Thursday, March 6, 2014

අපේ කුරුටු ගී.....




කියාස් මේ දවස් වල ඉගනගන්නේ ඉතින් හොස්ටල් එකක නැවතිලා ඉන්නගමන්නේ . ඉතින් ඒ ජීවිතේ ගෙදර ගෙවන ජීවිතේට වැඩිය වෙනස් හාත්පසින්ම. රූමෙක් එක්ක කාමරේ ඉන්නකොට ඉතින් රූමා තමයි හැමදේටම ඉන්නේ. දුකට සැපට... දෙකටම. හැබැයි ඉතින් ඔය අතරේ හොස්ස ලඟින් මැස්සා යන්න බෑ වගේ දෙන්නට දෙන්නා පෙන්නන්න බැරි රූමා ලා නැතුවමත් නෙමෙයි.

ඒ කොයිහැටි වෙතත් ඉතින් ගෙදරින් ඈත්  උනාම ගෙදර මතක් වෙන එක නවත්තන්න බෑ නේ. ගෙදර විතරක්ම නෙමෙයි සමහර අයට තව අය මතක් වෙනවා එහෙම තමයි ඉතින් ආදරේ කරන්න ගියාම... ළඟ නැති උනාම , නිතර දකින්න නැති උනාම තමයි වටිනාකම තේරෙන්නේ...

කියාස් ගේ යාලුවෙක් ඉන්නවා ලස්සනට සින්දු කියන්න පුළුවන්... එයා හැමතිස්සෙම කියන සින්දුවක් තමයි
 "වියෝ වූ පසුවයි දැනෙන්නේ
  ප්‍රේමයේ අභිමන් .................."
ඉතින් කියාස් දවසක් යාලුවගෙන් ඇහුවා " ඇයි ඔය සින්දුවම කියන්නේ?"
එතකොට හම්බුන උත්තරේ තමයි
" ඒ වචන ටික කිව්වාම ඔයාට මගේ ආදර කතාව වෙනම කියන්න ඕනේ නෑ කියාස්"
හ්ම්ම්.... එතනින් එහාට මන් ඒ ගැන ඇහුවේ නෑ

ඉතින් ඔය අතරේ තමන්ගේ දුක එක එක විදිහට තුනී කරගන්න අය ඉන්නවා, ඒ තමයි හැටි. මොකද හැමෝම එකවගේ නෙමෙයි නේ? ඔන්න එකවගේ ප්‍රශ්න තියෙන හරි ටිකක් එක විදිහට හිතන පතන, යාළුවො දෙන්නෙක් හම්බ උනොත් තමන්ගේ හිතේ දුක දෙන්නට දෙන්නා කියාගන්නවා.

නැත්නම් සමහර අය ගෙදරට නැත්නම් තමන්ගේ ආදරවන්තයාට (ඒ කියන්නේ ඉතින් කොල්ලටනේ )
ඉඩක් ලැබුන ගමන් ම කෝල් කරනවා. නැත්නම් ටිකක් ඇති හැකි අය ඉන්නවා නම් ඒ අය ලැප ඕන් කරගෙන ස්කයිප් යනවා...

ඔහොම යනකොට ඉතින් බැඳීම් වලත් පොඩි පොඩි වෙනස් වීම් නොවෙනවත් ම නෙමෙයි. පව්ලක අම්මයි තාත්තයි එක්ක කතා කලේ නෑ කියලනම් කවදාවත් දෙමව්පියෝ ළමයා ව අමතක කරන්නේ නෑ තරහ වෙන්නේ නෑ. ඒත් මේ කියන ආදරේ වෙනයි. සමහරක් අය ඉන්නවා පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් ආදරේ විරහව වෙන කට්ටිය. නේවාසිකාගාර ජීවිතේට අපි ආපු ගමන් ගොඩක් අයගේ ආදර කතා වලට නැවතීමේ තිත වැටුනා. සමහරක් අයට කොමාවක්. ඔයිනුත් එකක් දෙකක් වගේ තමයි තාමත් බේරිලා තියෙන්නේ ඒ කියන්නේ ඉතින් ගෙවල් වලින් කැමැත්ත හම්බුන ටික තමයි නැත්නම් දැන් තියෙන්නේ මෙහෙ එන්න කලින් තිබුන සම්බන්දේ  නෙමෙයි අලුත් එකක්.

