Sunday, May 31, 2015

අවසන් ලියුමයි ඔබට ලියන්නේ...................

බෝඩිමේ ඉදන් අකුරු කරන සිතුවිලි 

හොකොමද ඉතින් ...............,

හැමදාම වගේ ඉතින් අහන දෙයින් මන් පටන් ගත්තා. මන් ආයේ කරන්නේ අතීතෙට යන එක. ඔයා මගෙන් කැමැත්ත අහපු දවස.... පෙබරවාරි 14 ඒ 2009 අවුරුද්දේ. අපි දෙන්නා වැඩිය දන්නෙත් නෑ... ඔයා එහෙම අහනකොට මන් පාඩම් කරනගමන් හිටියේ. මාව නිකම් කරකවලා අත්හැරිය වගේ උනා. මොකද දෙයියනේ මේ කියල. මන් විශ්වාස කළෙම නෑ ඔයා මේ ඇත්තටමයි අහන්නේ කියල. මතකද ඒ කාලේ අපි කොච්චර දේවල් කතා කලාද කියල... ඔයා මාව කොච්චර බය කලාද? තව ටිකෙන් එදා නුගේගොඩ දී මන් වාහනේකට  හැප්පිලා මැරෙනවා අක්කා හිටියේ නැත්නම්.. හ්ම්ම්.. මතකද අපි හම්බවෙන්න හිටපු දවස? වැව්රුකන්නල අපි එන දවසේ එහෙ පෙරහැර. එදා ඔයා එනවා කියල ඔයා එනකම් ඉදලා මගේ ඇස් දෙකත් රිදුනා. අන්තිමට ඔයා පෙරහැරේ. මන් ගෙදර යනවා කියල පිටත් වුනා. එදා හම්බුනෙත් නෑ නේ.... අද වෙනකම්.... අන්තිමට ඔයාගේ හිත වෙන කෙනෙක්ට දුන්නා. මොකද මන් ඔයාට කැමැත්ත දුන්නේ නැති නිසා.. එදා ඇත්තම කියනවම් මං හිතින් ඇඩුවා.. මොකද මට ඔයාව නැති උනා කියල එදා මට දැනුනා... අපි යාළුවො වගේ ඉමු කිව්වට එදා මට දැනුනා මන් ඔයාට මෙච්චර කාලයක් ආදරේ කළා කියල..... කරන්න දෙයක් නෑ මන් ඒ වෙනකොට පරක්කු වැඩියි... මන් ඔයාට හිතින් සුබ පැතුවා... මොකද මට වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසා... ඒත් ඉදලා හිටලා ඔයා මට කතා කලේ ඔයාගේ මොකක් හරි ප්‍රශ්නයක් මාත් එක්ක කතා කරන්න.... ඒත් ආයෙත් ඔයා තනි වුනා.... ඔයා ආයෙත් මගෙන් ඇහුවා .... ඇත්තටම මන් ඔයාට හා කිව්වා.... ඒ වෙනකොටත් මන් ඒ ආදරේ මගේ හිතේ තියාගෙන හිටපු නිසා... ඒත් අපි දෙන්නට හම්බවෙන්න බැරි වුනා... කතා කරන්න බැරි උනා... එදා මන් දුන්න කැමැත්ත ඔහේ පාවෙලා ගිය වලාකුලක් වගේ ඔයාගේ ඇස් ඉස්සරහින් යන්න ඇති.... ඔයාත් ඒ දේ අමතක වෙන්න ඇති. මොකද මට ඔයාව හම්බවෙන්න එන්න වෙලාවක් තිබුනේ නැති එක ගැන මාත් එක්ක ටිකක් තරහෙන් හිටියේ ඔයා. මට වුවමනාවක් නැතුව නෙමෙයි. මන් කරන දේ එක්ක මට නිවාඩු ගන්න අමාරුයි. මොනවා උනත් ඔයාට හිතෙන්න ඇති එදා මන් කියපු දේවල් හීනයක් කියල. එදා මන් දුන්න කැමැත්ත අවලංගු වෙලා යන්න ඇති. 
කාලෙකට පස්සේ ඊයේ මන් මූණු පොතට ඇවිත් බලනකොට ඔයා life event එක වෙනස් කරලා තිබුනා" got engaged " මං ඒක එච්චර හිතුවේ නෑ මොකද මූණු පොතේ කට්ටිය ඕක එක එක වෙලාවට හිතුන හිතුන විදිහට වෙනස් කරනවනේ කියල. එත් ටික වෙලාවකින් ඔයා upload කරලා තිබුනා ඔයාගේ engagement  එකේ photos... ඒ වෙලාවේ මගේ ඇස් දෙකෙන් කදුළු වැටෙනවා මට තේරුනේ ටික වෙලාවකට පස්සේ... සමාවෙන්න මට අයිතියක් නෑ එහෙම අඩන්න.. මන් මුළු හිතින්ම ඔය දෙන්නට සුබ පැතුවා... ඒ වගේම තමයි මං මුළු හිතින්ම ආදරේ කළා... ඊයේ ඔයා මගෙන් ඇහුවා අපේ වෙඩින් එකට අනිවාර්යයෙන් එනවා නේද ? කියල.... එත් මන් ඒකට උත්තරයක් දුන්නේ නැත්තේ මං ගොඩක් වෙලාවට ඔයාගේ වෙඩින් එකට එන එකක් නෑ.... එත් ඉන්න තැනක ඉදන් මන් සුබ පත්තනවා හැමදාමත් සතුටින් ඉන්න... කවදාවත් අමතක වෙන එකක් නෑ මොකද මුලින්ම ඇහුවෙත් ඔයා ආදරේ කලෙත් ඔයාට.... ඉතින් ඒ මතක හැමදාමත් තියේවි... ජය මංගලම් යාලුවේ......

