Monday, April 27, 2020

කෙල්ලෙක්

අද ආවේ කෙනෙක් ගැන කියන්න....ඇත්තම කිව්වොත් ඒක ඕපදුප නෙමෙයි.... හැමෝම කවදාවත් එකම විදිහට ඉන්නේ නෑ ජීවත් වෙන කාලේ අවුරුදු වලින් ගණන් කරන්නවත් තවත් කෙනෙක් එක්ක සමාන කරන්නවත් බැරි උනාට කොල්ලෝ කෙල්ලෝ විදිහට ලෝකෙට ආවට පස්සේ ඉන්න කාලේදී එක එක චරිත රඟපාන නිසා මට මේ කතාව කියන්න හිතුනා.... ගන්න තියෙන දෙයක් තියෙනවනම් ගනිල්ලා..... 

මං  මුළු ජීවිත කතාවක්ම කියන්න යන්නේ නැහැ... මොකද මං එච්චර දේවල් දන්නේ නෑ ... 

මං සාමාන්‍ය පවුලක කෙල්ලෙක්. එකම ළමයා මං ... ආයේ ඉතින් කියන්න දෙයක් නෑ සැපට හැදුනා එහෙම කියන්න පුළුවන් ... හැබැයි මට ඕනේ උන අම්මගේ තාත්තගේ ආදරේ වැඩිය දැනුනේ නෑ... තාත්තා හැබැයි මං ලඟින් හිටියා.අම්මා වැඩිය මාත් එක්ක හිටියේ නැහැ ඒ රාජකාරිය නිසාද මට වැඩි කැමැත්තක් තිබුනේ නැති නිසාද කියන්න පොඩි කාලේ මට තේරුනේ නැහැ. ගෙදර වැඩ හැමදේම වගේ හොයලා බලලා මාව කොහෙහරි යන එක්කන් එන ඒවායේ ඉඳන්ම කලේ තාත්තා. මං පොඩි කාලේ අපිට නෑදෑ වෙන සහෝදර සහෝදරියෝ සෑහෙන්න වැඩිමල් අය හිටියේ මොකද අම්මයි තාත්තයි බඳිනකොට ටිකක් වයසට ගිහින් තමයි බැඳලා තිබුනේ.... ඉතින් සහෝදරයෝ උන අයියලා  අක්කලා මට ගොඩක් ආදරේ කළා මොකද මං පොඩ්ඩා නිසා..

ඉතින් ඔහොම ඉන්නකොට මට අවුරුදු 16 දී මගේ තාත්තා නැති වෙනවා... 
ඊට පස්සේ මාව නිකම් අතරමන් කරලා දැම්මා වගේ උනා... මොකද තාත්තා නැති උනේ හදිස්සියේම වගේ හිතාගන්නවත් බැරි විදිහට ... එතන ඉදන් තමයි මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ.. මොකද කොහොමත් අම්මා රාජකාරි වැඩ එක්ක ඉන්නකොට මං ගැන බලන්න විදිහක් නෑ දැන් ඉතින් රස්සාවෙන් අයින් වෙන්නත් බැරි නිසා මන් ගැන බලාගන්න එක මටම බාර උනා... ඇත්තම කිව්වොත් තාත්තා මාව කොච්චර පරිස්සමට බලාගත්තද කියනවනම් කොහෙවත් තනියම යැව්වේ නැහැ. 

තාත්තා නැතිවෙනකොට මං තනියම පාර පනින්නවත් දන්නේ නෑ ... තාත්තා තමයි වැඩට ගිහින් මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්න කලින් ගෙදර ඇවිත් දවල්ට උයලා මන් එනකම් කන්නෙත් නැතුව බලන් ඉන්නේ... ඉතින් ඒ කාලේ අම්මා කියල චරිතයක් මගේ ජීවිතේ තිබුනේ නෑ... කොටින්ම මං ලොකු ළමයෙක් උන වෙලාවේ මන් ඒක කිව්වේ තාත්තට.... තාත්තා තමයි මගේ ළඟ හිටියේ... චාරිත්‍ර වාරිත්‍ර කෙසේ උනත් තාත්තා තමයි මගේ හොඳම ආරක්ෂකයා වෙලා හිටියේ.... ඉතින් එහෙම කෙනා නැති උනාම අතරමං වෙනවා කියන්න ඕනේ නැහැනේ...?

තාත්තා නැති උනා විතරයි අර මගේ සහෝදරයෝ කියලා කියපු අයියලා වෙනස් වෙන්න ගත්තා.... වැඩිය අපේ ගෙදර ආපු නැති එයාලා අපේ ගෙදර එන්න පටන් ගත්තා... එතකොට මං සාමාන්‍යපෙළ ලියලා ගෙදර හිටියේ තනියම... එතකොට එයින් එක්කෙනෙක් බැඳලා හිටියේ එයා තමයි ඉස්සෙල්ලම මන් විතරක් ගෙදර ඉන්න වෙලාවට එන්න පටන්ගත්තේ... මන් ගෙදර දොර වත් අරින්නේ නැතුව හිටියට පස්සේ එයා අම්මා එන වෙලාව ලං කරලා ගෙදර ආවා එතකොට කොහොමත් එන්න පුළුවන්නේ... අම්මා කොහොමත් මාව ගණන් ගන්නේ නැති එක එයාලට ලොකු වාසියක් උනා... මාව අල්ලනකොට මන් එයාගෙන් ඈත් උනා ගෙදර ආවට කාමරෙන් එලියටවත් ආවේ නෑ... ඒ දේවල් වලට නම් අම්මගෙන් අනන්තවත් බැනුම් අහල ඇති... 

