Saturday, February 7, 2015

නිදහස

               කාලෙකින් ගොඩවැදුනේ. ජීවිතේ මාර වේගෙකින් මේ දවස් වල ගලාගෙන යන්නේ. පොඩි විප්ලවකාරී ගතියකුත් නැත්තෙමත් නෑ. ඒ කියන්නේ අපේ විදිහට කිව්වොත් කොයි වෙලාවේ බෙල්ල ගහල යයි ද දන්නේ නෑ. මේ දවස් වල වෙන දේවල් ගැන කියන්න හිතුවේ ඇත්තටම ඒක එක පාරටම ඔලුවට ආවා. මෙහෙ ටිකක් විතර තොරතුරු තාක්ෂණය කියන පැත්ත දන්න අය ටිකක් අඩුයි. තව හේතුවක් තියෙනවා දන්නා ටික දෙනාවත් එන්නේ නැත්තේ දන්නවා කිව්වොත් එහෙම නිකම් යකා බැඳ ගත්තා වගේ වැඩ ගන්නවා. යේ ඉතින් ඔෆිස් එකේ වැඩ මිසක් ලෙක්චර්ස් වලට යනවා තියා හිතන්නවත් බෑ. ඉතින් පෙර කළ පවක් හේතුකොටගෙන කියාස් ගේ රූමා ගේ පාවාදීමකට නතු වී මට ඔය තොප්පිය වැටුනා. ඇත්තම කියනවනම් ගිය අවුරුද්දේ මැයි වල ඉඳලා මේ කියාස් ලෙක්චර්ස් වලට ගිහින් නෑ හරියකට. 
                ඉතින් මේ අවුරුද්දේ කොලේජ් එකට එනකොට හිතාගෙන ආවේ දෙයියනේ කියල වෙන වැඩ වලට යන්නේ නැතුව මගේ වැඩ ටික කරගෙන ලෙක්චර්ස් වලට යනවා කියලා. වැඩක් නෑ නමෝ විත්තියෙන් ම පලවෙනි දවසෙම වැඩකට මාට්ටු උනා. ඉතින් ඔහොම කාලේ ගත වුනා කියමුකෝ. නිදහස් දිනේටත් උත්සවයක් තියෙනවා කියල පෙරඩ් එකට යන්න උනා. ඒත් අපේ බැච් එකේ කොල්ලොටික ගෙදර යැව්වා පන්ති තහනම් කරලා. මොනවා කරන්නද ඒත් එකට ඉගෙනගන්න එකට ආපු එවුන් නැතුව කොලේජ් එකේ උත්සවයක් කලාමයි. එදා මළගෙයක් වගේ.
               ඉතින් ඔය කොල්ලොටික ගෙදර යැව්ව එකට අපේ බැච් එකේ විරුධත්වයක් ආවා. මොකද ඔය පොඩි එවුන්ගේ බැච් එක ආපු දවසේ ඉදලම අපි උන් දිහා බැලුවත් දුවගෙන ගිහින් කියනවා ඉහලම තැනට අන්න අක්කලා අයියලා රැග් කළා කියල. ඉතින් ඔය නිසා කොල්ලොන්ව ගෙදර යවපු එක සාධාරණ නෑ කියල විරුද්ධත්වයක් ආවා. එත් වැඩේ කියන්නේ ඉතින් ඒ කතා කරපු කට්ටියගේ කටවල් වහන්න වැඩි වෙලාවක් ගියේ නෑ. 
              ඉතින් ඔය කියන දවසේ රෑ කියාස්ට ඕනේ උනා වෙච්ච අසාධාරණේ ගැන නිසඳැසක් ලියන්න. ඉතින් පිටු දෙකක් විතර ලියාගෙන ලියාගෙන ගිහින් අන්තිමට ලොකු අක්කා විසින් ලියන ලදී කියල යටින් ලිව්වා. 
               පහුවෙනිදා වෙනකොට උදෙන්ම නෝටිස්බෝඩ් එකේ නිසඳැස! ඉතින් ඔහොම ඉන්නකොට දවල් වෙද්දී අපේ ක්ලාස් එකේ යාලුවෙක් අතේ කොලෙකුත් තියාගෙන පන්තියට ඇවිත් අහපි 
"කෝ......... මේ කියාස්?"
ඉතින් මන් පුටුවේ වාඩිවෙලා ඉන්නගමන් ඇහුවා "මොකෝ ...?"
හරි! පොර දැක්කා මන් ඉන්න තැන!. පන්තියේ දොරගාව ඉදන් සුළි කුණාටුවක් වගේ හමාගෙන ආවා මන් ඉන්න තැනට. ඇවිත් ......
"යකෝ තොට පිස්සුද මෙහෙම ලියල නෝටිස් බෝඩ් ගානේ දාන්න? තොටත් ඕනේ ගෙදර යන්නද? "

ඔන්න ඔහොම ඉතින් කියාගෙන ගියා...
"ඉතින් මේකේ මගේ නම ලියලා නෑනේ?..... කොහොමද මන් ලිව්වා කියන්නේ?"
"තොට අදුරගන්න බැරි උනාට අන්න අනිත් එවුන් ඔක්කොම දන්නවා තොගේ අකුරු... මේ ගැන කතාවෙනකොට මාත් ගිහින් බැලුවා මොකක්ද මේ කියල... "
"ආයේ ලිව්වොත් බලාගෙනයි .... අන්න වයිස් ප්‍රසී ඇවිත් නිර්නාමික නිසදැස් ඔක්කොම ගලවාගෙන ගියා... මේක තිබ්බනම් තමයි බලාගන්න තිබුනේ..."
මාත් ඉතින් කියන දේවල් ටික කල්පනා කරලා කට වහගත්තා. ඇයි දෙයියනේ මන් ලිව්වේ මගේ හිතේ තියෙන දේවල්නේ. එකටවත් දැන් නිදහසක් නැද්ද?