මං හැමදාමත් කියාගන්න බැරිවෙච්ච එකා උන 
කියාස්


Wednesday, March 18, 2015

චරිතේ

ඔන්න ඉතින් ටික කාලයක් තිස්සේ ඉගෙන ගන්න ට්‍රයි එකක් දුන්නත් කවදාවත් ලෙක්චර් එකක හරියට ඉන්න බැරිවෙච්චි එකා වෙච්චි මම ඊයේ දෙයියනේ කියල හෝල් එකේ හිටියා. එත් මොන හෙනහුරා ලබලද මන්දා මගේ කේන්දරේ ට මොකද මන් හිටියට ලෙක්චර කෙනෙක් ආවේ නෑ. මදැයි ඉතින් කාලෙකින් ලෙක්ච එකකට ඉන්න කියල ආවා.
ඉතින් ඔහොම ඉන්නකොට අපිට ඩ්‍රාමා කරන මැඩම් ආපි හෝල් එකට.
මැඩම්- හරි හරි කට්ටියම වාඩි  වෙන්නකෝ බලන්න
මගේ ළඟ ඉන්න එකා - ඒ මොනවා බලන්නද දන්නේ නෑ නේ?
මම - කට  යකෝ
මැඩම් - දැන් ඉතින් ඔයාලගේ සෙකන්ඩ් ඉයර් එකත් ඉවර වෙන්නනේ යන්නේ ඉතින් එග්සෑම් එකට අපි ප්‍රැක්ටිකල් ගන්නත් ඕනේ නේ? අදම පටන් ගමු නේද?
මම - ( හුටා! මදැයි ඉඳලා ඉඳලා ලෙක්චර් එකකට ආවා)
මැඩම්- හරි දැන් ඔය පලවෙනි පස් දෙනා එන්න ඇවිත් මෙතනින් එක චිට් එකක් අරගන්න. ඒකෙ තියෙන චරිතෙට ලෑස්තිවෙන්න විනාඩි දෙකක් දෙනවා
එහා පැත්තේ එකා - විනාඩි දෙක තියාගෙන අල කන්නද බං ?
මම - නෑ තියලා වාඩිවෙයන්
ඉතින් ඒ පස් දෙනාට හම්බවෙලා තිබුනේ කොන්දොස්තර, දේශපාලඥයෙක්,වෙළෙන්දෙක්, හිගන්නෙක්, අහිකුන්ටකයෙක්
ඉතින් ඔය පලවෙනි පස් දෙනාගේ සෙට් එකේ මගේ ෆිට් එකකුත් හිටියා එකාට ඇවිත් තිබුනේ කොන්දොස්තර
මම- ශා...... මරුනේ බන්
කොන්දොස්තර - පිස්සුද යකෝ මාව දැන් වෙව්ලනවා
මම- ලේසිම එකක්නේ හම්බවෙලා තියෙන්නේ අහවල් එකටද වෙව්ලන්නේ
කොන්දොස්තර - කියපිය දෙබස් ටිකක් මෙතන ඉගෙන බයිලා කියවන්නේ නැතුව
 කොහොම හරි ඉතින් කොන්දත් අපෙන් දෙබස් ටිකක් හරි ගස්සාගෙන ගිහින් රඟපානවා
කොන්දා - කොට්ටාව .. පිටෝ...ටුව හා...  හා. නගින්න නගින්න ඔය ඔය මල්ලි ෆුට් බෝර්ඩ් එකෙන් උඩට යන්න. මොකක්ද නෝනා මාරු සල්ලි අරගෙන බස් එකට නගින්න මෙතන පන්සීයේ කොළ දික් කලාම අපි කොහොමද ඉතුරු සල්ලි දෙන්නේ ? හරේ.... ඔය මොකක්ද මෙච්චර බස් එකේ ඉඩ තියෙද්දී දොර ගාව තද වෙලා ඉන්නේ ඔය මැද්ද පේලියෙන් ඉස්සරහට යන්නකෝ.... ඔය රතු පාට ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්න නංගි මැද පොල්ල අතැරලා ඉස්සරහට යන්නකෝ ...

