Friday, August 5, 2016

තෙවසරක නිමාව .....




යොවුන් වසන්තේ සිහින අතරේ  
ඔහේ ගෙවුනත් ජීවිතේ  
සුවඳ තවරා අගය දුන්නේ  
රුහුණ කුස යට මේ බිමේ  
තුන් වසරකට පෙරදී මාපිය හැරදමා මෙහි ආ දිනේ 
ඊයේ වාගේ දැනුනමුත් මේ  
ඉගිලගොස් කාලය ඉබේ  
නැටුම් කෙළි ගී මැදදී කිසිදා  
දැනුනේ නෑ සංකා සිතේ 
සොඳුරු මිතු දම් රහස් පෙම් දම් 
මැදදී ගෙවුනා ජීවිතේ  
සතුට දුක ළඟ එකට සිටියා  
කවුරුවත් නෑ තනි වුනේ  
ජීවිතේ සුන්දරම කාලය  
එයයි සැකයක් නෑ සිතේ

කියාස් උසස් අධ්‍යාපනේට ගිහිල්ලත් අවුරුදු තුනක් ගෙවිල ඉවරයි. ඉතින් පින්වත්නි කියාස්ගේ බැච් එක විසිරයාම නිමිති කොටගෙන උත්සවේ සංවිධානය කරන්න  කියාස් ඇතුළු පිරිසකට  භාර උනා ඉතින් ඔතනින් මහා ලොකු වැඩ කොටසක් තිබුනත් ඒ ඔක්කොම කරන්න හිටියේ 5 දෙනයි. ඒ අතරේ කථිකාචාර්ය වරුන්ට දෙන්න තෑගි, පොල්තෙල් පහන සැරසිලි, වේදිකා අලංකරණ, ආරාධනා පත්‍ර සකස්කිරීම්, සංග්‍රහ කටයුතු, අවසාන දින උත්සවයේ අංග ගැන හොයල බලන්න උනා. ඒ අස්සේ තව පිස්සු හැදෙන වැඩක් අපේ පීඨාධිපති මැඩම් ගේ ඔලුවට ඇවිත් තිබුනා. ඒ තමයි අපේ අන්තිම දවසට සින්දුවක් එක්ක විෂුවල් එකක් හදන්න කියන එක. ඇත්තටම කොලේජ් ඉන්න කාලෙනම් අපේ සෙට් එකට ඒ අදහස ඇවිත් තිබුනා. ඉතින් කට්ටිය වද කර කර හිටියේ කියාස්ට එකට ගැලපෙන සින්දුවක් ලියන්න කියල. ඉතින් ඒ දවස් වල ටිකක් ඇග බේරාගෙන හිටියට මේකටනම් බෙල්ල මුලින්ම අහු උනා.
ඉතින් අර උත්සවේ වැඩත්  එක්ක සින්දුවක් අපේ එක්කෙනෙක් ලිව්වා. මෙලඩියත් අපේ සරිගමයා ට කියල කරගත්තා, සින්දුව කියන්න එක්කෙනෙක් ඇති කියල ඒකමතික තීරනේකට ආවේ වැඩක් කරන්න ගියාම කට්ටිය හොයාගන්න තියෙන අමාරුව දන්න නිසාමයි. ඉතින් සිංදුව කියන්න අපේ කොටී (ඒකා කොටයි අනික මගේ බෝඩිම් සඟයා ) තෝරගත්ත.
ඉතින් නමෝ විත්තියෙන් වැඩේට අත ගැහුවට මොකෝ සින්දුව රෙකෝඩ් කරගන්න කෝ සල්ලි? 36000ක් ප්‍රසන්ට් ගන්න ගියානේ කියාස් කියල කියනකොට හම්මේ ඉතින් කරපු සින්දුව කියල හිගාකන්න තමයි වෙන්නේ කියල හිතුනා කට්ටියට. ඊට පස්සේ අපේ සරිගමයා යෝජනාවක් ඉදිරිපත් කළා අපි දන්න අදුරන අයට කියල පොඩ්ඩක් හොයලා බලමු ස්ටුඩියෝ එකක් හොයාගන්න බැරි වෙන්නේ නෑ කියල. ඉතින් ෆීල්ඩ් එක දන්නා සරිගමයා නම්බර්ස් වගයක් හොයලා දුන්නා කෝල් කරපන් කියල. ඉතින් කියාසුත් යටහත් පහත් විදිහට කතා කරලා බැලුවා ඇත්තම කිව්වොත් කිසිම කොල්ලෙක් බෑ කිව්වේ නෑ හරි අපි බලමු මන් කොහොම හරි ඕක කරලා දෙනවා කිව්වා. මං හිතන්නේ තාම එයාලා ඒක කරලා දෙන්න නැකත් බලනවා වෙන්ට ඕනේ. මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවාම ඇත්තටම ඒ වෙලාවට විතරක් හරියන්න ප්ලාස්ටරයක් ගහලා වැඩක් නෑ බැරිනම් බෙල්ල ගහල ගියත් කමක් නෑ කියල බෑ කියන්න ඕනේ. නැත්නම් විශ්වාස කරලා වෙන විසදුමකට යන්නෙත් නැතුව ඒ මනුස්සයා ඒ දේ කරලා දෙනකම් බලන් ඉදලා බලාපොරොත්තු කඩ උනාම වෙන අලාබෙ ඊට වඩා වැඩියි. කියාස් නම් එදා හිතාගත්තා වනේ වන හතුරෙක්ටවත් බැරි දේකට හා කියලනම් කියන්නේ නෑමයි කියල.