"තාත්තා නැති උනාට පස්සේ උදව්වකට හරි ඉන්නේ ඒ ළමයි විතරයි..... ගෙදරට ආවාම කාමරේට රිංගගෙන ඉන්නේ නැතුව එලියට වරෙන්... " 
අම්මා ඔහොම තමයි මට කතා කලේ.... 
පස්සේ බැරිම තැන අම්මට විස්තරේ කිව්වාම ඒකට වැරදි කාරයා උනෙත් මම 
"ඌ එහෙම ආවනම් උඹට තිබුනේ අයින් වෙලා ඉන්නනෙ...."
එත් අදටත් එයාලත් එක්ක කොහේ හරි යන්න උනොත් අම්මා මාව දෙපාරක් නොහිතාම ඉස්සරහට දානවා....

ඒ එක්කෙනෙක් විතරයි.... 

මන් දන්නේ නැහැ තාත්තා නැති අඩුව මට අදටත් දැනෙනවා .... ඕනෙම කෙල්ලෙක්ගෙ පලවෙනි සහ හොඳම ආරක්ෂකයා වෙන්නේ තාත්තා ඒක ගැන කියන්න දෙයක් නැහැ.. 

ඒ තැන නැති උනාම වටේම ඉන්න මිනිස්සු බලන් ඉන්නේ ඒ කෙල්ලව පාවිච්චි කරන්න ... ඒකට වයසක් අදාළ වෙන්නේ නැහැ කියන්න ඕනෙම නැහැ 

හැබැයි මට ආඩම්බරෙන් කියන්න පුළුවන් මට පුළුවන් මාව බලාගන්න අදටත් මන් කෙල්ලෙක් .... මගේ වයසේ නෙමෙයි මට වැඩිය වැඩිමල් කෙල්ලෙක්ට නැති හයියක් මට තියෙනවා... කිසි කෙනෙක් බය නැහැ ඒ අයට අයිති කෙනෙක් මාත් එක්ක කොහෙ  යන්න වුනත් එවන්න... ඇත්තම කිව්වොත් මගේ යාලුවෙක් මැරි  කරලා ඉන්න කොල්ලා උනත් බය  නෑ මාත් එක්ක එයාගේ එක්කෙනාව එවන්න... හැමෝම කියන්නේ මන් ආඩම්බර චරිතයක් කියල වැඩිය කාවවත් ගණන් ගන්නේ නැති විදිහේ චරිතයක් විදිහටයි  ප්‍රසිද්ධ .... කිසිම හිතක් පපුවක් නැති එකෙක් විදිහට.... 

ඒත් .... කවුරුවත් දන්නේ නැහැ එහෙම වෙන්න හේතුව.... 

මන් ඉගෙනගත්තා..... ඒ විතරක් නෙමෙයි මන් කරන්න ආස දේවල් වෙච්ච .... ෆුට්බෝල්.. බාස්කට්බෝල්... කැඩෙට්.. එනවුන්සින්..ඩ්‍රාමා ...මියුසික්... හැමදේම... 

මන් අදවෙනකොට තැනක ඉන්නවා... ඒ හැම ජයග්‍රහණයකටම සමාජේ මිනිස්සු ක්‍රෙඩිට් එක දුන්නේ තාත්තෙක් නැතුව නිසිම කතාවක් අහන්නේ නැති විදිහට මේ විදිහේ දුවෙක්ව හදපු අම්මට....  මං ඒ තැන් වලදී නිහඬයි... මගේ ජයග්‍රහණ බලන්නවත් ආපු නැති එයා එක්ක මගේ තරහක් නැහැ.... ඒත් ... කොල්ලෙක් බලාපොරොත්තුවෙන් හිටපු ඔයා ළඟට කෙල්ලෙක් වෙලා ආපු එකට සමාවෙන්න අම්මේ.... පුලුවන්නම් මං එකත් හරිගස්සනවා.... කරුමේ කියන්නේ ඒක මට කරන්න විදිහක් නැති එක... 

හැබැයි මං දැනුවත්ව ඔයාගේ කිසි දෙයක් නැති කරලා නෑ... කොල්ලෙක්ගේ ආදරේ ඕනේ කාලෙත් මන් හොයන්නේ අම්මට තුරුල්වෙලා ඉන්න පුළුවන් විදිහක් ගැන... ඒ දේවල් මට උරුම නැතුව ඇති... කමක්නැහැ අම්මේ.... මං තරහ  නැහැ .... 




කාලෙකට පස්සේ ලිව්වේ අකුරු හිරවෙලා වගේ... මොකද වෙන කෙනෙක්ගේ හැගීම් වචන කරන එක කාලෙකින් කලේ... නොගැලපීම් තියෙනවනම් පොඩ්ඩක් නිවැරදි කරලා යන්න ඉතිං 

4 comments: