉන්නවා කියල හිටියා. අර නලපාන ජාතකේ වගේ ඇතුලට යන එකා පැයකට විතර පස්සේ තමයි එලියට එන්නේ. එකත් වචනයක් කියන්නේ නෑ. ඒ මදිවට කියාස්ට එහා පැත්තේ ඉන්න කෙල්ල ලග තඩි ෆයිල් තුනක් තියෙනවා කියන්නකෝ ඉතින්. කොහොම හරි කියාස් ඉස්සර වෙන්න කලින් එහා පැත්තේ හිටපු කොලු පරානෙටත් ඒ ප්‍රශ්නෙම ඇවිත් ඇහුවා....

" නංගි ඔච්චර සහතික මොනවද නංගි...?"

" ඇත්ලටික් වල ඒවා තමයි අයියේ... අනිකෙනම් අය්යේ පේපර් කටින්ග්ස්... රෙකොර්ඩ්ස්... ඕව තමයි..."

 හප්පද බොල .... මෙකී ඔලිම්පික් යන්නද මෙහෙ ඇවිත් තියෙන්නේ !?

 මේක කියාස්ට වගේම අර කොලු පරානේටත් හිතුන නිසාද කොහෙද ඌත් ආයේ මුකුත් ඇහුවේ නෑ...

කොහොමින් කොහොමින් හරි කියාස්ටත් කතා කළා 

"ගුඩ් ආෆ්ටර්න්නූන් සර්..."

"ආ... පුතා ගුඩ් ආෆ්ටර්න් නුන් "

හප්පා... එතන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් නෙමෙඉයි දෙපාර්තමේන්තුවක්ද කොහෙද දෙතුන් දෙනෙක් නෙමෙයි හත් අට දෙනෙක්ම හිටියා නිකම් අනුභව කරන්න බලාගෙන වගේ 

කොහොම හරි 

"ටේක් අ සිට් ..." කියපු ගමන්ම මාත් තෑනක් යූ සර් කියාගෙන බොහොම සංවර තැන්පත් ළමයෙක් වගේ වාඩි උනා 

දැන් තමයි යුද්දේ පටන් ගත්තේ. මගේ ෆයිල් ටික අරගෙන  කට්ටිය බරටම ඒක ස්ටඩී කරනවා. එක්කෙනෙක්  ෆයිල් එක බලල මගේ මුණ  කන්න වගේ බලනවා තව දෙන්නෙක් කුටු කුටු ගාල කතා කරනවා. මාත් ඒකට කන දැම්මට එක්කෝ කඩ්ඩ නිසා ඇහුනෙ එස් අකුර විතරයි නැත්නම් මගේ මානසික ආතතිය ද මොකක්ද මෙව්වා එක වැඩි වෙලා නිසා තේරුනේ නෑ. 

ඉතින් එක්කෙනෙක් එහෙන් මෙහෙන් මගෙන් හරස් ප්‍රශ්ණත් අහන්න පටන් අරන් තිබුනේ. 

ඒ අතරේදී ගරු ගාම්භීර සර් කෙනෙක් මැද්දෙන් පැනපු ගමන් ඇහුවේ නැතැයි 

" අහා..... යූ ආර් අ ගුඩ් සිගර් නො?...... දෙන්  සින්ග් අ සෝන්ග් ෆෝ අස්...."

කෙලියා තාප්පෙටම !?! ( නෑ.. නෑ එහෙම හිතුනා විතරයි කිව්වේ නෑ )
යකෝ මූ මොනාද මේ කියන්නේ. මට සිංදු කියන්න බෑ යකෝ... එහෙනම් මේකට එන්නේ නැතුව සුපර්ස් ස්ටාර් යනෝ නේ... අනික මන් සිංදු කියනවා අහන ඉන්න බැරි කමටම මගේ රූමා දවසක් මගේ කටහඩම රෙකෝඩ් කරලා අහන්න දුන්න දවසේ ඉදන් මන් පැල් කවියක් වත් නාන ගමන්  කියන්න හිතුවේ නෑ...  දෙය්යනේ දැන් මක්කෙයි මූට කියන්නේ. ඒ පාර මෙන්න සම්මුඛ පරීක්ෂණ මණ්ඩලේ ම මාව කන්න වගේ බලන් ඉන්නවා. ඉතින් මාත් බලන් හිටියා... ඒ පාර පොරට තේරුනා වැඩේ  කියාස් ෆුල් ඔප්ෂන් විදිහටම හොල්මන් වෙලා කියල. ඒ පාර කියපි සහතිකයක් පෙන්නලා අහපි.... 

"ඊස්.. සර්ටිෆිකෙට් ඊස්  යුවර්ස් නො...? ෆර්ස්ට් ප්ලේස්ට් ?"