ඉතින් ඔහොම ගිහින් සින්දුව රෙකෝඩ් කරගන්නම විදිහක් නැතුව අන්ත අසරණ වෙලා ඉන්නකොට අපිට හම්බුනා ඉස්කෝලෙක මීඩියා රූම් එක. ( සොයන්නාට සම්බවේ කියල කියනවනේ) ඉතින් ඔන්න සින්දුව රෙකෝඩ් කරගත්ත දවසේ අර කලින් සින්දුව රෙකෝඩ් කරගන්න ආත්මෙන්ම හෙල්ප් කරනවා කිව්ව අයියෙක් කෝල් කළා.
අයියා: කියාස්....
කියාස්: කියන්න අයියේ
අයියා: බලන්න කියාස් මේ මං වැඩ ගොඩක එරිලා හිටියේ... කොහොමද අර වැඩේ කරගත්තද?
කියාස් ඇතුළු පිරිස ( එකෙක් කොලේක හෝ ගාල ලියල මට පෙන්නනවා .... “ මූ බලන්නේ අපි වැඩේ කරගන්න බැරුව එරිලා ඉන්නවද කියල... කියපන් බැරි උනා කියල”)
කියාස්: අනේ නෑ අයියේ .... මේ ඔලුව ගිනිඅරන් ඉන්නේ මොනවා කරන්නත් තියෙන්නේ තව දවස් තුනයි විෂුවල් එකක් හදන්නත් ඕනේ
අයියා: එකනේ නංගි මං කියන්නේ.... ඔයාල ඕක ගිය මාසේවත් පටන් ගත්තනම් මං නිවාඩුවක් දාලා හරි ඕක කරලා දෙනවා. දැන් බලන්න විෂුවල් කරන්න වෙලාවක් තියෙනවද ? ඕක එදාට ස්ටේජ් එකේ ලයිව් කියලා දාන්න
කියාස් ඇතුළු පිරිස කොලේ කුරුටු ගායි... ( ඕකව මරමු බං .... කතා කරන හැටි විතරක්.... මුසලයා..... ඌට ඕනේ විදිහට ද දැන් අපි වැඩ කරන්න ඕනේ.... ඔන්න  ඕකට කියපම් මැරුම් නොකා තියෙන දෙයක් කාලා ඉන්න කියලා... ඊ.සී.ටී)
කියාස්: අයියේ මන් තියෙනවා
අයියා : අනේ තරහ වෙලාද නංගි?
කියාස්: Call end
ඉතින් ඒ සිද්දියෙන් පස්සේ කට්ටිය මං හිතන්නේ විනාඩි හතළිහක් විතර වෙන් කලේ ඒ කොල්ලගේ හත්මුතු පරම්පරාවට පිං පමුණුවන්න.
ඔහොම කරලා ඉතින් කෝ විෂුවල් කියල මතක් වෙනකොට හිත කීරී ගැහිලා ගියා... ඇයි ඉතින් කෝ නළු නිලියෝ? කෝ ස්ක්‍රිප්ට් එකක්?
ඉතින් ඒ වෙලාවේම සින්දුවට අදාළ වෙන අදහස් ටිකත් කතා කරලා එකතු කරගෙනම පහුවෙනිදා ඒ කියන්නේ සෙනසුරාදා කොලේජ් එන පොරොන්දුව පිට ( විෂුවල් එකට රඟපාන්න වෙන්නෙත් ඉතින් අපිටම තමයි) කට්ටිය ගාල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් විසිරිලා යනකොට වෙලාව රෑ  8.30 යි. ඉතින් මායි කොටීයි එකම බෝඩිමේ කියල කලිනුත් කිව්වනේ. හැබැයි කියාස් නම් වෙනදට හැම සිකුරාදාම ගෙදර දුවනවා. අද හිටියේ මේ උත්සවේ වැඩ නිසාමයි ඒත් සෙනසුරාදා හවස යන්න හිතාගෙන.
වැඩේ කියන්නේ ගිනි විජ්ජුම්බරයයි කියල දැනගත්තේ මායි කොටියයි බෝඩිමට හැරෙනකොට. බෝඩිමේ ඇන්ටියි, එයාගේ දුවලා දෙන්නයි ඔක්කොම ගෙයින් එළියේ මේ මහා රෑ ඔක්කොම එළියේ මොකෝ කියල අපි දෙන්නත් කතා වේගෙනම ගියා. සර්පයෙක් ගෙට ඇවිල්ලද දන්නේ නෑ නේ එහෙම වෙලා සර්පයාට ගේ දීලා මෙයාල පාරට බැස්සද දන්නේ නෑ නේ (කියන්න බෑ මොකද ඇන්ටි හතර පෝයටම සිල්ගන්නවනේ)