මැඩම් - ( හිනාවෙමින් ) හා හා ඇති ඇති දැන් ඊළඟ හත් දෙනා එන්න බලන්න
මම- ( මදැයි ඔය කොලේ! මන් හිටියේ 12 වෙනියට දැන් ඉතින් යමන්කෝ :/
මාත් ඉතින් ගියා මේසේ ලඟට. හම්මේ මන් යනකොට අපේ අනිත් ටික පොර කාලා චිට් ටික අරගෙන මට එකක් ඉතුරු කරලා තිබුනා...
මාත් ඉතින් චිට් එක අරගෙන බැලුවා.. හම්මේ හිත කූල් වෙලා ගියා .... " ප්‍රේමවන්තයෙක් !?"
මට ඒ වෙලාවේ ඉතින් කලන්තේ වගේ ආවා. ඔහොම දෙපැත්තට වැනි වැනි ඉදගන්න ගියා.
එහා පැත්තේ එකා - ඒ මොකක්ද හම්බුනේ මට කොන්දොස්තර (චිට් එක උදුරමින්) අඩේ බලාපන්කෝ මේකාට ඇවිත් තියෙන එක යකෝ..... ප්‍රේමවන්තයෙක් ! ඒ උඹට ගැලපෙනම එක ආ....
අනිත් සෙට් එක - ඒ මරු ආ .... සිරාවට ගැලපෙන එක ඇවිත් තියෙන්නේ ආයෙත් නෑ එකෙන්ම ආ
මම - (මුන් නම් අම්මපා ශිකේ ... මමනේ දන්නේ ඉතින් වෙව්ලන තරම) හා හා... මගේ කෙල්ල වෙන්න කව්ද එන්නේ ?
නිශා - මන් එන්නම් ^_^
මම - අඩේ තෑන්ක්ස් ආ....
 ඉතින් ඔහොම ගිහින් මගේ වාරෙත් ආවා කියාන්කෝ ඉතින් ඔක්කොටම කලින් ගෙනිහින් තිබ්බා පුටු දෙකක් ඔන්න ඉතින් නිශා පුටුවක ඉදගෙන පුපුර පුපුර ඉන්නවා... මන් ඉතින් දඩි බිදී ගාගෙන දුවගෙන ඇවිත් ටිකක් ඈතින් නැවතිලා වෙලාව බලලා කොන්ඩේ හදනවා. ඒ ගමන්ම මටම කියාගන්නවා
මම- පැය බාගයක් පරක්කුයි අදනම් ඉතින් ඉවරයි... මගුල් බස් එක අම්මපා ශික්!
ඉතින් මන් දැන් නිශා ගාවට යනවා ( දෙබස් ටිකක් දුන්නනම් පාඩම් කරගෙන එනවනේ අප්පා දැන් ඉතින් හිතලා කියාන්කෝ) එයාගේ පිටිපස්සෙන් ගිහින් උරහිසෙන් අල්ලගන්නවා.
මම - තරහද?
නිශා - ( නෝ කතා)
මම - කතා කරන්නකෝ නංගි
නිශා - ඇයි අයියේ මට මෙහෙම කරන්නේ මන් කොච්චර වෙලා බලන් හිටියද මෙතනට වෙලා?
මම- පොඩ්ඩක් අහන්නකො නංගි බස් එක පරක්කු උනා මන් වෙලාවට ආවේ ඔෆිස් එකෙන්....
නිශා - බුම්මගෙන අහකබලාගනී
මම - ( නිශාගේ අත අල්ලාගනිමින්) ඔයාට මතකද අපි දෙන්නා හම්බුන පලවෙනි දවස ?
නිශා - හ්ම්ම්ම්
මම - ඔයා වැස්සේ තෙමීගෙන කුඩයක් වත් නැතුව හෙවනක් හොයාගෙන දුවගෙන යද්දී....... අර අර කොහෙවත් නැති නරුමයෙක් දාපු කෙහෙල් ලෙල්ලක් පෑගිලා ඔයා වැටෙන්න යනකොට ............ මන් කොහේ ඉදන් දුවගෙන ඇවිත් ඔයාව අල්ලගත්තද කියන්න මන් අදටවත් දන්නේ නෑ නංගි.
නිශා - ඔයාට ඒකත් දැන් විහිළුවක් උනාද අයියේ
මම - නෑ රත්තරන් මන් කිව්වේ එදා ඒ තරම් ආදරයක් තිබුනානම් මේ හිතේ අදවෙනකොට කොයි තරම් ආදරයක් ආදරයක් තියෙනවද කියල ඇයි නංගි ඔයාට තේරුම් ගන්න බැරි? ඇයි මාව මේ තරම් රිද්දන්නේ ?
නිශා - අනේ අයියේ.....
මම- පොඩි පොඩි දේවල් වලට මේ හිත රිද්දන්න එපා නංගි..... මන් ඔයාර ආදරෙයි නංගි ....
නිශා - මමත්......

ඔන්න ඔහොමයි ඉතින් කතාව ඉවර උනේ :)

ඉතින් අපි දෙන්නා ගිහින් ඉඳගත්තා විතරයි උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බුනා.... අඩෝ තව ටිකක් රඟපෑවනම් මැඩම්ගේ බඩ පැලිලා මැරෙනවා බං! 



