Sunday, June 15, 2014

දවසට මතක් උනාම නෙමෙයි

මේ ලඟදි දවසක පිය වරුන්ගේ දිනයක්  තිබුනා මට නම් ඒ සීමාවේ වැඩක් නෑ මොකද මන් දින වලට හරියන්න ඔව්වා සමරන කෙනෙක් නෙමෙයි. මගේ නම් කාගේ නොවුනත් තාත්තා කියන පුද්ගලයා මගේ ජීවිතෙත් එක්කම ඉන්න කෙනෙක් නිසා එක දවසකට විතරක් සීමා කරලා දාන්න කොහොමත්ම බෑ. කියාගන්න බෑ කියන බ්ලොග් එකේ නම් මේ වෙනකම් ලියවිලා අත්තේ මගේ අම්මා ගැන. එකටත් පොඩි හේතුවක් නැත්තෙමත් නෑ. ඒත් මේ දෙන්නම නැත්නම් ඉතින් මට වැඩක් නෑ. අර පොඩි කාලේ අපෙන් හැමෝම අහන්නේ අම්මටද තාත්තටද පුතා වැඩිපුර ආදරේ කියල ? එතකොට අපි කියන්නේ .... අම්මටත් තාත්තටයි දෙන්නටම ආදරෙයි කියලනේ. මන් නම් තාමත් එහෙම ඇහුවොත් දෙන්නේ ඒ උත්තරේම තමයි.

ඉතින් කියාස් වෙච්ච මම පොඩි කාලේ ඉදලම වැඩියම කාලේ ගෙව්වේ තාත්තත් එක්ක කිව්වොත් හරි. ඇත්තටම අම්මයි තාත්තයි කරපු රැකියා එක්ක දෙන්නම කාර්යබහුල දෙන්නෙක්. ඒත් මාව අමතක කලේ නෑ කවදාවත්. අම්මට රෑ දවල් කියල බලන්නේ නැතුව වැඩ කරන්න උන නිසාම අපි හිටියේ නිල නිවාස වල. ඉතින් තාත්තා කොහොම හරි වැඩ ඇරිලා 5 ට කලින් ගෙදර එනවා. ඒ එනකොට මාව නම් අමතක කරන්නේ නෑ මොනවා හරි මටත් අරන් එන්නේ. :)

තාත්තා තමයි ඉස්සර මගේ හැමදේම.... ඒ කියන්නනේ ඉතින් මන් හැමදේම කියන්නේ තාත්තට. තාත්තා තමයි ඉතින් මාව ඉස්කෝලේ යන්න උදේ 6 ට වෑන් එකට නග්ගන්නේ , සෙනසුරාදා හවසට බුදවත්ත සර් ගේ නැටුම් පංතියට එක්කන් යන්නේ ඔය හැමදේම. ඒ එක්කම ඉතින් පව්ලේ එකම ළමයා වෙච්ච මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නෙත් තාත්තා තමයි. මන් පොඩි කාලේ හරි ආසයි අර හුරන ලොතරැයි වලට. ඉතින් දවසක් තාත්තා ඒවා ගොඩක් එකතු කරන ඇවිත් පොඩි ලෑලි කෑල්ලක ඒවා ගහලා මගේ පොඩි බයිසිකලේ ඉස්සරහින් එක හයිකරලා දුන්නා. ඉතින් දවස තිස්සෙම මන් කලේ ඕක  පැද  පැද  සුවිප් විකුණපු එක.