අපි දෙන්නව දැක්කා විතරයි හම්මේ ඇන්ටි නයා දැක්ක මුගටියා වගේ පැන්නේ නැතැයි අපි දෙන්නගේ මුණටම සොරි සොරි වැරදුනා නයා නෙමෙයි නයි දෙන්නා.
ඇන්ටි: හොඳයි එන වෙලාව... කියල යන්න දන්නේ නැද්ද ඇත්තටම? මෙතන අපි ඔලුව ගිනි අරගෙන හොයනවා... අන්තිමට මොකක් හරි උනොත් වගකියන්න වෙන්නේ අපිටනේ.... කොටී....
කියාස්: ඇයි ඇන්ටි අපි දෙන්නම උදේ කියලනේ ගියේ අද රෑ වෙනවා මාත් අද ගෙදර යන්නේ නෑ මෙහෙ එනවා කියල
ඇන්ටි: බොරු කියන්න එපා එහෙම  කතාවක් නෙමෙයි මට කිව්වේ... කොටී අද කිව්වේ කියාස් අද ගෙදර යනවා කොටී එන්න පරක්කු වෙනවා කියල
කොටී: අනේ බොරු කියන්න එපා ඇන්ටි දැන් කියාස් කිව්වේ මන් උදේ කිව්වා ටික තමයි.
ඇන්ටි: ඔව් දැන් එනගමන් දෙන්නත් එක්ක කතා කරගෙන එන්න ඇත්තේ. ඒ මදිවට කොටී ෆෝන් එකත් ඔෆ් කරගෙන.... කියාස් ගෙදර යනවා කිව්වා නිසා මන් කියාස්ට ගත්තේ නෑ. මන් කොටී ගේ ගෙදරටත් ගත්තා
( මලා ඔය ඇවිලිලා තියෙන්නේ තව ටිකෙන් හිරු නිව්ස් වලටත් යයි ද දන්නේ නෑ ) වැඩේ කියන්නේ මන් සිකුරාදා ගෙදර යන නිසා අපේ ගෙදරට ගින්න දීලා නෑ දැන් කොටියාගේ ගෙදර තොවිල් නටනවා ඇති. ඒ මදිවට ඒ අස්සේ තමයි අපි දෙන්නටම මතක් උනේ සින්දුව රෙකෝඩ් කරන වෙලාවේ ෆෝන් ඔෆ් කළා නේද කියල. හරිනේ දැන් ඉතින් කෑවයි.
කොහොමින් කොහොමින් හරි බෝඩිමට රිංගගෙන රෑට කන්න බැරි උනත් තව බැනුම් අහන්න බැරි නිසාම උයල තිබුන අල කොළ මාළුවත් කාලා අපි දෙන්නා වැටුනා ඇඳට. එච්චරයි මතක ආයේ උදේ පහට එලාම් එක වදින වෙලාවට ඇහැරුනා හෙන ලොබ කමින්. ඇයි යකෝ බැච් එකේ අනිත් එවුන් අද සෙනසුරාදා දවසේ තාම නිදි සුව විඳිනවා දැන් ඉතින් නැගිටලා පලයන්කෝ කොලේජ්. මොනා කරන්නද පෙර කල පව් ගෙවනවා  කියල හිතාගෙන ලැස්ති වෙලා ගියා.
දැන් ඉතින් කොලේජ් එකේ ගේට් එක ගාව අනිත් කස්ටිය එනකම් බලන් ඉන්නවා. පැය බාගයක් විතර දෑස රිදෙනකම් පාර බලන් ඉදලා යන්තම් ඉතින් කට්ටිය එකතු උනා. ඔන්න ඊට පස්සේ තමයි අපේ ගේට් එකේ කොමසාරිස් කටහඬ අවධි කලේ. (ගේට් එකේ කොමසාරිස් කියල කිව්වේ අලි ඔලුවෙන් ඉන්න පොරක් ඒකා දාන නීති රීති ආයේ ලොවෙත් නෑ)
ගේට් කොමා: ඒ කියාස්... කොහෙද මේ යන්නේ
කියාස්: අයියේ අපි මේ පොඩි වැඩකට ආවේ... මැඩම් ඉන්නවද ?
ගේට් කොමා : අද මැඩම් නම් නෑ.... ඔයාලට ඇතුලට යන්න අවසර ලියුමක් තියෙනවද?
(ඔන්න එතකොට නම් කට්ටියට යකා ආවේස උනා කියල පෙන්නුම් කරන්න ගත්තා)
කියාස්: ඇයි අයියේ අපි තාම ඉන්ටර්න් ගියා විතරයි ඒ ටිකට අපිව පිටුවහල් කරලා දැම්මද? අපි මැඩම් ව දැනුවත් කරලා ආවේ.
ගේට් කොමා: ආ මට එහෙම එකක් කිව්වේ නෑ මන් අහන්නම්කො එහෙනම්....
කියාස්: කොටියා ... ගන්න මැඩම්ට කෝල් එකක්
ගේට් කොමා: හරි හරි ඕගොල්ලෝ යන්න... හැබැයි මේන් හෝල් එකෙන් එහාට යන්න බෑ.... හොස්ටල් පැත්තට කොහොමවත් බෑ... ඩයිනින් හෝල් එකට යන්නත් එපා.
කියාස්: හරි හරි