Saturday, February 7, 2015

නිදහස

               කාලෙකින් ගොඩවැදුනේ. ජීවිතේ මාර වේගෙකින් මේ දවස් වල ගලාගෙන යන්නේ. පොඩි විප්ලවකාරී ගතියකුත් නැත්තෙමත් නෑ. ඒ කියන්නේ අපේ විදිහට කිව්වොත් කොයි වෙලාවේ බෙල්ල ගහල යයි ද දන්නේ නෑ. මේ දවස් වල වෙන දේවල් ගැන කියන්න හිතුවේ ඇත්තටම ඒක එක පාරටම ඔලුවට ආවා. මෙහෙ ටිකක් විතර තොරතුරු තාක්ෂණය කියන පැත්ත දන්න අය ටිකක් අඩුයි. තව හේතුවක් තියෙනවා දන්නා ටික දෙනාවත් එන්නේ නැත්තේ දන්නවා කිව්වොත් එහෙම නිකම් යකා බැඳ ගත්තා වගේ වැඩ ගන්නවා. යේ ඉතින් ඔෆිස් එකේ වැඩ මිසක් ලෙක්චර්ස් වලට යනවා තියා හිතන්නවත් බෑ. ඉතින් පෙර කළ පවක් හේතුකොටගෙන කියාස් ගේ රූමා ගේ පාවාදීමකට නතු වී මට ඔය තොප්පිය වැටුනා. ඇත්තම කියනවනම් ගිය අවුරුද්දේ මැයි වල ඉඳලා මේ කියාස් ලෙක්චර්ස් වලට ගිහින් නෑ හරියකට. 
                ඉතින් මේ අවුරුද්දේ කොලේජ් එකට එනකොට හිතාගෙන ආවේ දෙයියනේ කියල වෙන වැඩ වලට යන්නේ නැතුව මගේ වැඩ ටික කරගෙන ලෙක්චර්ස් වලට යනවා කියලා. වැඩක් නෑ නමෝ විත්තියෙන් ම පලවෙනි දවසෙම වැඩකට මාට්ටු උනා. ඉතින් ඔහොම කාලේ ගත වුනා කියමුකෝ. නිදහස් දිනේටත් උත්සවයක් තියෙනවා කියල පෙරඩ් එකට යන්න උනා. ඒත් අපේ බැච් එකේ කොල්ලොටික ගෙදර යැව්වා පන්ති තහනම් කරලා. මොනවා කරන්නද ඒත් එකට ඉගෙනගන්න එකට ආපු එවුන් නැතුව කොලේජ් එකේ උත්සවයක් කලාමයි. එදා මළගෙයක් වගේ.
               ඉතින් ඔය කොල්ලොටික ගෙදර යැව්ව එකට අපේ බැච් එකේ විරුධත්වයක් ආවා. මොකද ඔය පොඩි එවුන්ගේ බැච් එක ආපු දවසේ ඉදලම අපි උන් දිහා බැලුවත් දුවගෙන ගිහින් කියනවා ඉහලම තැනට අන්න අක්කලා අයියලා රැග් කළා කියල. ඉතින් ඔය නිසා කොල්ලොන්ව ගෙදර යවපු එක සාධාරණ නෑ කියල විරුද්ධත්වයක් ආවා. එත් වැඩේ කියන්නේ ඉතින් ඒ කතා කරපු කට්ටියගේ කටවල් වහන්න වැඩි වෙලාවක් ගියේ නෑ. 
              ඉතින් ඔය කියන දවසේ රෑ කියාස්ට ඕනේ උනා වෙච්ච අසාධාරණේ ගැන නිසඳැසක් ලියන්න. ඉතින් පිටු දෙකක් විතර ලියාගෙන ලියාගෙන ගිහින් අන්තිමට ලොකු අක්කා විසින් ලියන ලදී කියල යටින් ලිව්වා. 
               පහුවෙනිදා වෙනකොට උදෙන්ම නෝටිස්බෝඩ් එකේ නිසඳැස! ඉතින් ඔහොම ඉන්නකොට දවල් වෙද්දී අපේ ක්ලාස් එකේ යාලුවෙක් අතේ කොලෙකුත් තියාගෙන පන්තියට ඇවිත් අහපි 
"කෝ......... මේ කියාස්?"
ඉතින් මන් පුටුවේ වාඩිවෙලා ඉන්නගමන් ඇහුවා "මොකෝ ...?"
හරි! පොර දැක්කා මන් ඉන්න තැන!. පන්තියේ දොරගාව ඉදන් සුළි කුණාටුවක් වගේ හමාගෙන ආවා මන් ඉන්න තැනට. ඇවිත් ......
"යකෝ තොට පිස්සුද මෙහෙම ලියල නෝටිස් බෝඩ් ගානේ දාන්න? තොටත් ඕනේ ගෙදර යන්නද? "