තව දවසක් තාත්තයි ස්නේක් ඇන්ඩ් ලැඩර් ගේම් එකට දාදු කැටේ හොලවලා දාන්න ගත්තා අම්මගේ වයින් ග්ලාස් සෙට් එකෙන් වයින් ග්ලාස් එකක්. වැඩේ කියන්නේ අපි දෙන්නා රණ්ඩු කරන්න ගිහින් ඕක වැටිලා කැඩුනා. ඉතින් කාටවත් කියන්න ගියේ නෑ අපි දන්නෙත් නෑ ඉතින් වයින් ගලාස් එකක් අදයි කියලා හොඳේ ? දවසක් අම්මා කබඩ් එක අස් කරද්දී වයින් ග්ලාස් එකක් අඩුයිනේ කිව්වට ඉතින් තාත්තයි මායි කොහොමද ඔව්වා දන්නේ ;)

ඔව්වගේ වැඩ තමයි ඉතින් තාත්තයි මායි කරන්නේ. ඉස්සර ඉදන්ම ඉතින් අම්මා සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් විදිහට තමයි ගෙදර දොර පාලනේ ගෙනිච්චේ. ඉතින් කියාස්ට ඉස්කෝලේ කැන්ටිමෙන් කන්න සත පහක් වත් දෙන්න තහනම්. ඒත් ඉතින් කියාස්ව වෑන් එකට දාන්න එන්නේ තාත්තනේ. එතකොට මට හම්බවෙනවා රුපියල් 5ක් :) ඒ කාලේ රුපියල් 5 ට ගන්න ගොඩක් දේවල් තිබුනනේ දෙයියනේ කියල.

ඒ කාලේ තාත්තත් එක්ක තමයි බැට්මින්ටන් ගැහුවේ . අනේ ඉතින් දෙයියනේ කියලා කලාතුරකින් තමයි මට හරියට පාරක් ගහන්න පුළුවන් වෙන්නේ. ඒත් ඉතින් එපා වෙන්නේ නෑ.

තාත්තම තමයි මට ටිකක් ලොකු බයිසිකලයක් ගෙනත් දුන්නේ. ඔන්න ඉතින් රෝද දෙනෙක් බයිසිකල් පදින්න ගිහින් වැටිලා නම් නෑ මොකද තාත්තා හිටියනේ. හැබැයි ඉතින් යාළුවොත් එක්ක වැඩි වැඩ දාන්න ගිහින් හොම්බෙන් ගිහින් තුවාල කරගෙන තියෙනවා මදි නොකියන්න.

දවසක් මන් අත තියාගෙන ඉදිද්දී තාත්තා ඇතුලෙන් දොර වහලා මගේ ඇගිල්ලක් අහුවුනා ඉතින් යන්තම් කිව්ව ගමන් තාත්තා දොර ඇරලා අත අරගෙන බැලුවා. අවුලක් නෑ ඉතින් මන් කිව්වා අම්මට කියන්න එපා කියල. කිව්වා විතරයි අතෙන් ලේ ඒකයි. තාත්තා මාව වඩාගෙන කෙලින්ම දිව්වේ කුස්සියේ උය උයා හිටපු අම්මා ලඟට.

ඉතින් තව දවසක් තාත්ත ත් එක්ක බයික් එකේ ක්ලාස් ගිහින් එනකොට බයික් එක පෙරලිලා සයිලන්සරේට කකුල පිච්චුනා. අම්මට නම් මන් කොහොමත් කියන්න ගියේ නෑ. ඒත් ඉතින් වැඩි දවසක් ඕක හංගන්න බැරි උනා. එදා ඉදන් ටික කාලයක් යනකම් තාත්තටයි මටයි බයික් එක තහනම් උනා. :)

කොච්චර දේවල් තියෙනවද කියන්න නම්..... මගේ 7 වෙනි උපන්දිනේට තාත්තා අරන් දුන්නා මගේ උසටම ඉන්න බෝනික්කෙක්  එයාට බැට්රි දැම්මා ම එයා කතා කර කර ඇවිදිනවා. වැඩේ කියන්නේ එයාව කැඩුවේ මම නම් නෙමෙයි තාත්තාම තමයි බැට්රි දාන්න ගිහින් කැඩුවේ. එදා ඉදන් එයා කබඩ් එකේ. කොහොමත් මන් බෝනික්කන්ට කැමති උනේ නෑ.