දර්ශා: බලපන්කො බන් කතාව..... අපි නිකම් මේකට පිට එවුන් ගානට දාලනේ කතා කලේ. හිටපන්කෝ අද කරන්න. ඔය යන්න එපා කියපු හැම තැනකටම යනවා අන්තිමට ඩයිනින් එකෙන් දවල්ට කාලා එන්නේ
ඉතින් ඔන්න ඔහොම කියන ගමන් කොලේජ් එකට ඇතුල් උනා. අන්න එතකොට තමයි මතක් උනේ යකෝ රඟපාන්න  කියල ආවට ඇදුම් ගෙනාවේ නෑනේ කියල. ආයේ ඉතින් තව මොනවා කල්පනා කරන්නද හොස්ටල් එකට යන්න එපා කිව්වා එකේ හොස්ටල් එකට ගිහින්ම නංගිලා ගෙන් ඇදුම් හොයාගන්නවා මිසක් කියල පලවෙනි ගේට් කොමා ගේ නීතිය කඩලා දැම්මා. දැන් ඉතින් තියෙන්නේ මහා ගරු රගපෑම්. මොන ගරු ද බං අපිම සින්දුව හදලා අපිම මෙලඩිය දාලා අපිම කියල අපිම රඟපානවා. සික් සන්තෝසේ බෑ....
ඉතින් මේකයි සින්දුවත් එක්ක ගිය විෂුවල් කතාව.....
අපේ බැච් එකේ එක්කෙනෙක් වයසට ගිහින් ඉන්නකොට ගෙවල් අහල පහල ඉන්න පොඩි එකෙක් දුවන් එනවා ලියුමත් අතේ තියාගෙන. ඒකා අපේ කොලේජ් එකටම සිලෙක්ට් වෙලා.... ඉතින් කොල්ලා ලියුම දීලා ඉතින් කතාබහ කරලා යනවා...
ඊට පස්සේ ඉතින් අපේ එක්කෙනාට කොලේජ් කාලේ මතක් වෙන සීන් එක තමයි දිගටම තියෙන්නේ.
අපි කොලේජ් ආපු හැටි ( හොස්ටල් නවතින්න ලිස්ට් එකේ තිබිච්ච බඩු  හොයන්න කාපු කට්ට මතක් වෙනකොට හයියෝ කියල කියවෙනවා.) මොකද ඕකෙත් පොඩි පොඩි අතුරු කතා බොහොමයි. එකක් කියනවනම් අපිට කියල තිබුනා නිලුයි සුදුයි අගලේ ඉරි තියෙන බෙඩ් ශීට් ගෙන්න කියල. හම්මේ මොන අගලේ ඉරක් වත් හොයාගන්න බැරි උනා ඉතින් කමක් නෑ කියල නිලුයි සුදුයි ඉරි තියෙන බෙඩ් ශීට් ගෙනිච්චා. හම්මේ හොස්ටල් ගියාමනේ දැක්කේ සමහර එවුන්ගේ අගලේ ඉරි කපලා මහලා. සමහර එවුන් පේන්ට් කරලා. වැඩ කෝටියයි...
ආයෙත් විෂුවල් එකට ...
අපි ඇවිත් යාළුවො විදිහට හිටපු හැටි... වලි දාගත්ත හැටි.... ( ඔන්න ඔතනදි කියාස්ට පාට් එකක් කරන්න උනා ඒ තමයි වයසට ගිය නිළිය අතේ තියෙන තුවාලයක් දිහා බලාගෙන මතක් කරනවා එදා වෙච්ච දේ ඒ කියන්නේ වෙසක් වලට කූඩු තරඟෙට කූඩු හද හද ඉන්නකොට නිළිය ඇවිත් එතන නිවිහැනහිල්ලේ කූඩුව හද හද ඉන්න කියාස්ව අවුස්සලා කියාස්ගේ අතින් පිහි පාරක් කනවා. හම්මේ ඉතින් කවදා දාගත්ත වලිද ඒ නිසා ඒ ශුට් එක දෙපාරක් ගන්න උනා.)
ඉතින් ඒ එක්කම දැන් ඉතින් කිසාස් ඒ කූඩු සීන් එකෙන් පස්සේ තරහ වෙලා ඉන්නකොට දවසක් කියාස් වැටෙනවා ආයේ නෑ ගෙම්බා පොලේ ගැහුවා වගේ ඉහින් කනින් ලේ පෙරෙන්නම වැටෙන සීන් එකක් තියෙනවා එතනදී ප්‍රධාන නිළිය ඉබ්බෙක් වගේ දුවගෙන ඇවිත් අපොයි වැරදුනා....! කුරුල්ලෙක් වගේ කොහේදෝ ඉදන් දුවගෙන ඇවිත් කියාස්ව නැගිට්ටවනවා අන්න එදා අපි දෙන්නා සමාදාන වෙනවා.
ඔය සීන් එක ගන්න ගිහින් කියාස් තාත්වික රංගනයක යෙදුනා. කොච්චර තාත්විකද විදිහට ඒ සීන් එක අපේ ඩිරෙක්ට නෝනා ගත්තද කියනවනම් කියාස්ට තුන් පාරක් වැටෙන්න උනා ආයේ නෑ ඉතින් අලාබහානිත් උනා.
හම්මේ ඉතින් ඔය සීන් ටික ගන්න ඇදුම් කීයකට බහින්න උනාද එපා උනා ඇදුම් අදින එකත් එදානම්. ඒ අස්සේ අපේ නදියා කියනවා “ හනේ.... මම නම් කෝටියක් දෙනවා කියල චිත්‍රපටියකට කතා කලත් යන්නේ නෑ... බං”
දෙයියනේ කියල සීන් ටික ගත්තා ...
ඊට පස්සේ වීඩියෝ එක හැදුවා කියමුකෝ. ඕක අවසාන දවසේ පෙන්නුවා කියලත් කියමුකෝ. දැන් ඉතින් සති දෙකක් විතර ගියාට පස්සේ තුවාල එහෙමත් සනීපයි. ඒ අතරේ කියාස් යාලුවෙක්ගෙ පොඩි පාටි එකකට බීච් ගිහින් පණ්ඩිත වැඩක් කරන්න ඇත ගහලා කකුලේ ඉදන් හම ගහගත්තා. දැන් ඉතින් කට්ටිය බලයි මේ මොකටද මෙහෙම සීන් එකක් කියාගෙන යන්නේ කියලා. ඉන්ටකො....
දැන් ඉතින් ඒ තුවාල නිසා ප්ලාස්ටර් 4ක් විතර ගහගෙන කියාස් ඇවිදින ගමන්. දවසක හම්බවෙනවා අර උත්සවේට ආපු ලෙක්චර කෙනෙක්ව.
ලෙක්චර : ආ... කියාස්... කොහොමද ඉතින් දැන්...?
කියාස්: හොඳයි මැඩම් ....
ලෙක්චර: අනේ... එදා ඔයාලගේ උත්සවේ නම් හරි ලස්සනයි පුතේ... අපි කතා උනේ අපරාදේ අච්චර වියදම් කලේ තෑගී වලට... මතක හිටින පොඩි දෙයක් දුන්නනම් ඉවරයිනේ....
කියාස්: එහෙම බෑ නේ මැඩම් ...
ලෙක්චර: ඒක නෙමෙයි පුතේ... අර වීඩියෝ එකේ ඔයා ඇත්තටම වැටෙනවද?
 (යකෝ මාර කතානේ අහන්නේ නැත්නම් මං එතන පා වෙනවා වගේද පෙන්නේ කියලත් අහන්න ගිහින් කට වහ ගත්තා)
කියාස්; ඔව් මැඩම් ඕක ගන්න තුන් පාරක් වැටෙන්න උනා.... ( වැඩේ පොඩ්ඩක් තාත්වික කරලා ගන්න එපැයි)
ලෙක්චර : අනේ.... තුවාලත් උනාද කියාස්.... ඒ වැටෙන විදිහටනම් තුවාල වෙන්න ඇති
කියාස් : ඔව් මැඩම්
ලෙක්චර : අනේ... කෝ බලන්න
( හරිනේ ? ඔය හම්බුනේ... දැන් ඉතින් පෙන්නපන්කෝ තුවාල! ඒවා තිබුන තැන වත් මතක නැතිකොට. දැන් මොකද කරන්නේ? කියාස් ඕවයින් සැලෙනවද? නෑ පින්වත්නි .... කියාස් පෙන්නුවා බීච් ගිහින් කකුලේ ලෙලි යවාගත්ත එක.)
ලෙක්චර: ( ඇස් දෙක නළල්ගත කරමින්) දෙයියනේ පුතේ .... තාම සනීප නැද්ද .... අයියෝ ළමයෝ ඔහොම දේවල් කරනකොට පරිස්සම් වෙන්නත් ඕනේ.... ඔයිට වැඩිය දෙයක් උනොත් වීඩියෝ හැදුවා වගේ නෙමෙයි....
කියාස් : ( මුහුණේ මදහස)
ලෙක්චර : මන් එහෙනම් යන්නම් කියාස්.... ඕක සනීප කරගන්න ඉක්මනට....
ඔන්න ඔහොමළු නේ පින්වත්නි......