ඔන්න ඔහොම ඉතින් කියාගෙන ගියා...
"ඉතින් මේකේ මගේ නම ලියලා නෑනේ?..... කොහොමද මන් ලිව්වා කියන්නේ?"
"තොට අදුරගන්න බැරි උනාට අන්න අනිත් එවුන් ඔක්කොම දන්නවා තොගේ අකුරු... මේ ගැන කතාවෙනකොට මාත් ගිහින් බැලුවා මොකක්ද මේ කියල... "
"ආයේ ලිව්වොත් බලාගෙනයි .... අන්න වයිස් ප්‍රසී ඇවිත් නිර්නාමික නිසදැස් ඔක්කොම ගලවාගෙන ගියා... මේක තිබ්බනම් තමයි බලාගන්න තිබුනේ..."
මාත් ඉතින් කියන දේවල් ටික කල්පනා කරලා කට වහගත්තා. ඇයි දෙයියනේ මන් ලිව්වේ මගේ හිතේ තියෙන දේවල්නේ. එකටවත් දැන් නිදහසක් නැද්ද?




Sunday, November 2, 2014

දුර ඉන්න තාත්තාට ...........

තාත්තේ .....
                                               මගෙන් ඈත් වෙලා ගිහින් දැන් අවුරුදු 6කටත් වැඩියි නේද? මාව බලන්න නිකමටවත් එන්න හිතුනේ නැද්ද තාමත්? මගේ කෙල්ල බලන් ඉන්නවා ඇති නේද කියල හිතුනේ නැද්ද නිකමටවත් ? එදා මන් ඉස්කෝලේ ඇරිලා එනකොටම වගේනේ ඔයා යන්න ගියේ...... තාමත් ආවේ නෑ...
කොච්චර කල්ද දැන් ? මන් දැන් ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි.... මන් හැමදාමත් බලන් ඉන්නවා තාත්තා එයි කියල.. කතා කරන්නවත් විදිහක් නෑ නේ ඉතින්... මට තාත්තා ගිය දවසේ ඉදන්ම අද වෙනකම් එකම හීනයක් පේනවා තාත්තේ ඔයා ආයේ ගෙදර එනවා.... මන් ගාවට එන්න බැරිනම් මන් එන්නද තාත්තා ළඟට ? මට කියන්න තාත්තේ හරියටම කොහෙද ඉන්නේ කියල ? මන් තාත්තව හොයාගෙන එන්නම් ...
                                              ඉස්සර තාත්තර මතකද මාත් එක්ක සෙල්ලම් කරපු හැටි ? අම්මා කොච්චරනම් බැනලා තියෙනවද නේද ? ගෙදර තියෙන වීදුරුත් බින්දා මතකද අම්මා එන්න කලින් ඒවා අස් කරපු හැටි ? මට බයිසිකල් පදින්න පුරුදු කරපු හැටි ? මාත් එක්ක බැඩ්මින්ටන් ගහන්න හිටියේ ඉතින් ඔයා නිසැක වෙන කව්ද ?
                                             ඔයා මාව දාලා ඈතට යනකම් මන් තනියම පාර මාරුවෙන්නවත් දැනගෙන හිටියේ නෑ කියලා ඔයා දන්නවනේ තාත්තේ.... මාව මේ ලොකු සමාජේ තනි උනා වගේ උනා. කමක් නෑ තාත්තා හොඳින් ඉන්නවනම් මට ඒ ඇති. මන් දන්නවා තාත්තා කවදා හරි මාව බලන්න එනවා. මන් තාමත් බලන් ඉන්නවා. 
                                                                                                                                                                       මීට,
                                                                                       
                                                                                                                       දුවෙක්  උනාට තාත්තගෙම පුතා 





Saturday, October 18, 2014

ඔහු හදන මතු මහළට ගී කියන කුරුල්ලනි .....

