Thursday, February 28, 2013

තනි හිත... 03






ඒ අතීතය ගෙවිලා ගිහින්, මතකයක්ම විතරක් වෙන තරමටම... ආදරේ කරනකොට හිතුවෙවත් නැති විදිහට, හැමෝම සුන්දරයි කියන ආදරේ මටම කටුක මතකයක් විතරක්ම වෙලා... වත්ත අයිනේ තියෙන සුදු අරලිය ගහෙන් මල් දෙක තුනක්ම වැටෙනවා මන් බලාගෙන හිටියේ හිස් වෙච්ච හිතත්  එක්ක...   මේ සුදු පාට අරලිය මල් වලට තමයි නිසල ආසම ... නිසල කියන්නේ කව්ද..? ඔව් ඒ ඔහු තමයි... මගේ ජීවිතේට ඇවිත් මුළු ආත්මේම ආදරෙන් පුරවන්න පුළුවන්  එකම හිත තිබුනේ නිසලට විතරමයි ..   ඒත් ඒ හැමදේම දැන් ඈතින් ඈතට ගිහින් ... 




 අපි එදා පන්සල් ගියේ දෙන්නත් එක්කම පන්සල් යන්න  හිතේ තිබුන ආසාවට .. එදා මන් පූජ කරන්න කියලා කඩාගෙන ගියේ මේ අරලිය ගහේම මල්...

“ දන්නවද හසී....?”

“ම්ම්ම්...?”

“ මේ සුදු පාට අරලිය මල් වල තියෙනවා වෙන කිසිම මලක නැති ලස්සනක් ... සුදු පාට මලේ මැදට වෙන්න ලා කහ පාටකුත් එක්ක ... ඒ දිහා බලාගෙන ඉන්නකොට හිතත් සැහැල්ලු වෙන තරමටම මේ මල් ලස්සනයි ...”

“ මාත් ආසයි මේ මල් වල සුවඳට .. වෙන කිසිම මලක මේ තරම් ආස හිතෙන සුවඳක් නෑ ... ආ එකනේ මේකට ටෙම්පල් ෆ්ලවර් කියන්නේ ..”

මන් එහෙම කියනකොට නිසල ගේ මුණට ආවේ ලස්සන හිනාවක් ...
“ ඇයි හිනා වෙන්නේ...?”

“ නෑ ඉතින් මොනවා උනත් ඔයා පණ්ඩිතයි හසී...”

“ හ්ම්..”

“ මොකෝ මේ තරහ උනාද එහෙම කිව්වට..? මන් ආසයිනේ මගේ කෙල්ලගේ පණ්ඩිත කමට ...”

“ එතකොට මන් විතරද පණ්ඩිත? ඇයි ඔයත් එහෙමනේ ..”

 මම තරහෙන් වගේ කිව්වට හිරකරගෙන හිටපු හිනාව එලියට පැන්නේ අන්තිම ටික කියනකොට ...

“ හා හා ... මාත් පණ්ඩිත වෙන්න එපැයි ඉතින් ඒකනේ අපි දෙන්නා ගැලපෙන්නේ .. ඒක නෙමෙයි මන් අද බාරයක් උනා මේ බෝධියට..”

“ බාරයක්...? ඒ මොකක්ද?”

“ අපි දෙන්නා බැන්දට පස්සේ ඉස්සෙල්ලම මේ පන්සලට ඇවිත් බෝධිය නාවලා .. අරලිය මල් පූජ කරනවා කියල..”

ඒ වෙලාවේ මට කියන්න දෙයක් මතක් උනේ නැත්තේ නිසල ඒ කියපු වචන වල තිබුණ ආදරේ මාව ගොළු කරපු නිසා. මේ තරම් ආදරයක් මන් ගැන..?

“ ඇයි මේ කතා නැත්තේ..? අඩන්න ඔන්න මෙන්න වගේ මුණත් හදා ගෙන ..? ඔයා ආස නැද්ද එහෙම පන්සල් එන්න...?"
“ නෑ මන් ආසයි ... මට ලෝබ හිතුනා ඔයා ගැන...”
“ ඒ මොකද හසී ..?”
“ නෑ මට ඔච්චරටම ආදරේ කරනවනේ ...”
“ අනේ මගේ කෙල්ලේ...”