Monday, August 1, 2016

ජීවිතයට අලුතෙන්..



අද දවස මට මහා ලොකු හීනයක් වගේ. වෙනදා වගේ කියවන සම්භාව්‍ය ගණයේ වචන මන් ළඟ අද නෑ. ඒ මොකද කියනවනම් මේ හැගීම් ඒ වචන වලින් විස්තර කරන්න බැරි නිසාම විතරක් නෙමෙයි ඒ තරමට මන් හිතින් මෝරලා නැති නිසා. ආදරේ කියන වචනෙට මගේ ජීවිතේ ළඟටවත් එන්න බැරි විදිහට මන් අගුළු දාල තිබුනේ මගේ වටේ හිටපු හැමෝම ඒ වචනෙන් කියවෙච්ච දේ නිසා විඳවපු නිසා වෙන්නත් ඇති නැත්නම් ආදරේ කියල දෙයක් මගේ පොඩි කාලේ ඉදලාම විඳින්න හම්බවුනේ නැති නිසා වෙන්න ඇති කියල මං නිගමනය කරලා තිබුනේ. කොලේජ් කාලේ ආදරේ කියන්නේ මහා ලොකු රැවටීමක් විදිහට හිතන්න පුළුවන් තරමේ මහා ලොකු සිදුවීම් ගොඩාක් එක්ක ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙච්ච අයට උත්තර හොයල දෙන්න ඒ දුක අහගෙන ඉන්න ගහක් ගලක් වගේ චරිතයක් විදිහට එයාලා දැක්කේ  මාව. ඒ දේවල් එක්ක මන් හිතුවෙත් ආදරේ කියන වචනේ සුන්දර: පොත් වල තියෙන කතා වල විතරක් කියල. මොකද කතාව ලියන කෙනාට ඕනේ වෙලාවට චරිතෙට කඳුළු වගේම ඕනේ වෙලාවට සිනහවත් ගෙනත් දෙන්න පුළුවන් කියල මන් දැනගෙන හිටපු නිසා. හැමෝටම තමන්ගේ කතාව පුහු මිත්‍යා විශ්වාස කුලගොත් වලින් එහාට ගෙනිගින් ඉර හඳ තාරකා වලට තමන්ගේ ජීවන විනිශ්චය දෙනකම් බලන් ඉන්නේ නැතුව තමන්ගේ කතාව තමන්ටම ලියාගන්න පුළුවන් කාලෙක අපි හිටියත් හැගීම් කියන නොපෙනෙන බලවෙගේ එක්ක අපි ලියන කතාවට වෙන කෙනෙක්ට එබිලා බලන්න තියෙන ඉඩ වැඩියි. ඒක කවදාකවත් වෙනස් කරන්න බැරි වෙයි මිනිස්සු කොච්චර යාන්ත්‍රීකරණය උනත් ඇස් වල පෙනීම තියෙන්න කඳුළු තියෙන්න ඕනේ වගේ හැගීම් මානවයා එක්ක හැමදාමත් ඉදිවී.

අද කාලේ සමාජ ජාලා කියන නූතන තාක්ෂණයත් එක්ක ස්ත්‍රී දුෂණ, වංචා, මංකොල්ලකෑම්, මිනී මැරුම්, අනියම් සම්බන්ධතා ඇති වෙලා කියල තියෙන ප්‍රචාරෙත් එක්ක ගොඩක් කතිමතාන්තර තියෙනවා වගේම තරුණ පරම්පරාව වැඩිහිටි පරම්පරාවත් අතර බැම්මක් නැත්නම් සමහරක් වෙලාවටමත ගැටුමක් බවට මේ තාක්ෂණය ඇවිත් තියෙනවා කියල සමහරක් අය කියයි. නැත්නම් ඕනෙම කාලෙක අලුත් දෙයක් හඳුන්වලා දුන්නාම කොහොමත් ඕවගේ දෙවන් අහගන්න වෙනවා, හැමදේම හොඳ වගේ නරකත් තියෙනවා, ඇයි ඉස්සර එතකොට ඔය කියන අපරාධ වෙලා නැද්ද?, දැන් ඕවගේ ප්‍රශ්න වලට තටු ඇවිත් තියෙන්නේ ඉස්සර අවුරුදු 30ක් තිස්සේ තිබුන යුද්දේ ඉවර වෙච්ච නිසා කියල ඔන්න ඕවගේ හේතු මහා කන්දක් එකතු කරගන්න පුළුවන් වෙයි වර්තමානේ වෙන සිදුවීම් ගැන එකිනෙකාගේ අදහස් එකතු කලොත්.

මොනවා උනත් අපි කතා කලේ ආදරේ. මටත් හිතුනා ඒ කාලේ අපේ අම්මලා ආච්චිලාගේ කාලේ ආදරේ සුන්දර ඇති කියල. දැන් වගේ මොබයිල් ෆෝන් තිබුනේ නැති කාලේ. හිතේ හැම දෙයක්ම වගේම හිතේ තියෙන ආදරේ කොච්චරක් ද කියල පැහැදිලි කරන්න ලියපු වචන අමු අමුවේ ලියපු දේවල් නෙමෙයි කියල මට හිතෙනවා. ඇත්තම කිව්වොත් ඒ කාලේ තිබුණ ආදරේ තමන්ගේ කොල්ලව මොනවා උනත් පරිස්සම් කරන්න ඕනේ කෙල්ලගේ ගෞරවය කියන දේ ගැන හිතුවා කියල ඒ කාලේ හිටපු හැමෝම වගේ කිව්වා. ලියුමක් ලියලා කෙල්ලට හරි කොල්ලට හරි දෙන්න කොච්චර ගේමක් දෙන්න වෙනවද සමහරක් වෙලාවට. ඊට පස්සේ ඒ හම්බවෙච්ච ලියුම් ටික පන වගේ තියාගන්න වෙන කෙනෙක්ට අහු නොවෙන්න දාන දහන්  ගැට කොච්චරක් ද? දැන් කාලේ එවුන්ට නම් මේවා මහා වදයක් උනාට ඒ අතීතේ සුන්දරයි කියල මට හිතෙනවා.