ටජ්මහල් කුරුල්ලනි
වරෙව් ......
පුරාණ ටාජ් මහල්
කතාව අතැර ...
මෙතෙක් ඔබ ගැයූ
මියගිය පෙම් පුරාණය
මතින් ඉදිවූ .....
"ටාජ්මහල්"
ආදරයේ නාමය අතරින් හමන
ලේ සුවඳ ....
කුමක්ද ?
මියගිය ඇයට ඉදිකළ
ආදර මහළට
දහදිය මුහුකළ
ගල්වඩුන්ගේ මරණයේ විලාපය
ඒ;
ලේ සුවඳ
ටාජ්මහල් ආදර ගී ගයන
කුරුල්ලනි .....
කිසිදිනෙක නොදැනුනි ද නුඹලා හට ...
ඉතින් වරෙව්.....
සාජහන්- මුන්ටාස්
මළවුන්ගේ ආදර කතා  අතැර
මගේ උර තලය මත
ඔහු හිස සතපවන යාමයේ
විකසිත පෙම් පුවත ගයන්නට
මා පෙම්බරා සමඟ ....






Thursday, August 14, 2014

රූමාට ලියන කවි

දයාබර රූමා වෙත....

වැඩක් නෑ රූමෝ හැමදාම වගේ කෑගහන්න බන් 


මන් මුකුත් කියන්නේ නෑ 


මට ඔව්වා ඇහෙන්නෙත් නෑ 


වෙනදා වගේ මන් මගේ ලෝකේ ඉන්නම් 


ගෙදරින් කතා කරන එකකුත් නෑ 


ඔය කට නිසා තමයි 


මොකද මගේ වචන ඇහෙන්නේ නෑ ලු 


විදුලි කොටන බෙලිකටු 

ඒ නම ඔයාගේ තමයි බව්තීස්ම කලේ මං 

ආයෙත් තියෙනවා වාසගමක් 


විනාස සාගරන් 


ඔව් ඔව් 


විනාස සාගරන් ගේ විදුලි කොටන බෙලිකටු 


කියලම වැඩක් නෑ බං 


මේ පාරත් ඉතින් අවුලක් නැතුව කෑගහපන් 

හොඳ වෙලාවට මට කොල්ලෙක් නැත්තේ 


එහෙනම් මෙලහකට පවුලත් ඉවරයි !


හිටියනම් ඉතින් ....


මල් කඩන වෙලාවටවත් කියන්න තිබුනා 


ඒ පොඩ්ඩක් හෙමින් කතා කරනවකෝ 


මාත් මල් කඩනෝ 


කියල ....


කෑගහපන් බං ඇති වෙනකම් 


මේ අවුරුදු ගානටම ..........


නිදහසේ කෑගහපන් 


මම නෙමෙයි මුකුත් කියන්නේ 


අද ඉදන් මන් බීරෙක්!





Wednesday, July 23, 2014

මනුස්සකම

මේ දවස් වල කියාගන්න බෑ ඉන්න තැන වෙන දෙයක් ගැන කියන්න ඕනේ කියල හිතුනා. හොස්ටල් කියල කියනකොට මොකක්ද මතක් වෙන්නේ? ලංකාවේ නම් ඉතින් සාඩින් ටින් එකක වගේ එක රොත්තට එකම බිල්ඩින් එකක ඉන්න කට්ටියක්නේ. ගොඩක් වෙලාවට අවම පහසුකම් තමයි ඉතින් තියෙන්නේ. ඔහොම ඉන්නකොට එක්කෙනෙක්ට හෙම්බෙරිස්සාව හැදුනොත් ඇති ඉතින් දෙයියනේ කියලා ඔක්කොටම හැදිලා තමයි සනීප වෙන්නේ. ඔව්වා ඉතින් සාමාන්‍ය දේවල්නේ. මොකෝ හෙම්බිරිස්සාවක් හදුන්නති කෙනෙක් හොයාගන්න බෑ නේ බෙහෙතකටවත්. 

