ඔහේ ගෙදරට වෙලා කාලේ ගෙවන වෙලාවේ තිබුනා තඩි Anatomy පොතක් ඉතින් ඔහේ ඕක පෙරලනකොට හම්බුනා කියමුකෝ පොඩි කොළ කෑල්ලක්. ඔන්න මම නම් නෙමෙයි ඒක ඇතුලට දැම්මේ. ඉතින් කියාස්ට ඔය කොළ කෑලි වල තියෙන ඒවා කියවන්න පුදුම ආසාවක්නේ තියෙන්නේ. බැලුවා දිගෑරලා මොකක්ද මේ කියල. හප්පේ මෙහෙම පොත් ඇතුලෙත් නිසදැස් ලියන එවුන් ඉන්නවනේ ඉතින්. ඒක ලස්සන නිසදැසක්. මගෙනම් හිතටම දැනුනා. ඇත්තටම ලියපු එකක් නම් ඒ දෙන්නා කොහෙද දන්නේ නෑ ඉතින් අවුරුදු ගානක් පරණ ඇති නේ?
සුදු වලාකුළු කැටිති ගැහිලා
වැව් ඉවුර ළඟ හාදු දෙයි
තව්තිසාවක් නුවර මැවිලා
වන්දනාවට කාලයයි
කන්ද මුදුනේ නිල්ල තවරා
තුරුලතා පෙළ ගී ගයයි
ඒ මිහිරි ගී ඇසී නැළවෙන
පවන වැව් දිය සරැලි ලයි
හිතේ දළු ලන පැතුම් මල් මිට
සමිඳු අභියස තබා යන්
මතුදු භවයක එක්වෙමුයි අප
රහසේම අපි සිතා යන්
අතින් අතගෙන යා නොහැකි දුර
සිව් නෙතින් තුරුලුව ඉතින්
අනන්තය තෙක් ඉවුරු මග දිග
බවුන් වඩමින් ඇවිද යන්