එක සැරයක් මට අසනීප වෙලා හොස්පිටල් එකෙන් කිව්වේ ඒ වෙලාවේම බ්ලඩ් රිපෝර්ට් එකක් ගන්න ඕනේ කියල. ඒ වෙලාවේ ඒකට ගෙවන්න අතේ තිබුන සල්ලි මදි වෙලා කවදාවත් තාත්තගේ අතෙන් ගලවන්න බැරිවෙච්ච මගුල් මුද්ද ගලවලා උගස් තිබ්බා. එදා මට පුදුම දුකක් දැනුනේ. තාත්තා කිව්වේ පුතේ මන් හෙට ඕක බෙරගන්නවනේ කියල.

මන් හොස්පිටල් ඉන්නකොට තාත්තා මාව බලන්න ඇවිත් අම්මා මට බත් කවනකම් කැනියුලා එක තියෙන අත අතගගා ලගින් හිටියා. මුකුත් කිව්වේ නම් නෑ ඒත් ඒ ආදරේ මට තාමත් දැනෙනවා.

කවදාවත් මට පුතේ ඔය මෙහෙම කෙනෙක් වෙන්න මේ රස්සාව කරන්න කියල කියල නෑ. ඇත්තම කියනවනම් උඹ කියලවත් බැනලා නෑ.

තාත්තට කොච්චර ආදරෙයිද කියල මන් කියල නෑ වචනෙන් කවදාවත්. ඒත් තාත්තා දන්නවා මන් කොච්චර ආදරෙයි ද කියන්න. තාත්තත් හැමදේම කිව්වේ මාත් එක්ක. ඇත්තටම තාත්තගේ ලෝකේ උනේ අපේ පුංචි පවුල. එහෙම තාත්තා කෙනෙක් ලබන්න මන් කොයි තරම් වාසනාවන්තද. මට ඇත්තටම මගේ තාත්තා ගැන ආඩම්බරයි. කවදාවත් අපේ ගෙදර රණ්ඩු වෙනවා මන් දැකලා නෑ. ඇත්තටම මගේ තාත්තගේ ආදරේ සුවඳ හැමදාමත් මගේ හිතෙන් මැකෙන්නේ නෑ....



8 comments:

  1. So make sure you don't disappoint him.

    ReplyDelete
  2. තාත්තා දුවලාට ගොඩක් ආදරෙයි.

    ReplyDelete
  3. සිංහබාහු පටන් ගද්දි කියනව මේම..

    පුතු සෙනේ මස් නහර හම සිද
    ඇට සොයා ගොස් ඇට තුලට වැද
    ඇට මිදුළු මත රදා සිට
    දුක් දෙයි නිබන්දා....

    ඒත් ඉවර වෙන්නෙ මෙහෙම

    පුතු සෙනේ පිතු හද තුලම මිස
    නැත පුතුන් හද තුල රදන්නේ
    ඇට තුලට වැද ඇට මිදුළු මත
    සදා කල් නැත දුක් දෙවන්නේ...

    මට කියන්න ඕන හැම දෙයක්ම මේ කවි දෙකේ තියනව...
    ඒක හිංද ඒක එච්චරයි...
    (කවි දෙක වැරදි නං දන්න කෙනෙක් හරි ගස්සල යන්න හොදේ...
    මතක විදියට ලීවෙ)

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ හැමදේම මේ කවි දෙක අතිලේ තියනවා කියල ......... තාත්තගේ ආදරේ කියන එක ගැන කියන්න ඇත්තටම මට තාම තේරෙන්නේ නෑ හරියට

      Delete
  4. ඉලෙක්ට්‍රා සංකීර්ණය කියලා මනෝවිද්‍යාවෙන් කියයි. ඒත් තාත්තගෙ ආදරේ ඒ වගේ සංකල්පයකට ලඝු කරන්න බෑ. ගොඩක්ම දැනෙන්නෙ තාත්තා නැති වුණාට පස්සෙයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත ........ අපි ළඟ ඉන්න හැමකෙනාම දුරස් උනාම තමයි ඒ ආදරේ ගොඩක් දැනෙන්නේ. තාත්තා ඒ අතින් ගොඩක්ම දැනෙන කෙනෙක්

      Delete