හ්ම්ම් ඒ අතීතේ .. අද මන් තනියම අපි දෙන්නගේ ආදරණීය මතකයත් එක්ක තනි වෙලා.. මේ ඔක්කොම උනේ ගයනි ගේ  ගෙදර තිබුන දානේ ගෙදර  ගිය නිසා තමයි.. නැත්නම් මගේ ජීවිතේට නිසල කෙනෙක් එන්නේ නෑ අපි කවදාවත් මුණ ගැහෙන්නේ නෑ... ඒත් අපි දෙන්නා මුණ ගැහෙන්න හිටිය දෙන්නෙක්ද?.. එහෙමනම් එදා මුණගැහුනේ නැතත් කවද හරි මුණගැහෙන්න තිබුනා... ඒත් එහෙම මුණ ගැහුනත් මාව කවද හරි තනි කරලා යයිද එයා...?
“ඇයි හසී ඔයා මේ හිතටම වද දෙන්නේ ...?” මගේ හිතෙන්ම එහෙම අහද්දී මම කල්පනා කරන එක අතෑරලා කුස්සිය පැත්තට ගියේ වැඩට ගිහින් දවස තිස්සේ මහන්සිවෙලා ගෙදර  ඇවිල්ලත් මහන්සිවෙන අම්මට උදව් කරන්න හිතාගෙන....

Wednesday, February 20, 2013

තනි හිත ........... 02



මන් ගෙදර ආවා... අද පුදුම දවසක් මන් ගියේ සචී ගේ හිතේ තිබුන දුක අහන්න මිසක් මගේ වැළලිලා ගිය, අමතක කරන්න කාලයක් තිස්සේ මහන්සි උන අතීතේ ආයෙත් ගොඩගන්න හිතාගෙන නෙමෙයි ඒත් අන්තිමට උනෙත් ඒකම තමයි.

අපි පන්සලේ ඉඳන් එලියට ඇවිත් බස් හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකම් හිටියා. සචී කියන්නේ මට ඉන්න ළඟම මිතුරිය කිව්වොත් මන් ටිකක් හරි. අපි ඉස්කෝලේ යන්නත් කලින් ඉදන්ම යාළුවො. අද වෙනකොට ඒ යාළුකම සහෝදර බැඳීමක් තරමටම ශක්තිමත් උනේ කාලයත් එක්කම වෙන්න ඇති. මන් සචීව බස් එකට නග්ගලා බස් ස්ටෑන්ඩ් එකට ගියා මන් ගෙදර යන බස් එකකට නගින්න.


මගේ ෆෝන් එක රින්ග් වෙන්න අරන් ගොඩක් වෙලා වෙන්න ඇති. මට ඇහුනේ නෑ.. මන් කව්ද කියල බලන්නතුවම ආන්සර් කලේ කෝල් එක කට් වෙයි කියල...

“ හලෝ හසී........?”

“ ආ.... සචී නේද....?”

“ මන් මේ කතා කලේ ඔයා ගෙදර ආවද කියල බලන්න......... හරි එහෙනම් මන් තියන්නම් .... මාත් දැන් ගෙදර ආවේ...”

“ හරි සචී මන් ගෙදර  ... එහෙනම් බුදුසරණයි!....”

හ්ම්ම් සචී ෆෝන් එක තිබ්බා... හරිනම් මමයි සචී ට කතා කරන්න තිබුනේ. එයයි දුකෙන් හිටියේ. කරන්න දෙයක් නෑ දැන් ඒදේ වෙලා ඉවරයි. එයා හිතන්න ඇති මන් අද එන්න ඇත්තෙත් ඕනෙවට එපාවට කියල. මොකද මන් එයාගේ හිත හැදෙන්න කිසිම දෙයක් කිව්වෙත් නෑ නේ. ඒත් මන් කියලත් මොනවා කියන්නද?

“ඔහොම තමයි අපි හිතන දේවල් නෙමෙයිනේ අපේ ජීවිත වලට වෙන්නේ. හිත හදාගන්න බලන්න .  දුකයි තමයි ඒත් දුක් උනා කියල අපිට අලුතෙන් ලැබෙන්න දෙයක් නෑ නේ?”

එහෙම සාම්ප්‍රදායික වචන කියල මට සචී ගේ හිත හදන්න ඕනේ උනේ නැත්තේ ඒ වචන වල හිත හදන්න පුළුවන් වෙච්ච්ච හයිය හේදිලා ගිහින් අවුරුදු ගානක් හින්දා.... මොකද මට උනත් එදා කව්රු හරි මේ ටික කිව්වනම් මන් හිතෙන් බනින්න තිබුනා “ උඹලට මේ දුක තේරෙන්නේ නෑ යකෝ ... විඳවන්නම ඕනේ කොච්චර රිදෙනවද බලන්න....” කියලා.