දැන් කාලේ ඒ වගේද ලෝකෙම විශ්ව ගම්මානයක් බවට පත් කරපු පුරුවේ පිනට අපිත් ඒ කාලෙම ඉපදිලා දැන් ඉතින් ආදරේ කලත් එකම ගෙදර ඉන්නවා කියල හිතෙන තරමටම ලං වෙලා ඉන්න පුළුවන් වගේම. කතා බහ කරන වචන පවා වෙනස් වෙලා. සුදූ, බබා, චූටි, රත්තරන්, ස්වීටි, බබී, ඩාලින්, මෙයා වගේ එකී නොකී බොහෝ වදන් මේ ආදර වචන ගොඩට එකතු වෙලා. මොබයිල් ෆෝන් එක දුරකථන ඇමතුමට සීමා  නොවී මුහුණු පොත, වට්ස් ඇප්, වයිබර්, ඉමෝ වගේ ඇප්ස් වලින් තවත් එහාට ගිහින්. ඒ ආදරේ උදේ නැගිටපු වෙලාවේ ඉදන් කන්නේ මොනවද, බොන්නේ මොනවද, අපි එකට කමු, අදින්නේ මොනවද, මොනවද කරන්නේ?, රෑට නිදාගන්නේ කීයටද? එකට නිදාගමු වගේ හැම දේම හුවමාරු කරගන්න තරමටම අද ආදරේ කරන අය ලං වෙලා. තම තමන් ගැන නොදන්නා දෙයක් නෑ. අර එදා තමන් සතියෙම කරපු විශේෂ දේවල් හැමදේම ලියලා යැව්වට හැම මගුලම ලියන්න ගියේ නැති නිසා ඒ කාලේ ආදර වන්තයින්ට තමන්ගේ අනාගතේට ඉතුරු කරපු ටිකකුත් හිතේ කොනක පරිස්සමෙන් අයින් කරලා තිබුනා ලස්සනට. ඒ ලස්සන අද කාලේ අයට පරිස්සමෙන් අරන් තියන්න නැහැ හැමදේම දැකලා කතා කරලා ඉවරයි බොහෝ අය.

ඒ වගේම තමයි අද කාලේ දෙන්නෙක් හම්බවෙන පළවෙනි පාරටම කෙල්ල කොල්ලට කොච්චර ආදරෙයිද කියල ඔප්පු කරන්න කොල්ලා එක්කන් යන්නේ රූම් එකකට. ඇත්තටම රූම් එකක යහන්ගත උනාට පස්සේ ඒ කෙල්ලගෙන් ආදරේ කියන දේම බලාපොරොත්තු වෙනවද? ඇයි ඉස්සෙල්ලම ආදරයේ නාමයෙන් යහන්ගත වෙන්නේ? ඒකද ආදරේ? ඕවගේ ප්‍රශ්න අතරේ කෙල්ලටත් තමන්ගේ ආදරේ ඔප්පු කරන්න කොල්ලා රූම්ගත වෙන්න කරන ආරාධනාවත් එක්ක හිතන්න තවත් ප්‍රශ්න ගොඩක් මතු වෙනවා. ඒ මේ මනුස්සයා මගේ මොනවටද ඇලිලා ඉන්නේ? ආදරේ මේකද? ඇත්තටම මට ආදරයක් තියෙනවනම් මෙහෙම යෝජනාවක් කරයි ද? මෙහෙම නොහිතා ආදරයේ නාමයෙන් අමාරුවේ වැටුන කී දෙනෙක් නම් ඉන්නවද? නැත්නම් මෙහෙම එක්කගෙන ගිහින් ආදරයේ නාමයෙන් කෙල්ලට එහෙම කලේ නැත්නම් කෙල්ල පිට යන්න ඉඩ තියෙනවා. මේකෙන් පස්සේ කෙල්ල මගේ පස්සෙන්ම වැටිලා ඉදියි ඔන්න ඕවගේ මත තියෙන පිස්සොත් අද කාලේ පඳුරකට පයින් ගැහුවොත් බුරුතු පිටින් විසික් වෙන තරමට ඉන්නවා මට විශ්වාසයි. නැත්නම් තව ඉන්නවා තමන්ගේ පලවෙනි කෙල්ල දාලා ගියේ ඒ කෙල්ලව මලක් වගේ පරිස්සම් කළා එහෙම කිසිම දෙයක් කලේ නෑ මගේ මෝඩකම ආයේ නම් එහෙම කරන්නේ නෑ. ඔන්න ඕවගේ හිතන උන්මාද කාරයොත් ඉන්නවා.

ඒ වගේම තමයි දැන් කාලේ ෆිල්ම් එකක් බලන්න පොඩි එකෙක්ව ඔඩිසී එක පැත්තටවත් එක්කන් යන්න පුලුවන්ද අන්තිම පෙලියත් එක්ක තියෙන ආදරවන්තයින්ට වෙන් කරපු පොඩි පොඩි කූඩු ලෝකෙන් ඇහෙන සද්ද බද්දත් එක්ක. මොකක්ද ඒකෙ තේරුම? ආදරේ ඕවගේ කූඩුවක් ඇතුලේ විඳින්න තරම් දෙයක් තියෙනවද? සමහරක් වෙලාවට ෆිල්ම් හෝල් එකට ගිය දෙන්නා නෙමෙයි එන්නේ වෙනම චරිත දෙකක්. එකද සුන්දර ආදරය? මන් හිතන්නේ නෑ...