අන්තිමට ඉන්නවා ටික දෙනෙක් අන්න ඒ අය තමයි තමන්ගේ දුක කවි කතා වලට පෙරලන්නේ. හිතට එන දුක කොහේ හරි ලියනවා එක්කෝ කොලේක. කොලේක ලියන කවි වලට නම් වැඩි ආයුෂ නෑ. සමහරක් අය ලියන්නේ තමන්ගේ ඇද ළඟ බිත්තියේ. එතකොට නම් පරම්පරා ගානකට ඔය කවි මැකෙන්නේ නෑ තීන්ත ගෑවොත් මිසක්. ඕවයේ ඉතින් ආයේ තීන්ත ගාන්නෙත් නෑ ඒ නිසා හැමදාටම තියෙනවා ඒ කවි. අන්න ඒ කුරුටු ගී ටිකක් මන් එකතු කරගත්තා. ලිය ලියා ඉන්න විවේකයක් තිබුනේ නෑ ෆෝන් එකෙන්ම ගත්තා ෆොටෝ.

ගොඩක්ම තිබුනේ ආදරේ... විරහව ගැන ඒ අතරින් පතර සහෝදරකම ගැනත් තිබුනා...


මට හරිම පාළුයි අක්කේ ,
මේ කෙටි කාලෙට
මන් ඔයාට කොයි තරම් ආදරෙයි ද?
මට අක්කලා ගොඩයි
සතුටුයි....
ඒත් දුකයි
ඇත්තටම ඔයාට ආදරේ කල නිසා නේද
මේ තරම් දුකක්?

සියල්ල වෙනස් වෙමින් පවතී
මා ද වෙනස් වෙමින් පවතී
මටද වෙනස් වීමට සිදුව ඇත්තේ
සියල්ල වෙනස් වෙමින් පැවතින නිසාය


ප්‍රේමය නම් කුසුමක් වේ...
රිසි වූ කෙනෙකුට
පිදුව මනා වේ
ලෝභ සිතින් තොරව
පිදුවමනා වේ
පෙරලා ලබන්නට
නොසිතා බිඳක දුක් ......






කල්ප කාලෙකට පස්සේ 
නුඹ ඇවිදින් මගේ සිතට
අනේ ඔහොම බලන්නෙපා 
දරාගන්න බෑ මසිතට

කතා කරන ඔය ඇස් ළඟ 
සිනා සලන තොල් පෙති අග 
රැදී ඉන්න කවියක් ලෙස 
මොන තරමක් පැතුවද මම 

නුඹ පිටුපා ගිය දවස 
පිරුණු කඳුළු රැඳී දෙනෙතට 
එබෙන්නේ ඔය විදිහට 
නුඹත් අඩයි මං වාගේම 





මිලාන වූ 
ආකාසේ 
අපේ පැතුම් පාවී
මගේ පැලේ තනිවී
මා සුසුම් හෙලන වෙලේ
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා .....








5 comments:

  1. මේවා පරසිදු ගී නෙව ළමයෝ

    ReplyDelete
  2. එතන පොඩි අවුලක් උනා ඔය ටික තමයි කියවගන්න පුළුවන් උනේ ගත්ත අනිත් ඒවා පැහැදිලි නෑ

    ReplyDelete
  3. මේවත් නරකම නෑ.. තව පුළුවන් වෙලාවක අරන් මේ වගේම දාන්න..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් තියෙනවා එකතු කරගන්න විදිහක් නැතුව තමයි ඉන්නේ :)

      Delete