මන් කාමරේ ජනේලයක් ඇරියා .. දැන් හවස 4 ට විතර ඇති. ඒත් තාම ගිනි ගහන අව්වේ සැර අඩු වෙලා නෑ වගේ හුලන් පොදක් වත් නෑ . අපරාදේ ජනේලේ ඇරියේ ... මන් ආයෙත් ජනේලේ වැහුවේ හිතට ආපු තරහටත් එක්ක.

 මුළු ඇගම සීතල වතුරෙන් නෑවිලා යද්දී මන් තවත් ෂවර් එක යටට වෙලා හිටියේ හිතේ ඇවිලෙන්න හදන ගින්දර නිවාගන්න ඕනෙකමට වගේ. 



ඔලුවට වැටෙන වතුර බින්දු ඔලුව පසාරු කරගෙන යනවා වගේ මට දැනුනේ... මන් ඔලුව අල්ලගෙන බිම ඉඳගත්තා මට තවත් කොච්චර කල් මේ හිත වද දෙයිද දෙයියනේ......?  මන් අත දික් කරලා ෂැම්පු බෝතලේ ගත්තා

“ම්ම්ම්ම් මොනවද මගේ කෙල්ලේ ඔලුවේ ගාන්නේ ....?”

“ඇයි මොකෝ ඒෂැම්පු එක හොඳ නැද්ද.....?”

“ඕකනේ ඉතින් මොකක් හරි ඇහුවාම පණ්ඩිතය වගේ ඇයි මොකෝ එකක් ඉස්සරහට දානවා....”

“අනේ නෑ ඉතින් මන් එහෙම ඇහුවේ දැනෙගන්නනේ ....”



Monday, February 18, 2013

තනි හිත.....................




පැය ගානක් තිස්සේ හිතේ තිබුන දුක කියලා තවත් ඉවර උනේ නෑ වගේ හිටියට එයා කතා කලේ නෑ... මන් එයාගේ මුණ දිහා බැලුවේ ඇයි කතා කරන්නේ නැත්තේ කියලා අහන්න. ඇස් දෙකෙන් එලියට පනින්න ඔන්න මෙන්න තියෙන කඳුළු බින්දු දෙක පිහදාන්න කියලා මන් හැරෙන්න හැදුවත් හිත කිව්වා ඒ කඳුළු වලට ගලාගෙන යන්න ඉඩ දෙන්න කියල...

“එයා ඇයි මට මෙහෙම කලේ... ?”

ඇය එසේ කියමින් ඉකි ගසමින් අඩන්නට වූවාය. මම මුනිවත රකින්නට වීමි.

“ සැබෑ පෙම්වතුන්
කිසිදාක එක නොවේ
එක වූ කිසිවෙකුත්
සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ...
වෙන් වී ගියවුන්
සදාකල් පෙම්වතුන් ලෙස ජීවත් වේ ......”

මෙහෙම දෙයක් කොහේ හරි මන් කියවලා තියෙනවා කියල හිතුනට මන් එයාට කියන්න ගියේ නෑ.

මොකද කියනවනම් ....

“ඔයාට මගේ දුක තේරෙන්නේ නෑ ... ආදරේ කරන්නම ඕනේ මේ දුක කොච්චරද කියල තේරුම් ගන්න... ඔයාට වගේ ගල් හිතක් මට නෑ ...”

කියල.  මේ දේ ආයෙත් තව කෙනෙක් ගෙන් අහගන්න තරම් හිතට වාරුවක් ගන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. අද මන් ඇය එක්ක දුක බෙදාගන්න ඉන්නවා වගේ එදා මගේ ලගින් ඉන්නවත් කව්රුත් හිටියේ නැති එකට මට දුක හිතුනේ නෑ ඒ ලැබීම වෙන්න ඇති මන් ඒ වෙනකොටත් හිත හදාගන්න වෑයම් කලේ එහෙම හිතාගෙන.  ඒ අතීතෙට මාව ඉබේම වගේ ඇතුල් උනා. මන් ළඟ හිටපු එයා ගැන හිතන එක මට අමතක උනා...