මට කියන්න ඕනේ හෙම්බිරිස්සාව ගැන නෙමෙයි. මේ ලඟදි මෙහෙ ළමයි ටික දෙනෙක්ට රෑෂ් එකක් ආවා හමේ. ඉතින් ඕකට එයාලා බෙහෙත් ගත්තා. කියාගන්න බෑ ඉන්න ෆ්ලෝ එකේ ළමයි ටිකක් විතර අනිත් අයගෙන් වෙනස් කියල තමයි කියන්නේ හැමෝම වගේ. වෙන එකක් නෙමෙයි එයාලා ආත්මාර්ථකාමී ලු. බැච් එකේ ඉන්න පෝසත්ම සෙට් එක ඉන්නේ මේ ෆ්ලෝ එකේ කියල වෙනම නාමෙකුත් තියෙනවා. ඉතින් ඔය ගැන ගොඩක් දේවල් අනිත් අය මාත් එක්ක කියනවා ඇත්තටම මන් වරදීමකින්ද කොහෙදලු මේ ෆ්ලෝ එකට වැටුනේ . මන් කියල මොනා කරන්නද. ඉතින් මේ ෆ්ලෝ එකේ ළමයි අර ළමයින් ඉන්න පැත්තකින් වත් යන්නේ නෑ. ඔන්න ඕකයි තත්වේ.

දවසක් අර රෑෂ් එක හදුනා ළමයෙක් ආවා මාව හම්බවෙන්න. කියාස් පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද ? 

අයියෝ පුළුවන් එන්න මගේ කාමරේට 

නෑ අනේ ඔයාගේ රූමා කැමති වෙන එකක් නෑ අපි යමු එලියට 

ඔන්න ඉතින් අපි එලියට ආවා. 

කෝ ඉතින් කියමුකෝ බලන්න.

මෙන්න මේ කෙල්ලගේ ඇස් වල කඳුළු 

ඇයි මේ අඩන්නේ?

මට කියන්න කෙනෙක් නෑ කියාස් ඔයා මේ අල්ලාගෙන ඉන්න මගේ අතෙත් රෑෂ් එක තියෙනවා.

ඔව් ඉතින් ...?

ඇයි ඔයා අත අතාරින්නෙ නැත්තේ කියල මන් අහන්නේ නෑ ඒත් .... ඔයාලගේ ෆ්ලෝ එකේ ළමයි මට කරන වෙනස්කම් මට දරාගන්න බෑ කියාස්... මන් දන්නවා ඔයා වෙනස් කියල... ඇයි මට මෙහෙම කරන්නේ? මට ලාදුරු හැදිලා වගේනේ එයාලා මාව දැක්කත් අහකබලා ගන්නේ? අද මන් වොෂ් රූම් එකට මුණ හෝදන්න ගියාම හැමෝම ඈත් උනා.... මට එතනම මැරෙන්න හිතුනා කියාස්..... 

ඇය අඩන්නට විය.. 

ඇත්තටම උනේ ඕකයි............

මාත් එදා රෑ ඕක ගැන හිතුවා. ඇයි ඇත්තටම මෙයාලටත් ඕක හැදුනොත් මොකද වෙන්නේ කියල හිතන්න බැරි? ප්‍රවේසම් වෙන්න ඕනේ තමයි එත් එහෙම කෙනෙක්ව කොන් කරන එක සාධාරණද? මනුස්සකම කියල මුන් හැමතිස්සෙම කතා කරන වචන වල තේරුම කෝ?