තමාගේ ජීවිතේට කෙනෙක් ඉදිද්දී තව කෙනෙක්ට බොක්කෙන්ම ආදරේ කරන අය අතරේ බැඳලා ලස්සන චූටි දුවෙක් ඉන්න ගමන් තව කෙල්ලෙක්ට තමන්ගේ මුළු ආත්මෙන්ම ආදරේ කරන්න පුළුවන් අයත් මේ සමාජේ ඕනේ තරම්. ඒ හැමදේම ලස්සනට යටපත් කරන්න දැනගත්ත දවසට ලස්සනට සාධාරණීකරණය කරන්න බෑ කියල හිතෙනවනම් එකත් බොරුවක්. තමන්ගේ ජීවිතේ තියෙන ප්‍රශ්න අමතක කරන්න එහෙමත් නැත්නම් තමන්ට ඕනේ කරන වැඩක් කරවා ගන්න ඒ විදිහට වෙස්මුහුණු දාගෙන ලංවෙන අයට අනුකම්පා කරපු, ආදරේ කරපු අය නැත්තේ නෑ ඉන්නවා.  

දැන් කාලේ ඕවගේ විප්‍රකාර එක්ක ආදරේ කියන වචනේ මං පිළිකුල් කළා. දැන් කාලේ ආදරේ කියන එක මාකට් වෙලා ගන්න තරයම් දෙයක් නෑ. නිකම් හප කරලා විසික් කරපු චුවින්ගම් එකකට වඩා අන්තයි කියල හිතෙන තරමට ආදරේ දුෂණය වෙලා. තමන්ගේ හිතේ තියෙන කාමුක ආශාවන් මුදුන් පමුණුවා ගන්න නැත්නම් දාලා ගිය කෙනාගෙන් පළිගන්න කියල හිතාගෙන ආදරේ කරන බහුතරයක් නිසා මේ ආදරේ කියන සුන්දර හැගීම දුෂණය වෙලා. ඉතින් එහෙම මතයක් හිතේ තියාගෙන හිටපු මාව කාටවත් වෙනස් කරන්න බැරි වෙයි කියල අනිත් හැමෝමත් එක්කම මාත් හිතාගෙන හිටියා. මොකද ඉස්සර අතීතයේ සිදුවීම්, ලස්සන ආදර කතාවල හිටපු පෙම්වතුන් රතු දත්ත පොතට ගිහින් වගේ කියල දැනුන නිසා. ජීවිතේ කියන්නේ විදින්න තියෙන දෙයක් විදවන්න තියෙන දෙයක් කියල තරුණ කාලේ හිතාගෙන ගොඩක් අය ඒ ජීවිතේ කාලකන්නි කරගන්න කලින් හිතන්නේ නැහැ ජීවිතේ විඳින්න ගිහින් විදවන්න වෙයිද කියලා. ඒ වගේම තමයි තරුණ කාලේ තියෙන නිදහසෙන් ලස්සනෙන් යුතු ප්‍රයෝජන ගන්න කලින් හිතන්න දෙයක් තියෙනවා. තරුණ කාලෙම ජීවත් වෙන්නේ නෑ අපිත් වයසට යනවා අන්න එහෙම වයසට ගිය කාලෙක මතක් කරලා සතුටු වෙන්න පුළුවන් අතීතයක් තියාගන්න ඕනේ කියන එක.

සමහරක් වෙලාවට ඒ කොහොම හරි ගෙනාපු ආදරේ එක්කෝ ගෙවල් වලට කිව්වට පස්සේ වෙනස් වෙනවා. මහ උජාරුවට අපි පොෂ් කියාගෙන ඉන්න පෝසත් පවුල් වල උදවියත් තමන්ගේ ළමයි බන්දලා දෙනකොට අර අතීතේ කරපු රස්සා අනුව කුල වලට වෙන් කරලා තියපු එකත් හොයනවා. අර ගව් ගණන් දුර තියෙන තරු කොච්චර දුරට බලපෑම් කරයිද කියල හොයනවා. මේ ලෝකෙට එන්න නැකත් බැලුවේ නැති උනාට හැමදේටම ඉර හඳ තරු ග්‍රහ ලෝක වලට මුල් තැන දීලා අර ආදරේ අන්තිමට දාලා බලනවා දෙන්නා ගැලපෙනවද කියල.ඉතින් කරුමෙටවත් ඒ දේවල් ගැලපෙන්නේ නැතිව ගියොත් අර ආදරේට මොකද වෙන්නේ? ඒත් ගෙදර මෙච්චර කල් තමන්ව හදාපු අම්මා තාත්තා විරුද්ධ දෙයක් කරන්නේ කොහොමද?

මේ සිතුවිලි මගේ හිතේ ගොඩාක් කල් තිබුන ඒවා. ගොඩාක් අය කිව්වා මන් බඳින එකක් නෑ කියල. ඇත්ත මට කාලයක් හිතුනා දහමට අනුව ජීවිතේ ගෙනියන්න්න මේ ලෞකික ජීවිතෙන් ඈත් වෙන්න. තවත් අය කිව්වා මට හිතක් පපුවක් නැති කෙනෙක් කියල. ඒ කිසිම සංවේදී වෙලාවක මගේ ඇස් වලින් කඳුළක් වැටුනේ නැති නිසා. එත් පිටට නොපෙනෙන්න කොච්චර අඩලා තියෙනවද කියන්න මට ඕනේ කමක් තිබුනේ නෑ. හුදෙකලා වෙච්ච පරිසරේක අවුරුදු ගානක් හිටපු කෙනෙක් සංවේදී නෑ කියන්න කාටවත් අයිතියක් නෑ කියන්න මන් දැනගෙන හිටියා. මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ හරිම දුර්ලභ දෙයක් එත් පව් පින් අනුව ඒ ජීවිතේ ගෙවෙන විදිහ එකිනෙකාට වෙනස් වෙනවා. ළඟින් ආශ්‍රය කරපු අය ඇරෙන්න දුරින් ඉදන් බලපු අය කිව්ව නිහඬ ජීවිතේට ලඟදි කෙනෙක් ආවා. ඒ කව්ද කියන්න මං හරියට තාම දන්නේ නෑ ඒ කියන්නේ මට තාම හිතාගන්න බෑ ඒක හීනයක් ද කියල.