අපි අන්තිමටම හම්බුන දවස ....

“ හසී.. මන් තීරණයක් ගත්තා....”

“මොකක් ගැනද...?”

“අපි දෙන්නා ගැන හසී...”

“ අපි දෙන්නා ගැන මොකක්ද....”

“ අපි ගැලපෙන්නේ නෑ හසී.. ඔයා හොඳ කෙල්ලෙක් .. ඒත් මන් වගේ කෙනෙක්ට ඔයාගැලපෙන්නේ නෑ ... “

“මොකක්ද ඒ කිව්වේ..මට තේරුනේ නෑ .. ඇයි ඔයා එහෙම දෙයක් දැන් කියන්නේ...?”

“ අපි වෙන් වෙමු හසී.. දැන් තේරුම් ගන්න බැරි උනත් කවදා හරි ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි මන් අද ගත්ත තීරණේ හරි කියල...”


“හ්ම්ම්....”

“ඇයි තමුසේ හ්ම්ම් කියන්නේ...? තමුසේ වගේ ගල් හිතක් තියෙන කෙල්ලෙක් මන් දැකල නෑ ජීවිතේට...”

මන් තිගැස්සුනා ඒ ආවේගෙට .... මට අඩන්න හිතුනේ නෑ.... හිත ඊයම් බරු එල්ලලා වගේ ..... බර වෙලා කඩන් වැටෙයි කියල හිතෙන තරමට .... ඇයි මට මෙහෙම කියන්නේ ....?  අපි වෙන් වෙමු කිව්වම මන් එයාගේ කකුල් දෙක පාමුල වැටිලා මාව දාලා යන්න එපා කියලා අඩන්න ඕනෙද?

“හසී හසී.... ඇයි ඔයා කතා නැත්තේ...? “

“අහ්හ්........ න්..නෑ .. මන් ටිකක් කල්පනා කළා...”

“ වැඩක් නෑ හසී එයාට මාව එපා නම් මන් අඩන එකේ තේරුමක් නෑ මන් හිත හදාගන්නවා...”


Thursday, February 14, 2013

බෝට්ටු පැදීම .....


ඔන්න ඉතින් ගෙදරට වෙලා කල්පනාවක් දාගෙන ඉන්නගමන් කියාගන්න බෑ ට මතක් උනා ඉස්කෝලේ ගිය කාලේ.... ඒ ලෙවල් කරපු කාලේ තමයි කියාගන්න බෑ ටිකක් වැඩිපුර පිස්සු නැටුවේ. ඒ වගේම තමයි කියාගන්න බෑ ගිය ටියුෂන් ක්ලාස් ටිකත් ඔන්න ඉතින් ඔහොම කියනකොට හිතන්න එපා කියාගන්න බෑ ක්ලාස් ගිහින් තියෙන්නේ පිස්සු නටන්න විතරයි කියල හරිය?

ඔන්න ඔහොම කල්පනා කරගෙන යනකොට මට මතක් උනා අපේ යසිත් සහෝදරයා ට බස් එකක් අයිති උන සිද්දියක් ගැන කියලා තිබුනා. ඒ වගේ ටිකට් සිද්දියක් දවසක් මේ කියාගන්න බෑ ටත් උනා ක්ලාස් ගිහිල්ලා ගෙදර බලා යනකොට. 





මන් ඉතින් මහරගම බස් ස්ටෑන්ඩ් එකටම ගිහින් බස් එකකට නගින්නේ අයිනේ ශීට් එකක ඉඳගෙන් වටපිට බල බල යන්න තියෙන ආසාවටම තමයි. ශටර් එක පුළුවන් තරම් ඇරගන්නවා ඔලුව එලියට දාගෙන යන්න පුළුවන් සයිස් එකට. ඔන්න ඒක මගේ එක විනෝදාංශයක් තමයි. එදත් එහෙම  බස් එකට නැගලා ශටර් එක හොඳට ඇරගන්න පුළුවන් ශීට් එකකින් වාඩි වෙලා පොඩි කල්පනාවක් දාගෙන ඉන්නකොට බස් එකේ කොන්දා මාමා ආවා ටිකට් දෙන්න. ඉතින් ඔන්න දඩි බිඩි ගාලා බෑග් එකට ඔලුව ඔබලා ටිකට් ගන්න සල්ලි හොයාගත්තා. ඔන්න කොන්දා මාමා මන් ලඟට ආවාම ඉතින් මාත් සිලින් බිලින් ගාලා මගේ අතේ තිබුන රුපියලේ , දෙකේ, සත පනහේ කාසි ටික කොන්දා මාමාගේ අතට හැලුවා.