හරි ඔය හම්බවෙලා තියෙන්නේ නිවුන් බබාල පිටින්ම...! ඊයේ රෑ සහතික අයින් කරද්දී මේක දැකලා නෑ කියාන්කෝ... ඒක සෝලෝ සිගින් නෙමෙයි අප්පා මන් එකේ බීට් බොක්සින්ග් පොඩි පාට් එකකට හිටියා විතරයි කියල තව ටිකක් වැඩේ අල කරගන්නවද? නැත්නම් සිංදු කියන්න බෑ කියල කොන්ෆිඩන්ස් බස්සගෙන ෆේල් කලොත් එහෙම... නැත්නම් දන්න මගුලක් කියල ශේප් වෙනෝද කියල ඉන්නකොටම ආයේ මතක් උනේ යකෝ මෙතනට ගැලපෙන සින්දුව මොකද්ද   කියන එක.

මෙන්න ඒ පාර මෑම් කෙනෙක් කිව්වේ නැතැයි 

"ඔයා කියන්න අර නිරෝෂා විරාජිනී කියන .... සඳ තනියම..."

හප්පද බොල... එක ෆුල් අවුල්නේ මෙතනට.! කියන්නත් හදල එක්කෝ කියනවා කියල මුල පේලිය කිව්වා... හෙමීට කට්ටියගේ මුණ බැලුවා... මෙන්න කට්ටිය සිංදුව අහගෙන වැඩ...! දෙවෙනි පේළියත් කිව්වා... අවුලක් නෑ.... පස්සේ මම ම කියන එක නවත්තල කට්ටිය දිහා බැලුවා... ඊටත් ටිකකට පස්සේ ඔක්කොම ෆයිල් ටික දීලා 

"මයි කොන්ග්‍රජුලෙෂන්ස් පුතා... නෙක්ස්ට් ඉන්ටර්විව් එකට තව සින්දුවක් හොයාගෙන එන්න... "

එහ් ! ඒ වෙලාවෙනම් මට ආයේ ගිහින් ආපු තැන බෝඩ් එක බලන්න හිතුනා අර හිතුවත් වගේ ස්ටාර් සම්මුඛ පරීක්ෂනේකටද දන්නේ නෑ නේ වැරදිලාවත් ඇවිත් තියෙන්නේ කියල. 

කොහොමින් හරි කියාස් පලවෙනි සම්මුඛ පරීක්ශනේ ගොඩ දාගත්තා....


Friday, November 8, 2019

අවසරද?

කියාස් කියල එකෙක් හිටියා කියල කාටවත් මතක නැති උන එකේ ඒ හැටි පුදුම වෙන්න වෙන්න දේකුත් නෑ. මොකද කියනවනම් බ්ලොග් එකේ ඉන්න කවුරුවත් මාව සැබෑ ජීවිතේ දන්නෙම නැද්ද කොහෙද කියල තමයි මතක. කොහොම උනත් ඉතින් කියාස් අතුරුදහන් වෙලා හිටියා අවුරුදු තුනක්.... 

ඒ කාලේ මක්කෙයි උනේ කියලා කියන්නේ නැතුව නිකම් උඩ ඉදං ඕපපාතික වගේ නිසා ඔන්න ඔහේ කියලම පටන් ගන්නද? 

අවසරද?


Saturday, September 30, 2017

මට ඕනේ.....

මට ඕනේ හැන්දෑවේ 4 ට විතර පාලු පාරක ඇවිදගෙන යන්න. ඒක ටිකක් කැලෑ පාරක් වෙන්නත් ඕනේ. 
එහෙමත් නැත්නම් මට ඕන හවස 6 ට විතර මුහුදු වෙරළකට වෙලා තනියම ඉර බහින හැටි බලන් ඉන්න. තව මට කියවන්න කතා පොත් ගොඩාක් එක්ක ( කන්නත් පොඩ්ඩක් ඕනේ ඉතින් කෝපි එකක් වගේ තිබුනොත් තවත් හොඳයි)  තනියම  කාමරේකට වෙලා ඉන්න ඕනේ. තව ලංකාවේ හැම තැනකටම ඇවිදින්න යන්න ඕනේ. ගෙදර ලස්සනට තියාගන්න ඕනේ මට ඕනේ විදිහට. ගෙදර මගේ කාමරේ මන් ආසම කරන පොත් හැම එකක්ම අරගෙන තියාගන්න ඕනේ. පොඩි බලු පැටියෙක්ව ඇති කරන්න ඕනේ. මල් වවන්න ඕනේ. වත්ත පිටිපස්සේ එලවලුයි පලතුරුයි වවන්න ඕනේ. මගේම ජොබ් එකක් කරන්න ඕනේ ( ඒ කිව්වේ කාගේවත් යටතේ වැඩ කරන එකක්වත් කාවවත් යටතට අරන් වැඩ කරවගන්න ජොබ් එකක්වත් නෙමෙයි). එක  එක ජාතියේ කෑම උයලා බලන්න ඕනේ. නිදහසේ යාළුවෙක්ව එහෙම බලන්න යන්නත් ඕනේ.  



ආදරණීය ඔබ ගැන ........

ජීවිතය හුදෙකලාවක් බවට
පෙරලාගත් මා සමඟ
ජීවත් වන්නට පොර කන ඔහු ගැන 
වෛරයක කල්පනා 
සිතට නොආවාම නොවේ 
ඉතින් 
අවසරයි 
ඒ අඳුරු සංකල්පනා සමඟ 
නික්මෙන්නට