දැන් කාලේ තියෙන ලාබ දෙකයි පනහේ ආදරයක් මං ඒ චරිතෙන් දැක්කේ  නෑ. ඒ නිසා මන් තීරණයක් ගත්තා එයාට  මගේ ජීවිතේට එන්න දෙන්න. අර සුන්දර ආදරේ ගැන හිත හිතන්න පටන් ගත්තා. කොහේ හරි යමු කියලා මාව එක්කගෙන ගිය දවසේ මුකුත් නොකියා මන් ගියේ තිබුන විශ්වාසෙ නිසා ඇත්තටම එදා මට හිතුනා පොත්වල තියෙන සමහර දේවල් හැබෑ  ආදරේටත් වලංගුයි කියලා. ඇත්තටම  මන් හැමදාමත් යන්න  ආසාවෙන් හිටපු තැනක් තමයි මුහුදු වෙරළ. ඈත ඉඳන් හමාගෙන එන හුළඟ අපේ හිත් වල තියෙන දුක් දොම්නස් සේරම හිත ඇතුලට රිංගල අරගෙන යනවා වගේ හැගීමක් දැනෙනවා. පුදුම විදිහට හිත සැහැල්ලු කරගන්න පුළුවන් තැනක් විදිහට මන් මුහුදු වෙරළ දැක්කේ. මාව බීච් එකට එක්කන් ගියාම ඇත්තටම මන් මුළු හිතින්ම සතුටු උනා මගේ හිත තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ලැබුන එක ගැන. ඒ වගේම මගේ හැමදේම කියන්න පුළුවන් කෙනෙක් හොඳ සවන්දෙන්නෙක් මට හම්බුනා. ජීවිතේ තිබුන හැමදේම ගැන කියන්න පුළුවන් දෙයක් ගැන හොඳට තේරුම් ගන්න කෙනෙක්. ඊළඟට මට හිතුනේ හැමදේම එක්ස්ප්‍රස් වෙලා තියෙන කාලේ මට හම්බවෙච්ච මේ ආදරේ හරි මන්දගාමී. එහෙම කිව්වාම සමහරක් අය හිතයි අපෝ වැඩක් නෑ එහෙනම් කියල. නෑ.....! ඇත්තටම ස්පීඩ් වෙන්න ඕන දේවල් අතරට ආදරේ දාන්න බැහැ. අපි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න බලනකොට Mbp කීයද කියල බලලා ගන්නවා වගේ නෙමෙයි ආදරේ කියන දේ. මන්දගාමී වෙන තරමට ජීවිතෙන් ආදරේ සුන්දරව විඳගන්න පුළුවන්. ඒ වගේ තමයි මගේ ආදරේ. එයාටත් ඕනෙනම් තිබුනා හම්බවෙච්ච පලවෙනි දවසෙම ලඟට අරන් හැමදේම කරන්න. එත් මන් මගේ කොල්ලා ගැන ආඩම්බරයි එහෙම ආසාවට පලවෙනි තැන දීලා  හැමදේම දෙකට දාන කෙනෙක් නෙමෙයි.

ඇත්තටම මට දැන් හිතෙන්නේ මං සර්ව සම්පුර්ණ වේගන එනවා වගේ. මගේ ජීවිතේ හීන කියල හිතපු දේවල් හැබෑ කරගන්න පුළුවන් ඒ හැමදේත් එක්කම ළඟින් ඉන්නවා කියලා දැනෙන කෙනෙක්. ඇත්තටම ඒ දේ අද මට හොඳටම තේරුම් ගන්න පුළුවන් උනා. අපි ගොඩාක් වෙලා මුහුද දිහා බලන් හිටියා. ඒත් මීට මාස දෙකකට විතර කලින් මන් මුහුද දිහා බලාගෙන හිටියේ මගේ හිතේ තියෙන දරාගන්න බැරි දුක ඒ මුහුදු හුළඟ ඇවිත් අරගෙන යනකම් එත් අපි දෙන්නා අත් අල්ලගෙ ඒ මුහුද දිහාම එදා බලන් ඉන්නකොට මගේ හිතේ ඒ දුක වෙනුවට කියාගන්න බැරි සැනසීමක් එක්ක ආදරණීය සෙනෙහසකින් පිරිලා තිබුනා කියන්න මට දැනුනා.  ඇත්තටම මගේ අතින් අල්ලාගෙන හිටපු වෙලාවේ මට තව කෙනෙක්ව මතක් උනා. මං හොස්පිටල් ඉන්න කාලේ මාව බලන්න ඇවිත් මගේ අතෙන් අල්ලාගෙන හිටපු කෙනාව මට එයා මතක් කරලා දුන්නා එදා ඒ දැනුන සෙනෙහස මට ඔයාගෙන් අද දැනුනා එදා ඒ තරම් ආදරෙන් මගේ අතින් අල්ලගෙන හිටියේ වෙන කෙනෙක් නෙමෙයි මං ඉස්සෙල්ලම ආදරේ කරපු කෙනා තාමත් මන් එයාට ආදරෙයි. මන් ඒ ආදරේ තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඒ මගේ තාත්තා. ඒ දේ මට ගෙනල්ලා දුන්න එයාව මට මුණගැස්සුවට මන් කාටවත් පිං දෙන්න ලෑස්ති නෑ. මොකද පේන්නේ නැති අයව මන් වැඩිය විශ්වාස කරන්නේ නැති නිසා. මගේ ජීවිතේට ආවට ස්තූති කරන්නේ එයාටම තමයි. ආදරෙයි හැමදාටමත්..... හැමදේම හොඳින් සිද්ධ වෙයි නේද? 

මීට ආදරණීය හදවත.....