පන්සලේ පින් කැටේ කඩපු එකා අහු උනා කියන්න වගේ බැල්මක් දාලා කොන්දා මාමා මට ටිකට් එකක් කඩලා දුන්නා. ඉතින් ඔහොම කල්පනා කොර කොර ඉන්නකොට ඉබේම වගේ අතේ තිබුන ටිකට් එකෙන් මන් හැදුවා බෝට්ටුවක්. 



 ඉතින් දැන් බස් එක යනවලු... ලංකාවේ බස් ඉතින් යන්න පටන් ගත්ත වෙලා වේ ඉදන් අඩුම තරමේ විනාඩි 15 ක් වත් යන්නේ හන්ගොල්ලා ව අනුස්මරණය කරමින්නේ. හරි ඉතින් ඔහොම යන්කෝ කවද හරි ගෙදර යයිනේ කියලා හිත හදාගෙන බස් එකෙන් එලිය බලාගෙන හිටියා.ඔන්න ඉතින් එක පාරට ටිකට් දෙන්න ටිකට් දෙන්න කියලා කව්ද කෑ ගහනවා. යකෝ හරිනම් කියන්න ඕනේ ටිකට් ගන්න සල්ලි දෙන්න කියලනේ ?! මන් ඉතින් කල්පනා කලේ අපේ ඩ්‍රයිවර් මාමා ගහපු බ්රේක් පාරකට කොන්දා මාමා කොහේ හරි ගිහින් ඔලුව හප්පගෙන පැත්ත මාරු වෙලා වෙන්ට ඇති කියලා.

ඔන්න ටික වෙලාවකින් මගේ කන ලගිනුත් ඇහුනා ටිකට් දෙන්න කියනවා වගේ. ඉතින් මන් ඒ පැත්තට ඔලුව හැරෙව්වේ ඇයි යකෝ ටිකට් ගත්තේ කියන්න. හප්පේ හොඳ වෙලාවට කිව්වේ නැත්තේ. බොලේ මේ ටිකට් ඉල්ලන්නේ කොන්දා මාමා නෙමෙයිනේ ටික්කා මාමා කෙනෙක් නොවැ !

හුටා! මන් ටිකට් එකෙන් බෝට්ටුවක් හැදුවනේ.  මේ පාරනම් විනාසයි තමයි දඩ ගෙවන්න තියා ටොපියක් කන්නවත් රුපියලක් තිබ්බේ නෑ ඒ වෙලාවේ. කලබලේට බෝට්ටුව ලේහාගන්නවත් බෑ හයියෝ....

ඉතින් අර ටික්කා මාමා ත් මාව ගිලින්න වගේ බැල්මක් දාගෙන ඉන්නවා මන් ටිකට් එක දෙනකම්. ඔන්න ඔහේ කමක් නෑ කියලා මන් ඉතින් අර බෝට්ටුව ටික්කා මාමා ට දුන්නා.

“මේ මොකක්ද...?”

“ටිකට් එක...”

“ හහ්හ් ... හහ්හ් ... හා.... කම්මැලි කමටද ටිකට් එක දුන්නම බෝට්ටු හදන්නේ...”

හයියෝ හෙන චාටර් ය. බස් එකේ සියල්ලෝම ටිකට් නැතුවම සජීවී වේදිකා නාට්ටිය නරඹති. කුමක් කරන්නද නරක කලට...? 



එහෙම ඉතින් යාන්තම් ටිකට් ප්‍රශ්නෙන් බේරුනා විතරයි මන් ළඟ වාඩි වෙලා හිටපු කොල්ලෙක් මෙන්න මෙහෙම් අහනවා


“ නංගී ඔයාගේ නම මොකක්ද...? මට දැකලා පුරුදුයි ඒකයි ඇහුවේ ”

මේ මොන දෙබසක්ද

“ ආ මගේ නම ඔයාගේ අක්කා ගේ නමට අකුරක් වැඩි උනාම එන නම... මන් ඔයාව දැකලා නෑ...”

දෙබස ඉවරයි...
  
මන් ආයෙත් සුපුරුදු පරිදි බස් එකෙන් එලිය බලාගෙන හිටියා....